Sunday 24 November 2013

2014 අය වැයෙන් පාසල් සිසුන්ට දුන් සහන වැඩි වෙයි

2014 අයවැයෙන් ගුරු-විදුහල්පති සහ සිසුන් ඇතුළු අධ්‍යාපන පද්ධතියේ කිසිදු නව සංවර්ධනාත්මක පියවරක් යෝජනා වී නැත. විශේෂයෙන් 2013 වසරට අදාළ අයවැය යෝජනා තුළ පාසල් ළමුන්ට ලබාදෙන නිල ඇඳුමට අමතරව තවත් අතිරේක නිල ඇඳුම් කට්ටලයක් දුෂ්කර පාසල්වල දරුවන්ට ලබාදෙන බව ප‍්‍රකාශ වුණි.

එසේම එම දරුවන්ටම සපත්තු කුට්ටමක් ප‍්‍රදානය කරන බව වැඩිදුරටත් සඳහන් කරන ලදී. නමුත් එම යෝජනා 2013 වසරේදී ඉටු නොකළා පමණක් නොව මෙවර අයවැය තුළ ඒ පිළිබඳව සඳහනක්වත් නොවීම කනගාටුදායක තත්වයක් බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය කියා සිටියේ මෙවර අයවැයෙන් ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාළව කිසිදු යෝජනාවක් සඳහන් නොවීම තුළ පැහැදිලි වන්නේ ගුරු-විදුහල්පතිවරුන්ගේ ප‍්‍රධාන ඉල්ලීම් මෙම අයවැයෙන් ද නොසලකා හැර ඇති බවයි.

එසේම 2009 වසරට අදාළව ඉදිරිපත් කළ අයවැය යෝජනා තුළ පැවැති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට මිලියන 3000 ක් වෙන් කරන බව සඳහන් වුවද එයින් එක් සතයක්වත් ගුරු-විදුහල්පතිවරුන්ට නොලැබුණු අතර අනතුරුව පැවති අයවැයවලදී මෙන්ම මෙවර අයවැයේද ඒ පිළිබඳ කිසිදු සඳහනක් නැති බවත් එසේම ශී‍්‍ර ලංකා ගුරු සේවයේ, ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථා සංශෝධනය කොට අදාළ උසස්වීම් විධිමත්ව ලබාදීම සම්බන්ධයෙන් ඍජු ප‍්‍රකාශනයක් නොකෙරුනු අතර ඒ පිළිබඳ කමිටු තීරණයක් ගන්නා බව සඳහන් වී ඇති බවද ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරයි. මෙම තත්වය තුළ පැහැදිලි වන්නේ අයවැය යෝජනා මඟින් පාසල් දරුවන්ට සහ ගුරු-විදුහල්පතිවරුන්ට අයවැය යෝජනා මඟින් මෙතෙක් ලබාදුන් සහන කි‍්‍රයාත්මක නොවූ හුදු යෝජනා පමණක් බවත්, ඔවුන් තවදුරටත් රජය විසින් රැවටීමට ලක් කරමින් සිටින බවත් ඔවුන් පෙන්වා දෙයි.

ලංකා ගුරු සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ඉතිරිය පහතින් බලන්න

පාසල්වල දුරකතන, විදුලි බිල්පත් ඇතුළු සියලූම නඩත්තු වියදම් සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරමින් අධ්‍යාපනයේ නඩුත්තුව දෙමව්පියන්ගේ උරමත පටවා, ආණ්ඩුව නාමික නිදහස් අධ්‍යාපනයක් ගැන ප‍්‍රකාශ කිරීම තහවුරු වන්නේ අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 2% ක් වත් වෙන් නොකිරීම තුළය. අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් වූ අවමය වෙන් කරන ලෙස සමාජයේ සියලූ පාර්ශවයන් විසින් සිදුකළ ඉල්ලීම මෙන්ම ගුරු-විදුහල්පති සේවා ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාගැනීමටත් අදාළ සියලූ බලාපොරොත්තු සුන්කළ මෙම අයවැයට ලංකා ගුරු සංගමය දැඩි අප‍්‍රසාදය පළ කර සිටී.

දරාගත නොහැකි ජීවන වියදම් ඉහළයාම් හමුවේ සමස්ත රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටි රාජ්‍ය සේවා වෘත්තීය සමිතිවල ඉල්ලීම මුළුමනින්ම නොසලකා හැර ඇති රජය රාජ්‍ය සේවකයාට අයවැයෙන් ලබාදී ඇත්තේ රු.1200 ක ජීවන වියදම් දීමනාවක් පමණි. නමුත් පනවා ඇති බදු හා මිළ වැඩිවීම් එම රු.1200 ට වඩා බොහෝ ඉහළ වන අතර රාජ්‍ය සේවකයා ඇතුළු මෙරට වැඩකරන පංතිය තවදුරටත් පීඩනයට පත් කිරීමේ අයවැයක් ලෙස 2014 අයවැයට තවදුරටත් විරෝධය පළ කරන ලංකා ගුරු සංගමය ඉල්ලීම් දිනා ගැනීම සඳහා 2014 වසර අරගල වසරක් කිරීම විනා වෙනත් මඟක් නොමැති බව ප‍්‍රකාශ කර සිටී.

No comments:

Post a Comment