Monday 29 July 2013

දේශපාලන ක්‍ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක්‌ ඇතිකරමින් දයාසිරි ජයසේකර මහතා අණ්‌ඩුවට එක්‌වීම සහ ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධව කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාඡ් කාරියවසම් මහතා සමග දිවයින ඉරිදා සංග්‍රහය කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් ඔබ සමග සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව ආණ්‌ඩුවට එක්‌ වීම ඔබට දැනෙන්නේ කොහොමද?

පිළිතුර - එක්‌සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලන හෝඩි පොත ඉගෙනගෙන පක්‍ෂයේ පිහිටෙන් ලොව දැක ජනප්‍රියත්වය ලබාගත් දයාසිරි ජයසේකර වැනි කෙනෙක්‌ පක්‍ෂයත් කුරුණෑගල ජනතාවත් පාවා දී ආණ්‌ඩුවට එක්‌වීම ගැන අපි කනගාටු වෙනවා සේම එම ක්‍රියාව පිළිකුලෙන් හෙළා දකිනවා.

තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා ලාභ ප්‍රයෝජන අපේක්‍ෂාවෙන් දේශපාලනඥයන් සිදු කරන මේ පාවාදීමේ පාදඩ සංස්‌කෘතිය අවසන් කළ යුතුයි. ඒ සඳහා වන කතිකාව ආරම්භ කිරීම යුගයේ අවශ්‍යතාවක්‌ බවට පත්ව තිබෙනවා.

පාදඩ සංස්‌කෘතිය නියෝජනය කරන, ප්‍රතිපත්තියක්‌ නැති ගෙම්බන් මෙන් පනිමින් යන මේ දේශපාලනඥයන් ජනතාව ගොනාට ඇන්දවිය හැකි යෑයි විශ්වාස කරනවා. ජනතාව මෝඩයන් යෑයි සිතා, කාලෙන් කාලෙට පක්‌ෂ මාරු කරනවා. ඔවුන් අද දරන ප්‍රතිපත්ති හෙට වරදාන වරප්‍රසාද වෙනුවෙන් වෙනස්‌ කරනවා.

ප්‍රශ්නය - ඔබ ඔය කියන්නේ දයාසිරි ජයසේකරත් වරදාන වරප්‍රසාද වෙනුවෙන් ආණ්‌ඩුවට ගිය බවද?

පිළිතුර - පැහැදිලිවම එය මට වඩා හොඳින් කුරුණෑගල ජනතාව දන්නවා. ඔහුගේ මහ ඇමැති සිහිනය වෙනුවෙන් රුපියල් කෝටි ගණනක්‌ වැය කිරීමට මේ වන විට සැලැසුම් කර තිබෙනවා .එ. ජා. පය හැර යන්නත් කලින් වයඹ පළාත පුරාම පෝස්‌ටර් ගහලා. කොහෙන්ද මේ සල්ලි. එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටිනතාක්‌ අතේ මුදල් නැති දේශපාලනඥයන් ආණ්‌ඩුවට ගිය සැණින් කෝටිපතියන් බවට පත්වන්නේ කොහොමද? මේ අයගේ මේ පාවාදීම් ජනතාව තේරුම්ගත යුතුයි.

ප්‍රශ්නය - කොහොම වූවත් දයාසිරි ජයසේකර වැනි ජනප්‍රිය මන්ත්‍රීවරයෙක්‌ එ. ජා. පය හැර යැම පක්‍ෂයට විශාල පාඩුවක්‌ බව ඇතැම් අය කියනවා.

පිළිතුර - ඔහු නොවෙයි, ගමේ සිටින සාමාන්‍ය පාක්‍ෂිකයෙක්‌ පක්‍ෂය හැර ගියත් එයින් පක්‍ෂයට පාඩුවක්‌ තිබෙනවා. නමුත් දයාසිරි ජයසේකර හදිසියේම ආණ්‌ඩුවට එක්‌ වුණේ කුමක්‌ සඳහා ද යන්න ජනතාව අවබෝධ කරගත යුතුයි.

දයාසිරි ජයසේකර ජනප්‍රිය වුණේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉවත්ව එක්‌සත් ජාතික පක්‍ෂයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත් වී මෙගාස්‌ටාර් වැනි වැඩසටහන්වලට යැමට අවකාශය සලසා දුන් නිසයි.

ඔහුගේ ජනප්‍රියත්වයෙන් පක්‍ෂයට කිසිදු සෙතක්‌ සැලැසුණේ නැහැ. හැම විටම පක්‍ෂය අභ්‍යන්තරයේ කල්ලි හදාගෙන නායකත්වයත්, පක්‍ෂයත් විවේචනය කරමින් භේද භින්න කිරීමට උත්සාහ කළා.

මොවුන් දිගු කලක සිට ගෙන ගිය ඒ වැඩපිළිවෙළ නිසා ඇතැම් අය පක්‍ෂය හැර ගියා. ඇතැම් පාක්‍ෂිකයන් දැඩි කලකිරීමටකට ලක්‌වුණා. දයාසිරි වැනි අය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කකුලක්‌ තබාගෙන සිදු කළ විනාශයෙන් පක්‍ෂය ගොඩ ගැනීමට අපි හැම විටම කැප වී ක්‍රියා කළා. ඒ හැම අවස්‌ථාවකම ඔහු කළේ තමන්ගේ ජනප්‍රියත්වය යොදාගෙන අනෙක්‌ අයගේ චරිත ඝාතනය කිරීමයි.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කකුලක්‌ තබාගෙන එක්‌සත් ජාතික පක්‍ෂය භේද භින්න කර විනාශ කිරීමට දයාසිරි කටයුතු කළා නම් ඒ සම්බන්ධව ඔහුට එරෙහිව පක්‍ෂය පියවරක්‌ නොගත්තේ ඇයි.
පිළිතුර - පක්‍ෂයේ සමගිය නැති කරමින් භේද භින්න කිරීමට කටයුතු කළ නිසාත්, පක්‍ෂ මූලස්‌ථානයට ගල්මුල්වලින් පහර දී එය විනාශ කිරීමට උත්සාහ කරමින් කුමන්ත්‍රණය දියත් කළ නිසාත් ඔහුට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වුණා.

ජනප්‍රියත්වයට මුවා වී පක්‍ෂය විනාශ කිරීමට සැලසුම් සහගත වී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වුවමනාවට ක්‍රියා කළ ඔහු අද අසත්‍ය තොරතුරු පතුරුවමින් ජනතාව මුළා කිරීමට උත්සාහ ගන්නවා. ජනතාව ඉදිරියේ සත්‍යවාදියකු වීමට උත්සාහ ගන්නවා. මොහුගේ මේ දෙබිඩි ක්‍රියා පිළිවෙත වයඹ ජනතාව දැනගත යුතුයි.

දයාසිරි ජයසේකරගේ මේ දෙබිඩි පිළිවෙත මීට වසරකට පමණ ඉහතදීත් රටට හෙළි වුණා. ඔහු වයඹ පළාත් සභාවට සන්ධානයෙන් තරග කිරීමට තීරණය කළේ අද ඊයේ නොවෙයි. ඔහු දිගු කාලයක සිට ජනාධිපතිවරයා සමග මේ ගැන සාකච්ඡා කළා. රටේ ජනමාධ්‍ය ඒ බව අනාවරණය කළ අයුරු අපිට මතකයි. නමුත් අද ජනතාව ඉදිරියේ සුදනකු වීමට මුසාබස්‌ දොඩමින් ඔහු උත්සාහ කරනවා.

ප්‍රශ්නය - තමන් ආණ්‌ඩුවට එක්‌වීමට බලපෑ ප්‍රධාන සාධකය එ.ජා.ප. නායකත්වය බවටත් ඒ නායකත්වය පක්‍ෂය විනාශය කරා ගෙන ගොස්‌ තිබෙන බවටත් ජයසේකර මහතා චෝදනා කළා. සැබවින්ම ඔබේ පක්‍ෂයේ අද එවැන්නක්‌ සිදුව තිබෙනවාද? පක්‍ෂ නායකත්වය ඔය කියන තරම් දුර්වලද?

පිළිතුර - ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ගොඩගත හැකි දැක්‌මක්‌, පළපුරුද්දක්‌, හැකියාවක්‌ ඇති ජාත්‍යන්තරය පිළිගත්, දකුණු ආසියාවේ එකම පිරිසිදු දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව දයාසිරි ජයසේකරගේ මුවින්ම ප්‍රකාශ කර තිබෙනවා. වයඹ පළාතේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට එය අසන්නට ලැබී තිබෙනවා. විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවල පළ වූ ඒ වදන් තවමත් එලෙසින්ම තිබෙනවා. එහෙම කියපු ඔහු අද රනිල් වික්‍රමසිංහ නායකතුමාට චෝදනා කරමින් අපහාස වන ආකාරයේ ප්‍රකාශ කරන්නේ ආණ්‌ඩුවෙන් ලැබෙන වරදාන හා වරප්‍රසාදවලට යට වී බව පුංචි දරුවකුට වුවද පැහැදිලියි.

එදා එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටිමින් ඔහු විවිධ රැස්‌වීම් හා මාධ්‍ය වැඩසටහන් ඔස්‌සේ ජනාධිපතිවරයාත්, ආණ්‌ඩුවත් නිර්දය ලෙස විවේචනය කළේ ආණ්‌ඩුවේම වුවමනාවකට දැයි දැන් සැක පහළ වෙනවා.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒකාධිපති පාලනයක්‌ ගෙන යන බවත්, ලෝකයේම අති දූෂිත ආණ්‌ඩුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව බවත්, සංවර්ධන ව්‍යාපෘතිවලින් කොමිස්‌ ගහන, මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණ පද්ධතිය විනාශ කළ ආණ්‌ඩුව මෙය බව ප්‍රකාශ කරමින් සිටි දයාසිරි ජයසේකර අද මොනවද කියන්නේ. ඒ ඒකාධිපති දූෂිත පාලනය අනුමත කරනවාද? බලය බෙදීම, පළාත් සභා ආරක්‍ෂා කිරීම, 17 වැනි සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් තවදුරටත් පෙනී සිටිනවාද? සුදු අලියකු ලෙස හැඳින්වුව හම්බන්තොට වරාය, ගුවන්තොටුපළ ඇතුළු ආණ්‌ඩුවේ දූෂිත ව්‍යාපෘති අද අනුමත කරනවාද? කියා ඔහු ජනතාවට ප්‍රකාශ කළ යුතුයි.

ප්‍රශ්නය - දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාට ඔබේ පක්‍ෂයේ ඉහළ තැනක්‌ ලබා නොදුන්නේ ඇයි?
පිළිතුර - පක්‍ෂයේ ඉහළ තනතුරක්‌ ලබා දුන්නා නම් මීට පෙර මොහු ඒ තනතුරත් පක්‍ෂයත් පාවාදී ආණ්‌ඩුවට එකතු වෙනවා.

නමුත් පක්‍ෂයේ බර කරට ගෙන, වැඩ කරන මන්ත්‍රීවරු තනතුරු ඉල්ලා ගෙන ඒ වෙනුවෙන් පොර බැදුවේ නැහැ. අපිට වඩා දයාසිරිට පක්‍ෂයේ තනතුරු ලබාදී තිබුණා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සිටියදී ඔහුට ප්‍රාදේශීය සභාවේ සභාපතිකමවත් ලැබුණේ නැහැ. නමුත් එජාපයට පැමිණි පසු ආසන සංවිධායකකම්. දිස්‌ත්‍රික්‌ ලේකම් ධුරය, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ලෙස පත් කිරීම, පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලයේ ඔහුටම වෙනම කාර්යාලයක්‌ ලබාදීම, පාර්ලිමේන්තුවේ විවාදවලදී මූලිකත්වය දීම වැනි නොයෙකුත් අපිට නැති තනතුරු හා වරප්‍රසාද දෙමින් ඔහු ඉහළට ගෙන ආවේ රනිල් වික්‍රමසිංහ මහතායි. අවාසනාවකට මෙන් අද ඔහු කන්න දුන් අත හපා කනවා. අපහාස කරනවා මඩ ගහනවා. ඔහුගේ ඒ ක්‍රියාවන් ගැන පුදුම විය යුතු නැහැ. එදා ඔහුගේ නායකයා වූ ජී. එල්. පීරිස්‌ මහතාට කළේ ඔය දේම තමයි. තව ටික කලකින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාටත් ඔය ටික නොකරයි කියා විශ්වාසයක්‌ තැබිය හැකිද?

ප්‍රශ්නය - ආණ්‌ඩුවට එරෙහිව තමන් සංවිධානය කළ වැඩසටහන් එකක්‌වත් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට පක්‍ෂයෙන් තැනක්‌ නොලැබුණ බවට ඔහු චෝදනා කරනවා. එහෙම කළේ ඇයි?

පිළිතුර - අමූලික බොරුවක්‌. ඒ චෝදනාව කිසිලෙසකින්වත් අපට පිළිගන්න බැහැ.

ඔහු වැඩසටහන් සංවිධානය කළේ නැහැ. පක්‍ෂය සංවිධානය කළ වැඩසටහන්වලදී ඔහු කළේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීම පමණයි. ඔහු පසුගිය කාලය තුළම දැම්ම ඒ මාධ්‍ය සංදර්ශනවලින් උත්සාහ කළේ තමන් පක්‍ෂය වෙනුවෙන් වැඩ කරන, කතා කරන මන්ත්‍රීවරයෙක්‌ ලෙස රටට පෙන්වා ජනතාවගේ අනුකම්පාව හා කැමැත්ත ලබා ගැනීමටයි.

පක්‍ෂයේ වැඩ කළේ එක්‌ කොටසක්‌. එහෙත් මෙවැනි හිස්‌ මිනිසුන් මාධ්‍ය ඔස්‌සේ ලකුණු දාගන්න ක්‍රියා කළා. දයාසිරි පක්‍ෂයේ සිටිමින් ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට අනෙකුත් අය පාවා දෙමින් ගෙන ගිය රංගනය ගැන රංජන් රාමනායක මන්ත්‍රීතුමා පසුගියදා ඉතා හොඳින් කරුණු පැහැදිලි කිරීමක්‌ සිදු කළා.

ප්‍රශ්නය - පළාත් පාලන මන්ත්‍රීවරු 48 දෙනෙක්‌ තමා සමඟ ආණ්‌ඩුවට එක්‌වන්න සිටින බව දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබුණා. මෙවැනි පසුබිමක්‌ තුළ පළාත් සභා මැතිවරණයට කොහොමද එක්‌සත් ජාතික පක්‍ෂය මුහුණ දෙන්නේ?
පිළිතුර - සල්ලිවලට මන්ත්‍රීවරු ගන්න මෙයාලා සැලැසුම් කර තිබෙනවා. මන්ත්‍රීවරු කිහිපදෙනෙක්‌ මා සමඟ සාකච්ඡා කළ අවස්‌ථාවේ ලක්‍ෂ ගණනින් ඔවුන්ට මුදල් ලබාදීමට කතා කර ඇති බව හෙළි වුණා. ඇතැම් අයට මුදල් සහ ඡන්දයට වැඩ කිරීමට වාහනත් ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. ආසන මට්‌ටමින් ලේකම්වරු පත් කරලා. කොහෙන්ද මේ සල්ලි.

මේ පාදඩ දේශපාලන සංස්‌කෘතියේ සැබෑ තත්ත්වය අපි ජනතාවට අවබෝධ කර දී ජනතා ඡන්දය වෙන්දේසියේ තබන දේශපාලනඥයන්ට අමතක නොවන පාඩමක්‌ උගන්වා පළාත් සභා මැතිවරණයට ජනතා ශක්‌තියෙන් එක්‌සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරනවා. ඒ බව අපිට විශ්වාසයි.

No comments:

Post a Comment