Saturday 23 November 2013

පොලිස් තරු පටි වෙනස් කරන ''ගේම්''කලාව

අදට සාපේක්‍ෂව රටේ එතරම් අපරාධ සිදු නොවූ කාලයක්‌ තිබුණේය. මනුෂ්‍ය ඝාතනයක්‌ පිළිබඳව මහත්සේ කම්පා වූ සහ දින ගණන්, සති ගණන්, මාස ගණන් ඒ පිළිබඳවම ප්‍රවෘත්ති වාර්තා පළ වූ ඒ කාලයේ එම අපරාධයක්‌ නැවත සිදු නොවන්නට පෙරට පැමිණි සමාජ සංවාදයක්‌ද වූයේය.

එම සමාජ සංවාදය තුළ අපරාධකරුවා කිසිදු විටෙක වීරයකු වශයෙන් නොසැලකුණු අතර ඔහුට

රැකවරණය සැපයීමේදී දේශපාලනඥයකු වුවත් දෙවතාවක්‌ නොව විසිහතර වතාවක්‌වත් කල්පනා කළේය.

ඉන්පසු එළඹියේ නොකඩවා අපරාධ සිදුවන සහ මිනිසුන් ඊට එරෙහිව කිසිවක්‌ම කළ නොහැකිව තම හිත හදාගෙන අපරාධ සමඟ ජීවත්වන කාලය ය. අපරාධකරුවන් ජැන්ඩියට අඳින පළඳින සහ ඉතාම සුඛෝපභෝගී වාහනවල පිටුපස අසුනේ එරී ගමන්ගත් මේ කාලයේ ඇතැම් පොලිස්‌ නිලධාරියකුගේ පවා සිහිනය වූයේ තමන් ගත කරන ජීවිතයෙන් මාරුවී "නමක්‌ ඇති" අපරාධකරුවකු බවට පත්වන්නේ කවදාද යන්නය. අපරාධකරුවන් තරු වශයෙන් සැලකුණු මේ කාලයේ සිදු වූ තවත් මරුම වැඩක්‌ නම් පොලිස්‌ නිලධාරීන් විසින් අපරාධ තරුවලට සැලියුට්‌ ගැසීමය. අපරාධ තරුවලට තම කාර්යාලීය ආසනය පිළිගන්වා සමස්‌ත පොලිස්‌ සේවාවටම ජංගි ඇන්ද වූ ඕ. අයි. සී ලාද සිටියහ.

ඉන්පසු කවර දේශපාලන විපර්යාස නිසා හෝ කවර සමාජ විපර්යාස නිසා හෝ මේ තතු වෙනස්‌ කෙරිණ. එහිදී අපරාධකරුවන්ගේ සාක්‌කුවල ලැග සිටි පොලිස්‌ නිලධාරීන් බිමට බා ගැනුණු අතර පොලිස්‌ නිලධාරීන්ගේ සාක්‌කුවල ලැග සිටි අපරාධකරුවන් අල්ලා චප්ප කිරීමේ වෑයමක්‌ද දිස්‌ වූයේය.

එහෙත්, පොලිස්‌ සේවය තුළින්ම ඔවුනට කල් ඇතිව ලැබුණු තොරතුරුවලට පව් සිදුවන්නට ඒ බිහිසුණු අපරාධකරුවෝ වැඩිදෙනෙක්‌ තමන් එතෙක්‌ ලැග සිටි පොලිස්‌ සාක්‌කුවලින් පමණක්‌ නොව රටින්ම ද පලා ගියෝය.

මේ නිසාම ශ්‍රී ලංකාවේ අපරාධ අහෝසි වූයේ යෑයි අපට කිවහැකි නොවෙතත්, එල්ලුම් ගසක්‌ නැති තත්ත්වයක්‌ යටතේ ඒ උදාවූ අපරාධ මර්දන විශිෂ්ට ව්‍යායාමය අපරාධකරුවන් මර්දනය වූ සහ ගල්ගැසී ගිය වකවානුවක්‌ විය. තිස්‌ වසරක්‌ රජ කළ අති බිහිසුණු ත්‍රස්‌තවාදයක්‌ ඇඩ්‍රස්‌ නැති තත්ත්වයට පත්කළ රජයකින් රටේ අපරාධ මර්දනයෙහිලා මිනිසුන් එවැන්නක්‌ බලාපොරොත්තු වූවාට සැකයක්‌ නැත. (රටේ සම්පූර්ණ අපරාධ මර්දනයක්‌ සිදුවූයේ නම් ඔය කාලයේම නූරී වත්තේ අතකොටාලා සහ කහවත්තේ මොළ කොටාලා රජ කළේ කෙසේද යන පැනය මෙතැනදී අපගෙන් නොඅසනු මැනවි.)

කෙසේ හෝ වේවා අප සඳහන් කළ ඒ විවිධ අපරාධ යුග පසුකර දැන් උදාවී ඇත්තේ ඒ සියල්ලටම වඩා වෙනස්‌ම ලක්‍ෂණ දරන අපරාධ යුගයක්‌ බව පෙනේ.

දැන් වැඩ දෙන්නේ කෙළින්ම පොලිසියෙනි. වෘත්තීය අපරාධකරුවන් බරපතළ රැකියා අවදානමකට ලක්‌කරමින් දැන් ඇතැම් පොලිස්‌ ලොක්‌කෝ ද පොඩ්ඩෝ ද "ගේමට" බැස සිටිති. ඔවුන් විසින් මිනිසුන් "උස්‌සනු" ද ලැබේ. උස්‌සා ගෙන ගොස්‌ "ගස්‌සනු" ද ලැබේ. ඊට අමතරව තර්ජනය කිරීම්, බිය ගැන්වීම්, කප්පම් ලබා ගැනීම් හරි හරියටය. ශ්‍රී ලංකා වෘත්තීය බිහිසුණු අපරාධකරුවන්ගේ සංගමයේ නිලධාරියකු මේ ළඟදී ප්‍රකාශ කළේ රජයෙන් ස්‌ථීර වැටුපක්‌ ලබාගන්නා පොලිස්‌ නිලධාරීන් විසින් තම රැකියාවන් පැහැර ගනු ලැබීමට එරෙහිව ඔවුන් ළඟදීම කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක්‌ පවත්වන බවය. ඊට අමතරව කොටි හිතවාදීන් සහ විපක්‍ෂයේ ඇතැම් කොටස්‌ සමඟ එකතුව ලබන මාර්තුවේ එළඹෙන ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමටද බලාපොරොත්තු වන බවය.

ශ්‍රී ලංකා පොලිස්‌ සේවය තුළ කොයි කාලයේත් නරක පොලිස්‌ නිලධාරීන් සිටි බවට සැකයක්‌ නැත. එහෙත්, අපරාධ අංශයේ ලොක්‌කා ද, පොලිසියේ ඕ. අයි. සී. ද ඇතුළු "ගැන්සි" ගණනින් අපරාධවලට හවුල් වූ අවස්‌ථාවක්‌ මින් පෙර මේ රටේ..... (මේ වාක්‍ය අපි අවසන් නොකරමු. මක්‌අනිසාද "නැතැයි" කීමේ ෂුවර් එකක්‌ අපට නැති නිසාය. අප එසේ කළහොත් දැරණියගල වැනි පැතිවල මිනිසුන් අපට සිනාසෙනු ඇත.)

එන්. කේ. ඉලංගකෝන් මහතා වැනි විශිෂ්ට ගණයේ පොලිස්‌පතිවරයෙක්‌ නොවන්නට මේ මොහොත වන විටත් පාතාලයට වඩා දරුණු පොලිස්‌ පාතාලයක්‌ බිහිවෙන්නට ඉඩ තිබිණි යෑයි කීමට අපට සිදුවෙයි. පොලිසිය තුළින් කවර වැරැදි සිදු වුවද ඒවාට එරෙහිව නොපැකිළව කටයුතු කරන ඔහුගේ විශිෂ්ට රාජකාරි ප්‍රතිපත්තිය අප මෙහිදී යළි යළිත් අගය කරන්නේ ඔහු මෙන්ම පොලිස්‌ සේවයේ තවමත් නියුතුව සිටින අවංක යුක්‌තිගරුක නිලධාරීන් බහුතරයට ද ගෞරවය පිණිස ය.

එහෙත්, උදාව ඇති මේ ප්‍රවණතාව ඉතාම භයානක එකක්‌ සේම ඉතාම පිළිකුල් සහගත එකක්‌ ද වේ. පොලිසිය පොලිසිය විසින්ම මෙසේ කිච කරනු ලැබීමට එරෙහිව සෑම යුක්‌ති ගරුක පොලිස්‌ නිලධාරියෙක්‌ම නැගී සිටිය යුතුව ඇත.

No comments:

Post a Comment