Wednesday, 31 July 2013

සිංදු ජනප්‍රිය කරන්න ලිංගික අල්ලසක්






radio-mafia-31713
තම නිෂ්පාදනවල අඩංගු ගීත වැඩි වාර ගණනක් ප්‍රචාරය කිරීම වෙනුවෙන් අදාළ මාධ්‍ය ආයතනවල නිවේදකයකුට හෝ වැඩසටහන් නිෂ්පාදකවරයකුට අතයට මුදලක් හෙවත් අල්ලසක් ලබා දීම ඔවුන් දිගටම කරගෙන ගියේය. ඇතැම් විට තම ආයතනයෙන් ගෙවනු ලබන වැටුපට වඩා වැඩි මුදලක් වූ මෙම අල්ලසට ඇබ්බැහි වූ ඇතැම් නිවේදකයෝ මෙය ජාවාරමක් බවට පත්කර ගත්හ. ඒ අනුව ඔවුනට සලකන නිෂ්පාදන ආයතන නිකුත් කරන ගීත නිතර නිතර ප්‍රචාරය කරන්නට විය.

මෙසේ ජනප්‍රිය කෙරෙන ගීත නිසා අදාළ කැසට් පටවල අලෙවියට විශාල තල්ලුවක් ලැබුණු අතර අල්ලස් දීමට ඉදිරිපත් නොවූ නිෂ්පාදන ආයතනවල ගීත ප්‍රචාරය ඉතා මන්දගාමී ලෙස සිදු කෙරුනි. ඒ අනුව ජනප්‍රිය කරන්නේ කවර ගීතයද යන්න තීරණය කිරීම පවා සිදුවූයේ මෙසේ අල්ලසට පුරුදු වූ සන්නිවේදකයන් අතිනි. ඔවුනට ගායකයා කවුද එහි ප්‍රමිතිය කුමක්ද යන්න වැදගත් නොවූ අතර අත යටින් ලැබෙන මුදල මත සියල්ල තීන්දු විය. මෙය සිදුවූයේ ඉතා රහසිගත හා විශ්වාසවන්ත අයුරිනි. ආයතන හිමිකරුවන් පවා මෙය දැන සිටියේ නැත. එහෙත් මෙය කැසට් නිෂ්පාදකයන් අතරත්, බොහෝ නිර්මාණකරුවන් අතරත් ප්‍රකට රහසක් බවට පත්ව තිබුණි. එයට එරෙහිව හඬ නැගීම යනු තමනට එම මාධ්‍යවල තිබෙන කුඩා හෝ අවස්ථාව පවා නැතිවන තත්ත්වයක් බව දත් නිර්මාණකරුවෝ නිහඬ වූහ. තම අතේ ඇති මුදලින් ගීතයක් නිර්මාණය කළ තුරුණු නිර්මාණකරුවෝ තම නිර්මාණ ජීවිතය අතහැර වෙන අතක් බලා ගත්හ. මන්ද ඒවා ප්‍රචාරය කරගැනීමට අවැසි අල්ලස් මුදල් තමන් සතු නොවූ බැවිනි.

ගෙවුණ දශකයකට ආසන්න කාලය තුළ ඇතැම් පෞද්ගලික ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවල ගීත ප්‍රචාරය කිරීම 'ජාවාරමක්' ලෙස රූපාන්තරණය වූයේ මේ අයුරිනි. එය මෙරට සුභාවිත ගීතයට එල්ල වූ මරු පහරක් වූ අතර බොහෝ ප්‍රතිභාවන්තයෝ දුර්මුඛ වූහ. උසස් නිර්මාණ සඳහා අනුග්‍රහය දැක්වූ නිෂ්පාදන ආයතන කර්මාන්තයෙන් ඈත්වන්නට පටන් ගත්තේය. එහෙත් මෙම ජාවාරම ප්‍රසිද්ධ මාධ්‍ය තුළ සංවාදයට බඳුන් වූයේ නැත. එහෙත් පසුගියදා එකී ජාවාරමට සම්බන්ධ වූවකු පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකින් මෙහි නවතම තතු කරළියට පැමිණියේය. එම පුද්ගලයා හෙළිකොට තිබුණේ තමන් ලියූ ගීත එක්තරා ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවකට මුදල් ගෙවා ජනප්‍රිය කරවාගෙන ඒවා තමාට හිමි ආයතනයක් මගින් රිගින් ටෝන් සඳහා දුරකථන සමාගම්වලට ලබාදී වසර දෙකක් ඇතුළත ධනවතෙකු වූ බවයි.

ගීත ප්‍රචාරය කරගැනීමේ ජාවාරමට හවුල් වූවා පමණක් නොව එකී ජාවාරම පිළිබඳ ප්‍රසිද්ධ මාධ්‍යයක උද්දාමයෙන් යුතුව අදහස් පළකරන්නට තරම් මොවුන් සිය සංස්කෘතික මූලයන් සිඳගත්තේ කෙසේද? මෙවැනි ජාවාරම් හමුවේ සුභාවිත ගීතය උදෙසා දශක ගණනක් පුරා සිය ශ්‍රමය වගුල නිර්මාණකරුවන් සිත ඇති කරනු ලබන කම්පනය හා කලකිරීම කෙබඳු විය හැකිද? අල්ලස් මුදල් ගෙවාගත නොහැකිව දුර්මුඛව ලතවන ප්‍රතිභාපූර්ණ නව නිර්මාණකරුවන් වෙත මොවුන් රැගෙන එන බියකරු පණිවුඩය කවරක් වනු ඇද්ද? මෙරට සංගීත ක්‍ෂේත්‍රය හමුවේ ඇති බරපතළ පැනය එයයි.

ඉහත කී පුද්ගලයා මේ කියන්නේ කුමක්ද? අල්ලස් දිය හැකි නම් වසර දෙකක් ඇතුළත ගීත රචකයකු මතු නොව ධනවතෙකු බවටද පත්විය හැකි බව නොවේද? මේ ප්‍රවණතාව පිළිබඳ ප්‍රවීණ කිවියර රචක රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන් විමසා සිටියෙමි. ඔහු පළකළේ මෙවන් අදහසකි.


ඇත්තටම මේ ප්‍රවණතාව හරිම පිළිකුල් කටයුතු එකක්. අද ගීත රචකයෙක් වෙන්න අකුරු ලියන්න ඉගෙන ගත්තම ඇති. හැදෑරීම් කරන්න, අභ්‍යාස කරන්න ඕන නෑ. සංගීතඥයො ගත්තත් වැඩි වෙනසක් නෑ. මොකක් හරි ලී කොටයකට ගහන්න පුළුවන් වුණාම ඇති. ගොළුවෙක් ‍නෙවෙයි නම් ගායකයෙක් වෙන්නත් පුළුවන්. තොරතෝන්චියක් නැතිව මිනිස්සුන්ට බලෙන් අස්සවන ගීත දිහා බැලුවම ඒවයෙ උසස් නිර්මාණකරුවො, ශිල්පීන් දකින්න නෑ. මේක මේ ගීතය ජාවාරම්කාරයො අතට පත්වීමෙන් වෙච්ච විනාශයක්.

මේ වැඩෙන් සැබෑ දක්ෂයන්ට ඔළුව උස්සන්න හම්බවෙන්නෙ නෑ. මුදල් තමයි සර්වබලධාරියා වෙන්නෙ. ඉස්සර හොඳ නිර්මාණයක් ආයතනයට ලැබෙනකම් බොහෝ සන්නිවේදකයන් මග බලාගෙන හිටිය. අද මග බලාගෙන ඉන්නෙ හොඳම අල්ලස ලැබෙනකන්. මේක මේ කිහිපදෙනෙක් කරන වැඩක්. අති බහුතරයක් මාධ්‍ය ආයතන මේ වැඩේට සම්බන්ධ නෑ. මම හිතනව සංස්කෘතික අමාත්‍යංශයත්, ජනමාධ්‍ය අමාත්‍යංශයත් මේ වරද නිවැරදි කරන්න මීට වඩා සක්‍රීය දායකත්වයක් ලබාදිය යුතුයි කියල.

ඉහත කී තරුණ සංගීත ශිල්පියා විසින් කරන ලද හෙළිදරව්ව පිළිබඳ මතෛක් අදාළ ගුවන් විදුලිය ප්‍රතිචාර දක්වා නැත. ඉන් අදහස් වන්නේ ඔවුන් මෙය නිල වශයෙන් අරඹා ඇති වැඩ පිළිවෙළක් බවද...?

ගීතයක් ප්‍රචාරය කිරීමට අදාළ ගීතයේ 'අපූර්වත්වය' හැර වෙනත් සාධක සැලකිල්ලට ගත යුතු නැත. එහෙත් එවන් ශිෂ්ටසම්පන්න ආචාරධර්ම ඇතැම් මාධ්‍ය වෙතින් දුරස්ථ වීම කවර නම් අභාග්‍යයක්ද? ගීත ප්‍රචාරය සඳහා අල්ලස් නොගන්නා මාධ්‍ය ආයතන අනුගමනය කරනු ලබන නිද්‍රාශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම ජාවාරමට වැඩි වලංගුභාවයක් ලැබි තිබේ. බොහෝ විට ඔවුන් ද ප්‍රචාරය කරනුයේ මුදලට ගීත ප්‍රචාරය කරන ආයතනවල ගීතම වීම සිය බංකොළොත්භාවය ප්‍රකට කරන අවස්ථාවකි. කොතෙකුත් සාර්ථක නිර්මාණ බිහි වුවද ඒවාට අතවත් තියන්නට බියවන මෙම ආයතන එකම ගීත ගොන්නක් ප්‍රචාරය කොට දවස ගෙවා දමති. නැතිනම් තවකෙකුගේ වැඩසටහනක් අනුකරණය කොට කාලය කා දමති. ගුවන්විදුලි නාලිකා පනහකට ආසන්න ප්‍රමාණයක් ඇති රටක නිර්මාණාත්මක වැඩසටහන් පෙළගැස්මක් ඇති ගුවන් විදුලි නාලිකාවක් හොයා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තකි. එකී ඌණතාව 'මුදලට ගීත ප්‍රචාරය කරන්නන්ට' ආශිර්වාදයක් වී තිබේ. මන්ද ගීත ජනප්‍රිය කරවීමේ ඒකාධිකාරය එමගින් තහවුරු වන බැවිනි. එවිට 'පැකේජ්' ක්‍රමයට ගීත ප්‍රචාරය කිරීමේ හැකියාව ඔවුනට ලැබේ. ගීතයක් ජනප්‍රියවන්නට නම් තමන්ගේ 'පැකේජයක්' ලබාගැනීම හැර අන් විකල්පයක් නැති බවට මතයක් ඔවුහු ගොඩනගති.

කිහිපදෙනකු විසින් ක්‍රියාවට නගනු ලබන මෙම සදාචාර විරෝධී මාධ්‍ය පිළිවෙත හේතුවෙන් එකී ආයතන තුළම තම වෘත්තිය කරගෙන යනු ලබන ආචාරශීලී කුසලතා පූර්ණ සන්නිවේදකයෝ පවා අසරණ වී සිටිති. හිතට එකඟ නොවූවද තම වෘත්තිය රැකගනු වස් ඔවුනට ලැබෙන අණ පිළිපැදිය යුතු වෙයි. ඒ අනුව රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් ශ්‍රාවකයාට 'විහිළු කරන්නට' ඔවුනට සිදුවී තිබේ. සිය නම් ගම් සඳහන් කරන්නට අකමැති වූ ගුවන් විදුලි නිවේදකයන් රැසක් මා සමග සඳහන් කළේ 'කියන දෙයක් කරගෙන' රැකියාව බේරාගනු හැර අන් විකල්පයක් නොමැති බවයි. ඒ අනුව සංස්කෘතික ඝාතකයන්ගේ හා 'සිංදු ජාවාරම්කරුවන්ගේ' න්‍යාය පත්‍රය අනුව නටන්නට මෙම දක්ෂ සන්නිවේදකයන්ට සිදුව තිබේ.

ඇතැම් රූපවාහිනී නාලිකාවන්හි ගීත දර්ශකවල ගීත පෙළගැසෙන්නේද 'අත යටින්' ලැබෙන මුදල’ මතය. එක්කෝ ලිංගික අල්ලසක් දිය යුතුය. එසේ නැතහොත් ඔවුනට මුදලින් සත්කාර කළ යුතුය. ගීතයක් ගීත දර්ශකයට ඇතුළත්වීමේ සිට එය එහි දිගු කලක් ප්‍රචාරය කරවා ගැනීම දක්වා වූ ක්‍රියාවලිය සැකසී ඇත්තේ ඒ පිළිවෙළ අනුවයි. නිෂ්පාදකයා සතුටු කරන තරම අනුව ගීතය දර්ශකය තුළ පවතින කාලයද අඩු වැඩි වේ. සැලකීම අඩු වූ විට එය රසික මනාපයෙන් පළමු තැනට ආවා යැයි පවසා දර්ශකයෙන් ඉවත් කෙරේ. ඒ රසික මනාපය නිෂ්පාදකයාගේ 'අමනාපය' බව ප්‍රේක්ෂකයෝ හෝ ශ්‍රාවකයෝ නොදනිති. ඇතැම් ගීත සඳහා රූප රචනා කරනුයේද නිෂ්පාදකයාමය. ඒවා පෞද්ගලිකව සිදුවේ.

මාධ්‍ය ආයතනය විසින් උසස් ගීත තෝරාගෙන රූප රචනා කරන පිළිවෙත අද මුළුමනින්ම බැහැර කොට තිබේ. එනිසා අදාළ ශිල්පියාටම එහි පිරිවැය දරා එම කටයුත්ත කරගැනීමට සිදුව ඇත. ප්‍රස්තුතය කුමක් වුවද රූප රචනයේ 'ඵඥය' තිබිය යුතුය. ඒවාද ගීතය දර්ශකගතව වැඩි කලක් පවත්වා ගැනීමට අමතර සුදුසුකමක් වෙයි. කවර තත්ත්වයක් යටතේ වුවද මෙකී මාධ්‍ය ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්න නොකළ යුතුය. එසේ ප්‍රශ්න කිරීම තම ගීත කුණු කූඩයට තල්ලු කරවා ගැනීමකි. එපමණක් නොව අදාළ ශිල්පියාට උක්ත මාධ්‍ය ආයතනය 'තහනම් කලාපයක්' බවට පත්වන්නටද එයම හේතුවක් වන්නට පුළුවන.

එබැවින් වැල යන අතට මැස්ස ගසා හෝ 'තමන් මාකට් වනු මිස' ස්වාධීන මත පළකිරීමෙන් වැළකී සිටීමට බොහෝ කලාකරුවෝ පරිස්සම් වෙති. පෞද්ගලික මාධ්‍ය තුළ බහුලව සිදුවන මෙම සදාචාර විරෝධී භාවිතාවට විකල්ප ලෙස ගොඩනැගෙන්නට රාජ්‍ය මාධ්‍ය ආයතනයන්ට කොතෙකුත් භෞතික හා මානව සම්පත් පැවැතියද ඉන් වැඩක් නොගැනේ. ඒවායේ බොහෝ විට සිදුවන්නේ දක්ෂයන් මුල්ලට කර දේශපාලන බලපුළුවන්කාරයන් තම ආධිපත්‍යය පැතිරවීමයි. පවතින රජය කවරක් වුවද එයට වන්දිභට්ටකම් කිරීම හැර දක්ෂයන් බලාත්මක කොට වඩා ගුණාත්මක මාධ්‍ය මෙහෙවරක නිරතවන්නට ඔවුනට අවැසි නැත.

ජනප්‍රිය කරවන ලද ගීතයේ ඊළඟ නැවතුම 'රිගින් ටෝන්' වෙළෙඳ‍පොළයි. ගීතය ජනප්‍රිය වන තරමට එය තම දුරකථනයේ රිගින් ටෝනය ලෙස යොදාගන්නට පාරිභෝගිකයා කැමැත්තක් දක්වයි. ඒ සඳහා අදාළ දුරකථන ජාලයට එක් ගීතයක් වෙනුවෙන් රුපියල් 30ක මුදලක් පාරිභෝගිකයා විසින් ගෙවිය යුතුය. මෙහි ඇත්තේද ගීතයේ සැබෑ නිර්මාණකරුවන් සූරාකන මාෆියාවකි. ප්‍රවීණ ගේය පද රචක සුනිල් ආර්. ගමගේ මහතා සඳහන් කළේ මෙහි ගනුදෙනු සිදුවන ආකාරය නිරීක්ෂණය කරන විට එහි පවතින අසාධාරණය වටහා ගත හැකි බවයි. ඔහු ලබාදුන් තොරතුරු මත මවිසින් සකසන ලද 1 වගුව දෙස බැලීමෙන් මෙය පහසුවෙන් අවබෝධ කරගත හැකිය. එක් ගීතයක් වෙනුවෙන් ග්‍රාහකයා දුරකථන සමාගමට ගෙවනු ලබන මුදල රුපියල් 30කි.

එය බෙදී යන ආකාරය ඉහත වගුවේ පරිදිය.මෙම මුදලට අමතරව මෙම සේවාව සැපයීම වෙනුවෙන්ද දුරකථන සමාගම් විසින් පාරිභෝගිකයා වෙතින් රුපියල් 50ක අමතර මාසික ගාස්තුවක් අයකර ගනී. එම සම්පූර්ණ මුදල දුරකථන සමාගමට හිමිවේ.

ඉහත වගුව අනුව කලාකරුවා සිටින්නේ කොතැනදැයි ඔබට තේරුම් ගැනීම දුෂ්කර නොවේ. ඔහුගේ බුද්ධිමය දේපළ හා ශිල්පීය කුසලතාව සූරා කන මෙම ගොරතර මාෆියාව හඳුනාගැනීමට මෙයට වඩා උදාහරණ අවැසි යැයි මම කල්පනා නොකරමි. මෙහි ඇති අනෙක් භයානක තත්ත්වය වන්නේ නිර්මාණකරුවාට ඉතිරිවන සොච්චම් මුදල පවා අතරමැදි පාර්ශ්වය විසින් ගසාගෙන කෑමයි. බොහෝ විට මෙම ගීත අතරමැදියකු විසින් දුරකථන සමාගම් වෙත ලබාදී ඇති බව පවා නිර්මාණකරුවෝ නොදනිති. තම අනුදැනුම මත ලබාදුන් ගීත සඳහා වුවද දුරකථන සමාගම් විසින් උපයන ලද මුදල කොතරම් දැයි ඔවුන් දන්නේද නැත. ඔවුනට දැනුම් දෙන්නේද නැත. අතරමැදියා විසින් ගෙනත් දෙන මුදල නිහඬව බාරගත යුතුය. පසුගිය දිනක ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ පුතණුවන් මාධ්‍යයට සඳහන්කොට තිබුණේ දුරකථන සමාගම්වල අලෙවි කරන සිය පියාගේ ගීත වෙනුවෙන් මතෛක් සතයක් හෝ ලැබි නැති බවකි.
අප කළ විමසීමකදී ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන් පළකළේ මෙවන් අදහසකි.

මම වරක් මගේ ජනප්‍රිය ගීත කිහිපයක් එක්තරා අතරමැදියෙක් මාර්ගයෙන් දුරකථන සමාගමකට රිගින් ටෝන් සඳහා ලබාදෙන්න කටයුතු කළා. ඒත් ඒ ගීත පිළිබඳව දුරකථන සමාගමේ පිළිතුර හිතාගන්නවත් බැරි වුණා. ඔවුන් කිව්වේ එම ගීත කිහිපය ඒ වෙනකොටත් ඔවුන් උපරිම කාලයක් පාවිච්චි කරල ඒ ගීත ඔවුන්ට දීපු අතරමැදියට අදාළ ගෙවීම් පවා සිදුකරල ඉවරයි කියල. පස්සෙ මමම මේ ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දුන්නම ඔවුන් කිව්වෙ අදාළ දුරකථන සමාගම් තමන්ට ගීත ලබාදුන් අතරමැදි ආයතනවලට ගිවිසුම්වලට අදාළව මුදල් ගෙවීම් කරල තියෙනව නම් ඒ මුදල් නිර්මාණකරුවන්ට ලැබුණද නැද්ද යන්න සොයා බලන්න තමන්ට අයිතියක් නොමැති බව. මොකද දුරකථන සමාගම් ගිවිසුම්වලට ඇවිත් තියෙන්නෙ අතරමැදියොත් එක්ක.

නිර්මාණකරුවන්ට ඉන් අසාධාරණයක් වෙලා තියනව නම් ඒ පිළිබඳව අතරමැදියන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන්න කියන එකයි ඒ අය සඳහන් කළේ. මේ අසාධාරණය කලාකරුවන් රාශියකට සිදුවෙලා තියනවා. දැන් සිද්ධවෙලා තියෙන්නෙ අපේ ගීත අවසරයකින් තොරව දුරකථන සමාගම්වලට දීපු අතරමැදියො හොයාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගන්න. මේ ජාවාරමෙන් කෝටි ගණන් මුදල් උපයල තියෙන්නෙ නිර්මාණයකට කිසිම දායකත්වයක් නොකරපු දුරකථන සමාගම් සහ අතරමැදි ආයතන. අද අමු අමුවෙ නිර්මාණකරුවන්ගෙ බුද්ධිමය අයිතියට ලැබිය යුතු ප්‍රතිලාභ කොල්ලකන තැනට මේ ජාවාරම පත්වෙලා.

එබැවින් සැබෑ නිර්මාණකරුවන්ගේ බුද්ධිමය අයිතීන් සඳහා ලැබිය යුතු ප්‍රතිලාභ ගසාකන 'දුරකථන සමාගම්' හා 'අතරමැදියන්' ගෙන යන මෙම ජාවාරම වහා නතර කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. 'පැකේජ්' මත පදනම්ව ගීත ප්‍රචාරය කිරීමේ සදාචාර විරෝධී මාධ්‍ය භාවිතයට වැට බැඳිය යුතුය. එසේ නොවුණහොත් හෙට දිනයේ සුභාවිත සිංහල ගීතයත් සංගීත කර්මාන්තයත් බේරාගත නොහැකි වනු ඇත. ඒ අනුව ශ්‍රාවකයනට ඉතිරිවනු ඇත්තේ සිංදු ජාවාරම්කරුවන් විසින් මෙහෙයවන ස්ත්‍රී - පුරුෂභාවය පවා හඳුනාගත නොහැකි හඬවල් වලින් ගයන දුක් අඳෝනා පමණක්ම බව අමුතුවෙන් කිව යුතු නැත.

රවී සිරිවර්ධන

No comments:

Post a Comment