මම බයනම් ලංකාවේ ඉන්නේ නැහැ – පාක්‍යසෝති සරවනමුත්තු
ඔබ ආණ්ඩුවෙන්
හා ආණ්ඩු හිතවාදීන්ගෙන් දොස් අහන කෙනෙක්. යේයුස් වහන්සේ කියනවා ඔබේ එක්
කම්මුලකට ගැසුවහොත් අනෙක් කම්මුලත් හරවන්න කියලා. ඔබට එන ගැරහුම්
සම්බන්ධයෙන් අනෙක් කම්මුලත් හරවනවද? නැතහොත් ඔබේ ප‍්‍රතිචාරය ඊට වෙනස්
එකක්ද?
ප‍්‍රතිචාරය වෙනස් වෙන්නෙ නැහැ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ප‍්‍රකාශනයෙහි අයිතියක් තියනවා. මගේ අදහස් මම
කියනවා. ඊට ඔවුන් මම කැමති නැති භාෂාවකින් ප‍්‍රතිචාර දක්වනවා නම් මම කුමක්
කරන්නද? මිනිස්සු මගේ අදහසයි ඔවුන්ගේ ප‍්‍රතිචාරයයි දෙකම කියවලා අප ගැන
තක්සේරුවකට එයි. ඔවුන් සාක්ෂි නැතුව චෝදනා කරන විට කොහොමද චෝදනාවල අගක්
මුලක් දැනගන්නෙ මේවා ශීලාචාරද නැද්ද කියලා මිනිස්සු තේරුම් ගනීවි. හැබැයි
මට එල්ලවන චෝදනාවල කරුණුමය වරදක් තිබෙනවා නම් මම ඒවා ගැන යළි මගේ අදහස
පළකරනවා. මම මෑතකදිත් අයිටීඑන් එකට ලිව්වා අප ගැන පළ කළ ප‍්‍රවෘත්තියක්
වැරදියි කියලා. මම බටහිර රටක ආණ්ඩු සමග වැඩකරනවද එල්ටීටීඊ හිතවාදීද සල්ලි
සොරකම් කරනවද කියන චෝදනා එල්ල කරනවානම් ඒවාට සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. මම
දූෂිත වැඩවලට විරුද්ධයි. මෑතකදිත් මේ ආයතනයට සම්බන්ධ දූෂිත කටයුතුවල
යෙදුණු කෙනෙක් ඉවත් කෙරුණා. ඒක කවුරුත් දන්නවා. මීට පෙර සිවිල් සමාජ
සංවිධානයක ඒ වගේ දෙයක් කළා කියලා මම හිතන්නෙ නැහැ. මිනිහෙක් සංවිධානයකින්
ඉවත් කරනවානම් ඔහුට එරෙහිව සාධාරණ සාක්ෂි තිබිය යුතුයි. එහෙම නැතුව අර චීෆ්
ජස්ටිස් ඉවත්කළා වගේ වැඩකරන්න බැහැනෙ.
හතර වටෙන් චෝදනා එල්ල වනවිට ඔබ හුදෙකලා වෙනවා. එතකොට බයක් දැනෙන්නෙ නැද්ද?
පුද්ගලික මට්ටමින් මට එච්චර බයක් නැහැ. බය
වෙනවානම් ලංකාවෙන් ගිහින් පිටරට ඉන්න ඕන. මෙතන වැඩ කරන්න යනවා නම් බයෙන්
වැඩ කරන්න බැහැ. එහෙත් ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නත් ඕනෑ. ආයතනය ආරක්ෂා
කරන්නත් ඕන. මං ගත්ත තීරණය තමයි මම ලංකාවේ වැඩ කරනවයි කියන එක. මේක මගේ
ප‍්‍රතිඵලය මගේ කැපවීම. මෙතන මට බය වෙලා වැඩ කරන්න බැහැ. රටේ සිද්ධි ගොඩක්
වෙනවා. ඒවා ගැන කතා කරන්න ඕන. කෑ ගහන්න ඕන. මිනිස්සු ඒකට මැදිහත් නොවී වරද
වළක්වන්නෙ කොහොමද?
ඔබ පුංචි මිනිස්සුන්ට සමීප මදි කියලා දැනෙන්නෙ නැද්ද?
ඔව්. මං හිතනවා. තව ගොඩක් ළං වෙන්න ඕන තමයි.
අනෙක් පැත්තෙන් මිනිස්සුන්ට හුගක් සමීප වෙලා සංවිධානයක් පාලනය කරන්න
අමාරුයි. මට නිදහස ලැබෙන පරිදි මම ඕනෙම තැනකට යනවා. මිනිස්සු අතරට යනවා.
එහෙත් තව දුර යන්න ඕනෙ කියලා මම පිළිගන්නවා.
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ප‍්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයකට සහාය දෙන්න අපේක්ෂා කරනවද?
ඔව්. අපි දකින විධියට මේ රටට ගැලපෙන්නේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක්. ඒ අරමුණට තමයි අපේ වැඩසටහන් හදලා තියෙන්නෙ.
ඔබට හිතමිතුරන් කියන්නෙ සරා කියලා. ඔබ ඒ ආමන්ත‍්‍රණයට කැමතිද?
කැමතියි කියන්නේ මගේ සීයාට, තාත්තාට මට
සේරටම කිව්වේ සරා කියලා තමයි. ලංකාවේ සම්ප‍්‍රදායක්නේ දිග නමක් තියන
කෙනෙකුට ඒකෙන් කොට කරලා පොඩි නමක් දාගන්න එක. අපේ මුළු පවුලටම කියන්නෙ සරා.
මගේ නම පාක්‍යසෝති. පොඩි කාලෙ ඉස්කෝලෙ යනකොට කවුරුවත් පාක්‍යසෝති කිව්වේ
නැහැ. දිග වැඩි නිසා. ඒ ගොල්ලොත් කිව්වේ සරා. පවුල ඇතුලේ මම බාලයා. මල්ලිට
කියන්නෙ තම්බිනෙ. තව ගොඩක් කට්ටිය මට තම්බි කියනවා. මටනම් තුනයි. තම්බි,
සරා, පාක්‍යසෝති, පාක්‍යසෝති කියන නමේ තේරුම Light of Fortune කියන එකයි.
ඩොක්ටර්ගෙ ගම කොහේද?
මගේ සීයාගේ තාත්තා දොස්තර කෙනෙක්. ඔහු යාපනේ
ඉඳලා කොළඹට ආවා. ඉතින් මගේ ගම හැටියට මම සලකන්නේ කොළඹ. මම මුලින්ම ගියේ
කොල්ලූපිටිය ශාන්ත තෝමස් ප්‍රෙප් ස්කූල් එකට. පස්සේ ගල්කිස්සට ගියා.. මම
උපන්නෙ 1958දී.
පාසල් කාලේ වැඩිපුර උනන්දුව තිබුණේ මොනවටද?
මම ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තෙ. මගේ මව සිංහල. මම දෙවැනි බස හැටියට සිංහල ඉගෙන ගත්තා. ඕලෙවල් එකට මම සිංහලත් කළා.
තාත්තට සිංහල කාන්තාවක් හම්බ වුණේ කොහොමද?
ඒ ගොල්ලො ඉස්කෝලෙ යනකොට හමුවෙලා තියෙන්නෙ.
එක සමාජ පන්තියක් නියෝජනය කරන අය හැටියට තමයි දෙන්නා එකතුවෙන්නෙ. මගේ පියා
ඩොක්ටර් කෙනෙක්. අම්මට තිබුණා. වෙස්ටර්න් බැලේ පාසලක්. ඇය පන්ති කළා. දැන්
අපේ අම්මට අවුරුදු අසූ ගාණක් වෙනවා. මායි අම්මයි අක්කයි අපි දැනටත් එක
ගෙදරක ජීවත් වෙනවා.
ඩොක්ටර් බැලේ කළාද?
පොඩි කාලේ කළා. ඉස්කෝලෙදිත් මම ආට්ස්
සබ්ජෙක්ට් තමයි වැඩිපුර උනන්දුවෙන් කළේ. පොඩි කාලේ ඉංගී‍්‍රසි සාහිත්‍ය
හුඟක් කියෙව්වා. තාත්තා එක්ක දේශපාලනය ගැන සාකච්ඡා කළා. මගේ සීයා දෙවැනි
ලෝක යුද්ධ කාලේ තේ සහ රබර් පාලක හැටියට වැඩ කළා. ඔහුගේ නමත් පාක්‍යසෝති. ඒ
නම තමයි මට දැම්මේ. පසුව සීයා දේශපාලනයට ගියා. පක්ෂයකින් නොවෙයි ස්වාධීන
අපේක්ෂකයෙක් හැටියට. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. ඔහුගේ අයියා
සර් රත්නජෝති සරවනමුත්තු තමයි කොළඹ පළමුවැනි ලාංකික මේයර්. සීයා දෙසැරයක්
කන්ටෙස්ට් කළා. පළමු වතාවේ යූඑන්පී එකෙන් ඔහු සමග තරග කළේ ආර්ඒඞීමෙල්. ඔහුට
එල්ල වුණු ඡන්ද පෙත්සමෙන් ඔහු පරාද වුණා. මේ 47 විතර. අතුරු මැතිවරණයක්
ආවා. යූඑන්පී එකෙන් දැම්මෙ කර්නල් ටීජී ජයවර්ධන. එවර ජයවර්ධන දිනුවා.
තාත්තා පොලිටික්ස් කළේ නැද්ද?
ඒ කාලේ විශ්වවිද්‍යාලයට ගිය අය ගොඩක් ලෙෆ්ට්
එකටනෙ ගියේ. තාත්තත් ඒ වගේ. සමසමාජ පක්ෂයට සම්බන්ධවෙලා හිටියා. මමත් තරුණ
කාලේ ලෙෆ්ට් එකට වගේම සෝෂල් ඩිමොක‍්‍රටික් පැත්තට නැඹුරු වුණා. තාත්තා
කිව්වා අක්කයි මමයි දෙන්නවම එංගලන්තෙ විශ්වවිද්‍යාලයට යවන්න ඕන කියලා. ඒ
කාලෙ තාත්තා දොස්තර කෙනෙක් හැටියට ලයිබීරියාවට ගියා. ඒ විදේශ මුදල් ගෙනඒමේ
පහසුකම හා හම්බ කිරීමේ හැකියාව පාවිච්චි කරලා.
ෆැමිලි එකම ලයිබීරියා ගියාද?
අම්මයි තාත්තයි ඒ වෙනකොට වෙන්වෙලා හිටියෙ.
මමයි අක්කයි තාත්තා එක්ක ගියා. අපි දෙන්නම ලන්ඩන් ඒ ලෙවල් කළේ. ඉස්කෝලේ
ගියේ නැහැ. තැපෑලෙන් පාඩම් එවනවා. අපි ඒවා ඉගෙනගෙන විභාගෙට ලිව්වා. 1976
අපි දෙන්නම ලන්ඩන් ගියා. මම ගියේ London School Of Economics එකට. අක්කා
ක්වීන්බෙරි කොලේජ් එකට. මම කළේ International Politics අක්කා Economics
අවුරුදු තුනකින් ඩිගි‍්‍ර එක ලැබිලා මම PHD ප්‍රෝග‍්‍රම් එකට සම්බන්ධ වුණා.
වසර 8ක් ගියා. 85 දී තාත්තා මැරුණා. මම කාලයක් යුනිවර්සිටි එකේ උගන්නලා
92දි තමයි ලංකාවට ආවේ.
ලයිබීරියාවේ අත්දැකීම් කොහොමද?
ලයිබීරියාව කියන නම එන්නෙ Liberty කියන
වචනයෙන්. ඇමරිකාවෙ වහල් බැම්මෙන් ඔවුන් මුදවා දැමූවිට සමහරු නැවත
අපි‍්‍රකාවට ආවා. බෝට්ටුවල නැගලා තුවක්කුත් අරන් ආවේ. ඔය ලින්කන්ගෙ පීරියඞ්
එකේ. එවකට හිටපු අය යුද්දෙකින් පරාජය කරලා ඒ අය බලය ඇල්ලූවා. මේ අයට
ඇමරිකාව සමග ලොකු සබඳතාවක් තියනවා. හුඟක් නම් ඉංගී‍්‍රසි. ඔවුන්ගේ
සංස්කෘතියත් හරි වෙනස්. අක්කයි මමයි ගියේ වයස 15-16 කාලේ. අපේ මට්ටමේ හිටපු
ළමයි 20-22 ළමයි වගේ තමයි කි‍්‍රයා කළේ. ඔවුන් සිය කාන්තාවන්ට ළමයි හදන්න
පුළුවන් කියලා පෙන්වන එක හරි වැදගත් දෙයක් ලෙස සැලකුවා. ඉතින් බඳින්න පෙර
හුඟක් ගෑනු ළමයින්ට ළමයි හම්බ වුණා. ඒ සමගම ලෙඩ බෝවුණා. එකක් මැලේරියාව.
මදුරුවෝ හරියට හිටපු රටක්. දෙවනුව ලිංගික රෝග. පිරිමින්ටත් Out side wife
කියලා කාන්තාවක් හිටියා. ලයිබීරියා සමාජයේ දොස්තරලයි, ටීචර්ස්ලයි ඇවිත්
හිටියෙ දකුණු ආසියාවෙන්. ධීවරයෝ ඝානාවෙන් ආවා. වෙළෙඳපොළ කළේ ලෙබනන් කට්ටිය.
ලයිබීරියාව මොකුත් කළේ නැහැ. කම්මැලියි. මං හිතන්නෙ ලිබර්ටි කියන අදහසත්
එක්ක ඔවුන් නිකම්ම ඉන්න කල්පනා කළා.
ඉතින් ඔවුන් හුඟක් මහන්සිවෙලා ආපු වහල්ලූනෙ.
ඔව්. ඉතින් අවුරුදු ගාණක් මහන්සි වෙලා වෙලා
දැන් නිදහසේ ඉන්න ඕනෙ කියලා ඔවුන් තීරණය කරන්න ඇති. වෙන රටවල අය මුදල් හම්බ
කරගෙන ගියා. අන්තිමට 78 වගේ සැමුවෙල් ඩෝ කියලා නිලධාරියෙක් පාලන බලය අතට
ගත්තා.
ලන්ඩන් යුනිවර්සිටි එකේදි කාලය ගෙවුණේ කොහොමද?
හැම රටකම කෙනෙක් අපිත් එක්ක හිටියා.
වැඩිපුරම කතා කළෙත් දේශපාලනය. මිනිත්තු පහකින් බීබීසී බුෂ් හවුස් යන්න
පුළුවන්. පාර්ලිමේන්තුවට පයින් ඇවිදගෙන යන දුර. හරි විනෝදජනක ඒ වගේම
ප‍්‍රබෝධමත් කාලයක්. එකල විදේශික ශිෂ්‍යයන්ගේ පීස් එක පටන් ගත්තේ පවුම්
450ක්. පසුව ඒක 750කට ගියා. ඊට පස්සෙ 1500 වුණා. ඉතින් අපි උද්ඝෝෂණය කළා.
පාර්ලිමේන්තුවට පෙළපාළි ගියා.
තරුණයෙක් හැටියට පේ‍්‍රම කළාද?
ඔව්. මම නැවතිලා හිටියෙත් තවත් අපේ ශිෂ්‍ය
කණ්ඩායමක් සමග. ඒ දවස්වල පේ‍්‍රම කළා. විනෝදයෙන් හිටියා. තරුණයකු ලෙස නිදහස
පිළිබඳ කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. නොයෙකුත් රටවල්වලින් පැමිණි අය අතර
විවෘත වීමක් අප කවුරුත් තුළ තිබුණා. තියටර් එකට. ආර්ටි ගැලරි එකට,
කෞතුකාගාරවලට යනවා. අපිට අවස්ථා ගොඩක් තිබුණා. අපිට ඉතින් හැම තැනකදීම
ඩිස්කවුන්ට් එකකුත් ලැබෙනවානෙ. 79 දී මාග‍්‍රට් තැචර් බලයට ආවා. ශිෂ්‍යයෝ
එයාට විරුද්ධයිනෙ. තරුණ අය වාමාංශික පැත්තට නැඹුරු නිසා තැචර්ට විරුද්ධ
වෙන්න ඇති. අනික එයා සුබසාධනය සහ තවත් පහසුකම් කැපුවා.
ඔය කාලේ ඩොක්ටර්ගෙ වීරයා කවුද?
මට මතකයි 80දි විතර ලන්ඩන් යුනිවර්සිටි එකේ
චාන්සලර් හැටියට කෙනෙක් තෝරගන්න ඡුන්දයක් තිබ්බා. අපේක්ෂකයෝ දෙන්නෙක්
හිටියා. පි‍්‍රන්සස් ඈන් එක්කෙනෙක්. රැජිනගේ දුව. අනෙක් එක්කෙනා නෙල්සන්
මැන්ඩෙලා. ඔහු එකල හිරගෙදර හිටියෙ. අපි සේරම මැන්ඩෙලාට කැම්පේන් කරලා ඡන්දේ
දුන්නා. හැබැයි දිනුවෙ පි‍්‍රන්සස් ඈන්. ආසියාවේ නම් මගේ වීරයා නේරු සහ චෞ
එන් ලායි. ඇමරිකාවේ නම් ජෝන් කෙනඩි සහ රොබට් කෙනඩිට මම කැමතියි.
මැන්ඩෙලාත් මගේ ලොකුම වීරයෙක්.
ලංකාවේදී ඔබේ ගෞරවයට ලක්වෙච්ච දේශපාලනඥයා කවුද?
ඞී.එස්.සේනානායකට දර්ශනයක් තිබුණා.
බණ්ඩාරනායකටත් තිබුණා. තම උගත්කමින් ප‍්‍රශ්න වළක්වන්න පුළුවන් කියලා
අහංකාර සිතුවිල්ලක් ඔහුට තිබුණා. ඒත් නිර්භීත නැහැ. ඩඞ්ලි සේනානායකට
මිනිස්සු ආදරෙයි. අඩුපාඩුකම් තිබුණත් ඒ ගොල්ලෝ තමයි මටත් ඉන්නෙ. වීරයන්
හැටියට මට ඔවුන් දිහා බලන්න බැහැ. චෙල්වනායගම් හුඟක් වැදගත් කෙනෙක්. ඊළඟට
පරණ පෙඩරල් පක්ෂවල දේශපාලනඥයන් කෙරෙහි මට ලොකු ගෞරවයක් තියනවා. ඒ අය
දේශපාලනයට ගිහින් සල්ලි හම්බ කළේ නැහැ.
ඉන්දියාවේදි වගේ අපේ රටේදි උගතුන් රටේ නායකත්වයට පත් නොවන්නෙ ඇයි?
අපි සටන් කරලා ඡන්දය දිනාගත් රටක් නොවෙයි.
නිදහස ලැබුණේ ඉහළ පෙළේ පිරිසකට. 48 නිදහස් උත්සවය පින්තූරවලින් අපි දැකලා
තියනවානෙ. මම 98 නිදහස් උළෙලට මව සමග ගියා. ටෙන්ට් ඇතුළෙ හිටියෙ ඉහළ පෙළේ
කට්ටිය. ජනතාව හිටියෙ එළියෙ. 48දිත් එහෙමයි. අදත් එහෙමයි. ලංකාවේ පන්තිය හා
කුලය පිළිබඳ ප‍්‍රශ්නය තාම තියනවා. අපි සමාජයක් හැටියට වැඩකරලා නැහැ.
සමාජයක් හැටියට සන්තෝෂවෙලත් නැහැ. වර්ල්ඞ් කප් එක දිනපු වෙලාවේ විතරයි අපි
සමාජයක් හැටියට සතුටු වුණේ. මේ රට විවිධත්වයට හුරුපුරුදු කරන්න දේශපාලන
මට්ටමින් දර්ශනයක් දීලා නැහැ. ඒක ලොකු ප‍්‍රශ්නයක්.
ඩොක්ටර් විවාහ නොවුණේ ඇයි?
උනන්දුවක් සහ කැමැත්තක් තිබුණේ නැහැ. ඒක කරන්න. එච්චරයි.
විවාහ සංස්ථාව ගැන ඔබේ ආකල්පය කෙබඳු එකක්ද?
සමහරු සතුටින් ඉන්නවා. තව පිරිසක්
කනගාටුවෙන් ඉන්නවා. අපේ අම්මයි තාත්තයි සෙපරේට් වුණාට තාත්තා ඇවිත් අපිව
ඉස්කෝලෙට ගෙනියනවා. අපේ ප‍්‍රශ්නයක් මතු වුණොත් අම්මයි තාත්තයි ඒ ගැන
සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. ඒ දෙන්නා වෙනම හිටියෙ. ඒක එකට ඉඳන් දුක්
විඳිනවට වඩා ශීලාචාර ක‍්‍රමයක් කියලා මම හිතනවා. රණ්ඩුවෙවී එකට ඉන්නෙ
මොකටද?
ඉන්නවෙන සාධකය ආර්ථිකය. වෙන් වුණොත් දෙපාර්ශ්වයටම පැවැත්මක් නැතිවෙනවා.
ඒක වෙන්න පුළුවන්. ඒකට මගේ උත්තරය මේකයි. මට
ගැනු ළමයෙක් හිටියා නම් එක දෙයයි මම කරන්නෙ. විශේෂයෙන්ම ගෑනු ළමයකුට හොඳ
අධ්‍යාපනයක් දෙන්න ඕනෙ. ගැහැනිය පිරිමියාගෙන් යැපෙන තත්ත්වය වෙනස් විය
යුතුයි. එයා ස්වාධීන වෙන්න ඕන. මේක පුරුෂ මූලික සමාජයක් වුණාට අම්මාලට පවුල
තුළ ලොකු බලයක් තියනවා. ඒ බලය ප‍්‍රයිවට් එකේ තියන එකක්. පොදුවේ නැහැ.
එතනයි ප‍්‍රශ්නෙ තියෙන්නෙ. තාත්තගෙ බලය විතරක් නොවෙයි අම්මගෙ බලයත් පොදු
තැනකට ගේන්න ඕනෙ.
ලව් කළොත් බඳින්න ඕනෙ වගේ මතයක් තියනවගෙ. ඩොක්ටර් ඒ ගැන හිතන්නෙ කොහොමද?
මැරේජ් එක කියන්නෙ ආයතනයක් ලෙස හදපු එකක්.
ඒක ඇතුළේ මිනිස්සු හිර කරන්න ඕන නැහැ. නිදහස් වෙන්නයි ඕනෙ. විවාහයට
සර්ටිෆිකේට් එකක් මොකටද? මම දන්න අය ඉන්නවා විවාහ නොවී අවුරුදු කීපයකට එකට
ජීවත් වෙනවා. ළමයි හදලා තියනවා. ප‍්‍රශ්නයක් නැහැ. මං එතුමියට ආදරෙයි.
ළමයින්ට ආදරෙයි. දාලා යන්නෙ නැහැ. ඒක තමයි ආදරය කියන්නෙ.
ඩොක්ටර් ඩි‍්‍රන්ක් එකක් ගන්න එකෙන් අපේක්ෂා කරන්නෙ මොකක්ද?
මං ඒකට කැමැතියි. පොඩි විනෝදයක් ලබනවා. ඕනෙ එකක් කළාට කමක් නැහැ. හැබැයි ඒ හැම දේම මීඩියම් වෙන්න ඕනෙ.
ඔබේ අනාගත අපේක්ෂාව මොකක්ද?
අවංකවම කිව්වොත් මම දන්නෑ. ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්න මට තවම විවේකයක් ලැබිලා නැහැ.
විමලනාත් වීරරත්න
උපුටා ගැනීම – රාවය වේබ් අඩවියෙනි
No comments:
Post a Comment