Thursday 28 November 2013

දකුණු පළාත් සභාව පරාද වෙයි ....

දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු පිළිබඳ පුවත්පතක පළවී තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එම වාර්තාව ලියූ මාධ්‍යවේදීන් දෙදෙනාට පළාත් සභාවට පැමිණෙන ලෙස සභා ‍ලේකම්වරයා විසින් කර තිබූ ලිඛිත දැන්වීමට විරෝධය පළ කරමින් ගාල්ලේ මාධ්‍ය සංවිධාන කිහිපයක මාධ්‍යවේදීහු ගාල්ල ක‍ලේගානේ පිහිටි පළාත් සභාව ඉදිරිපිටදී ඊයේ (26) උදෑසන උද්ඝෝෂණයක් පැවැත්වූහ. දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය මෙමඋද්ඝෝෂණය සංවිධානය කර තිබුණි. මෙහිදී උද්ඝෝෂණයට සහය දීමට පැමිණ සිටි ගාල්ල කඩවත්සතර සහ තල්පේපත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක මතුගම ගුණරතන නාහිමියෝ කීවේ මාධ්‍යවේදීන් පළාත් සභාවට කැඳවීමට පළාත් සභාවට කිසිම අයිතියක් නැති බවය. 
දකුණු පළාත් සභාව මාධ්‍ය දඩයමකට සූදානම් වන  බව පෙන්වා දුන් උන්වහන්සේ පළාත් සභාවේ මේ තීරණය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස අවධාරණය කළහ. 
මේ අතර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති චම්ලි විතානාච්චි මහතා මාධ්‍යවේදීන්ගෙන් කළ ආරාධනාවකට අනුව සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරීමට මාධ්‍යවේදීහු පිරිසක් දකුණු පළාත් සභාවේ සභාපතිවරයා හමුවූහ. 
එහිදී කළ සාකච්ඡාවකින් පසුව මාධ්‍යවේදීන් දෙදෙනකුට පරීක්ෂණයක් සඳහා සභා ‍ලේකම්වරයා විසින් කැඳවීමේ සිද්ධියකට අදාළව මාධ්‍යවේදීන් හා පළාත් සභාව අතර පැවැති අර්බුදය සමනයකට පත්විණි. 
දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ නියෝජ්‍ය සභාපති චම්ලි විතානාච්චි යන මහත්වරුන් සමග දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති මහින්ද ලියනගේ, ‍ලේකම් යූ.එම්.තිලකරත්න යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් සමග මෙම සාකච්ඡාව ඊයේ (26) පස්වරුවේ දකුණු පළාත් සභා කමිටු ශාලාවකදී පවත්වනු ලැබුණි.  ඉතා සුහදව පැවැති මෙම සාකච්ඡාව පැවැති අර්බුදය. නිමාවට පත් කරමින් අවසන් විණි.
ජිනේෂ් නානායක්කාර - ගාල්ල අධිකරණ, සරත් කුමාර ලොකුගේ -අක්මීමන, කමල් විජේහේවා - ගාල්ල

No comments:

Post a Comment