Wednesday 20 November 2013

උතුරේ චන්ජය දෙන ගුණාංගය මෙන්න..

ඉලංගෙයි තමිළ් අරසු පක්‍ෂයෙහි නාමයෙන් සහ ලාංඡනයෙන් තරග වැදුණු දෙමළ ජාතික පෙරමුණ උතුරු පළාත් සභා මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම වනාහි උතුරුකරය තුළ පමණක් නොව සමස්තයක් වශයෙන් ලංකාව පුරාමත් මහත් සංවාදයට සහ අපවාදයට ලක් වන්නක් බවට පත්වෙමින් තිබෙයි. උතුරෙන් ඔබ්බට යනවිට මෙම ජයග්‍රහණය ආණ්ඩු විරෝධී පිරිස්වල සන්තෝසයට ලක්ව පවතින්නේ එය විශේෂයෙන්ම දකුණු ලංකාවේදී ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් උදෙසා පෙනී සිටින ආණ්ඩු විරෝධී බලවේග පත්ව සිටින අසරණ තත්ත්වය හමුවෙහිය. නමුත් උතුරෙහි පවතින දේශපාලනික වාතාවරණය සහ සමස්තයක් වශයෙන් ලංකාවෙහි දේශපාලනික සංස්කෘතියෙහි වෙනස්කම් කෙරෙහි මෙම ජයග්‍රහණය කුමන අන්දමෙහි බලපෑමක් කරනු ඇතැයිද යන්න පිළිබඳ විචාරාත්මක දැක්මකින් යුතුව සාකච්ඡා කිරීම වැදගත් යැයි සිතමි.
පළමුව උතුරු පළාත් සභා මැතිවරණයෙන් “ආණ්ඩු පක්‍ෂය” පරාජය වී “විපක්‍ෂය” ජය ලබා ගැනීම යන අදහස ගැන අවධානය යොමු කිරීම වැදගත් යැයි සිතමි. සමහර අයගේ සතුටට මෙන්ම සමහර අයගේ අසතුටට ද හේතු වී ඇත්තේ මෙම කාරණයයි. නමුත් ඇත්ත වශයෙන්ම සිදු වී ඇත්තේ වෙනස් දෙයකි. එනම් උතුරට අනුව උතුරෙහි ජයග්‍රහණය ලබා ඇත්තේ ආණ්ඩු පක්‍ෂයයි. නිදහසින් පසුව ලංකාවෙහි උතුරෙහි දේශපාලන ආධිපත්‍යය හිමි කර ගෙන සිටින, උතුර තුළ ආධිපත්‍යමය සහ ජනප්‍රිය දේශපාලන ධාරාව නියෝජනය කරන පක්‍ෂය විසින් මෙවරත් උතුරේ දේශපාලන බලය දිනා ගෙන ඇත. දෙමළ ජාතිකවාදී දේශපාලන ධාරාව නියෝජනය කරන එම දේශපාලන පක්‍ෂයෙහි ජයග්‍රහණය යනු උතුරෙහි දේශපාලන ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙකු තුළ කිසිසේත්ම පුදුමය දනවන්නක් නොවෙයි.
එසේනම් මෙම විමතියට හේතුව කුමක්ද? බොහෝ දෙනාගේ එම විමතිය තුළ නග්න ජාතිවාදයෙහි පිළිකුල් සහගත මුහුණවර ද දැකිය හැකිය. එනම්, “මුන්ට මෙච්චර පාඩමක් උගන්වලත් තවම අපේ අණසක පිළිගන්න ලැහැස්ති නැද්ද?” යන්න නොකියා කීමක් එම විමතිය තුළ අන්තර්ගතය. අනෙක් කරුණ වන්නේ “මෙච්චර සංවර්ධනයක් කරලත් ඇයි මුන් විපක්‍ෂයට ඡන්දය දෙන්නේ?” එය ද දකුණේ දේශපාලන පරිසරය තුළ උතුරෙහි දේශපාලනය අවබෝධ කර ගැනීමට දරන උත්සාහයෙහි ප්‍රතිඵලයක්ය. ඇත්තෙන්ම සංවර්ධනය වෙනුවෙන් සාම්ප්‍රදායික දෙමළ දේශපාලන පක්‍ෂ අතහැර දකුණේ පක්‍ෂයකට ඡන්දය දීමක් බලාපොරොත්තු වන්නේ “දෙමළාට දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද?” යැයි ප්‍රශ්න අසන ගණයට අයත් වන්නන්ය.
ඇත්තෙන්ම ලංකාවෙහි දෙමළ ජනයාගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් සුරක්‍ෂිත කෙරෙන පරිසරයක් ඇති වෙන තෙක් සාම්ප්‍රදායික දෙමළ දේශපාලන පක්ෂවලට ඡන්දය දිනීම යනු කිසිසේත්ම දුෂ්කර කරුණක් වන්නේ නැත. මෙයට පෙර පැවැති ඡන්දවලදී මෙන්ම මෙම මැතිවරණයෙහිදී ද දෙමළ ජනයාගේ ඡන්දය දීමේ පදනම වනාහි දෙමළ ජාතිකත්වයයි. එහෙයින් ‛මෙතුවක් කල් දෙමළ ජාතික සන්ධානය මොනවද කෙරුවේ’ යන්න ඡන්ද කාලයකදී වලංගු ප්‍රශ්නයක් වන්නේ නැත. එහෙයින් දකුණෙදී මෙන් උතුරෙදී දෙමළ දේශපාලන පක්‍ෂවලට දෙමළ ජනයා අතරට යෑමෙහිදී කිසිඳු චකිතයක් ඇති කර ගැනීමට හේතුවක් නැත. එනම් සංවර්ධන වැඩ කරවූයේ නැත යන චෝදනාව සාම්ප්‍රදායික දෙමළ දේශපාලන පක්‍ෂවලට එල්ලවන්නේ නැත. එකී දේශපාලන පක්‍ෂවලට එල්ලවන චෝදනාවල පදනම වන්නේ ජාතිකවාදී අභිලාෂයන් ඉටු කිරීම පිළිබඳව දක්වා ඇති කැප කිරීම ආශ්‍රිත කරුණුය. ඉතාමත් කෙටියෙන් පවසන්නේ නම් “සංවර්ධනය” විසින් ජාතිවාදී දේශපාලන ඉල්ලීම් යටපත් කිරීමට නොහැකි බව උතුරු පළාත් සභා මැතිවරණය විසින් පෙන්නුම් කර ඇත.
උතුරු පළාත් සභාවට තේරී පත්ව සිටින කිසිඳු දෙමළ ජාතිකයෙකු ඔහු කුමන දේශපාලන පක්‍ෂය නියෝජනය කළත් දෙමළ ජාතිකවාදී දේශපාලන මතවාදය ප්‍රතික්ෂේප කරන්නෙකු නොවන බව, ප්‍රසිද්ධියෙහි දෙමළ ජාතිකවාදය ප්‍රතික්ෂේප කරන්නෙකු නොවන බව මෙහිදී සඳහන් කිරීම වැදගත්ය. එහෙයින් දෙමළ ජාතිකවාදයෙහි නියෝජනය තනිකරම දෙමළ ජාතික සන්ධානයට පමණක්ම සීමා වූවක් නොවන බව මෙහිදී සඳහන් කිරීම වැදගත් යැයි සිතමි.
පැවැති පළාත් සභා මැතිවරණයෙහිදී උතුරෙහි මෙන්ම දකුණෙහිද ආණ්ඩු පක්‍ෂ එසේත් නැතිනම් පාලක පක්‍ෂ ජය ලබා ඇති බව සඳහන් කිරීම එහෙයින් යුක්ති සහගත යැයි සිතමි. ඒ අනුව දකුණෙහි හෝ උතුරෙහි හෝ විකල්ප දේශපාලන ධාරාවන්ට ඇති ඉඩකඩ සහමුලින්ම ඇහිරී ඇති අතර එකිනෙකා පෝෂණය කර ගනිමින් වර්ධනය වෙන ජාතිකවාදී දේශපාලන ධාරාව තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට සමත් වී ඇත. තිස් වසරක යුද්ධයට පෙර ද පසුව ද කිසිදු අභියෝගයකට පරාජය නොවී මෙලෙස ඉදිරියට ඇදෙන ලංකාවෙහි දේශපාලන ක්‍රියාකාරීත්වය වනාහි ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් සුරක්‍ෂිත කෙරෙන අයුරින් ලංකාවෙහි දේශපාලන සංස්කෘතියෙහි වෙනසක් අපේක්‍ෂා කරන්නෙකුට කිසිසේත්ම සුභවාදී බලාපොරොත්තු ඇති කරවන්නක් නොවේය∎
සාමිනාදන් විමල්

No comments:

Post a Comment