Wednesday, 9 October 2013

ටෙරන්ස් එල්ලා මැරුවද .............?

te1
ඔහෙලගෙ පවුලෙ අඬදබර විසඳන්න, එහෙමත් නැතිනම් ගෙදරට හොරු පැන්නම හොරු අල්ලන්න, රෑ තිස්සෙ ඩියුටි යන ගමන් මිනිස්සුන්ට සැනසිල්ලෙ ඇහැ පියාගන්න නිදිමරන්නෙත් පොලිසිය. ඒත් පොඩි දේටත් සමහර මිනිස්සු පොලිසිය දිහාවට ඇඟිල්ල දික්කරන්න බලාගෙන ඉන්නවා. ඒ ආඩපාලි ඔක්කොමත් අහගෙන පොලිසියෙ මහත්වරු මිනිසුන්ගෙ දහසකුත් එකක් ප්‍රශ්නවලට පිළියම් හොයලා දෙනවා."
"මිනීමැරුමන් වුණාම පොලිසියෙ අර මහත්තයා ආවේ නැහැ. මේ මහත්තයා අරයව ඇල්ලුවෙ නැහැ. මේ වගේ චෝදනා සමහරු පොලිසියට එල්ල කරනවා. ඒත් ඔයාලා දැන ගන්න මනුෂ්‍ය ඝාතනයක් වුණාම ඒ ගැන ඒ මහත්තය මේ මහත්තය නෙවෙයි. පොලිසිය මිනීමැරුමකදි විමර්ශන කරන්නේ නීතිපතිතුමාගෙන් ලැබෙන උපදෙස් අනුව. ඊට කලින් අපරාධය සිදුවූ ස්ථානයේත් වටපිටාවේත් අපරාධ සාක්ෂි එහෙම ආරක්ෂා කරගෙන ඒවා උසාවියට ඉදිරිපත් කරන එක වගේ මූලික කටයුතු පොලිසිය මිනීමැරුමකදි නොපිරිහෙලා ඉටු කරනව”
මේ රාගම පොලිසියේ ස්ථානාධිපති අර්ජුන් කොඩිකාර මහතා මිනීමැරුම් සිද්ධියකින් අගතියට පත්වූ මරණකරුගේ ඥාතීන්ට කළ කරුණු පැහැදිලි කිරීමකි.
එය රටේම අවධානය පිණිස සටහන් කරන්නේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඇතැමුන් තවමත් එල්බගෙන සිටින වැරදි මත හේතුවෙනි. එනම් මේ විමර්ශන පොලිසියේ තනි අධිකාරීත්වයෙන්ම පමණක් සිදුවන බව ය.
ලියනගේ ටෙරන්ස් කුලරත්න තිස් හත් හැවිරිදි දෙදරු පියකුවූ මිනුවන්ගොඩ රජයේ පාසලක සේවය කළ මුරකරුවෙකි. ඔහුගේ මරණය අබිරහසක් බව බිරිය ඇතුළු ඥාතීන්ට සේම මේ සිද්ධිය ගැඹුරින් විමසා බලන කාහට වුවද පැහැදිලි වනු ඇත. එහෙත් මේ පිරිසටත් රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා වරෙක කළ ඉහත පැහැදිලි කිරීම වැදගත් වනු ඇතැයි සිතුණේ තතු නොදන්නාකමින් පොලිසියවත් ජනමාධ්‍යවත් අතුරුදන්ව සිටි සමයේ ටෙරන්ස්ව සොයා ගැනීමට නිසියාකාරව අවධානය යොමු නොකළ බවට චෝදනා නඟන ටෙරන්ස් කුලරත්නගේ බිරිය ඇතුළු ඥාතීන්ගේත් වැරදි වැටහීම නිවැරදි කරගැනීමටත් ඔවුනට නීතිය මාර්ගයෙන් තම ඥාතියා වෙනුවෙන් ඉටුකරවා ගත හැකි සාධාරණය වෙනුවෙන් ගතහැකි ඉදිරි පියවර වෙත සාවධානව කටයුතු කිරීම වැදගත් වනු ඇතැයි සිතුණු නිසා ය.
ටෙරන්ස් කුලරත්නගේ මරණය අබිරහසක් වන්නට හේතු ඔහුගේ බිරිය ඇතුළු ඥාතීහු පැහැදිලි කරති. ඒ අනුව සියදිවි නසා ගැනීමට තරම් ටෙරන්ස්ට හේතුවක් නොතිබූ බව ඔවුහු පවසති. අනෙක ලඳු කැලෑ බහුල තිහාරියේදී ගෙල වැළලා ගැනීමට ඉඩ තිබියදී ඔහු මහියංගනයට ගොස් ගෙල වැළලා ගත්තේ කුමකටදැයි ඔවුහු විමසති. මෙවන් විපතක් සිදුකර ගැනීමට තරම් ඔහුට මානසික ආතතියක්වත් වෙනත් බරපතල ප්‍රශ්නයක්වත් නොතිබූ බවද පවසන ඥාතීහු ගෙල වැළලා ගනු ලැබූ බව කියන ටෙරන්ස්ගේ සිරුර මහියංගනයෙන් හමුවී ඇති අන්දම ද සැක සහිත බවත් කියා සිටිති.
te2“මගේ මහත්තයා මුලින්ම කොළඹ තර්ස්ටන් විද්‍යාලෙ මුර සේවය කළා. එතැනින් මාරුවක් හදාගෙන තමයි මිනුවන්ගොඩ ඉස්කෝලෙකට ආවෙ. අවුරුදු පහක් තිස්සේ එයා වැඩ කළේ මිනුවන්ගොඩ. අපිට දරුවො දෙන්නෙක් ඉන්නවා. දූලා දෙන්නම තවම පුංචියි. වැඩිමලාට වයස අවුරුදු පහයි. බාල දූට තවම අවුරුද්දයි.”
“මහත්තයගෙ වැඩට ආවෙ ගියේ ගෙදර ඉඳන්මයි. අන්තිම වතාවට මහත්තය ගෙදරින් ගියේ 11 දා රෑ 8.00 විතර මිනුවන්ගොඩ ඉස්කෝලෙ මුර සේවයටයි. ඉස්කෝලෙට ගිහින් මුර වැඩ පටන් ගත්ත බව එදා රෑ 9.40 ට විතර කතා කළාම මහත්තයා මට කිව්වා. ඒත් එයා පහුවදා (12 දා) ගෙදර ආවෙ නැහැ. එදත් වෙනදා වගේම තවත් කීප දෙනෙක් මුරට ඉඳලා තියෙනවා”
“ඒත් පහුවදාට එළිවෙලා බලද්දි මහත්තය ඉඳලා නැහැ. මහත්තයා මෝටර් බයික් එක, ෆෝන්, එක එයා මුරකළ තැන මේසයක් උඩ එහෙමම තිබිලා තියෙනවා. මහත්තයා වැඩට යද්දී බෑග් එකකට දාගෙන ගිය සරමත්, බෙඩ් ෂීට් එකක් එහෙමම ගෙනියනවා. ඒ බෑග් එකත් එක්කම තමයි එයා අතුරුදන් වෙලා තිබුණෙ.
"ටෙරන්ස්" අතුරුදන් වූ පැමිණිල්ලට අනුව පරීක්ෂණ දියත් කළ මිනුවන්ගොඩ පොලිසිය මේ විද්‍යාලයේ එදින රාජකාරි කළ සෙසු මුරකරුවන්ගෙන් ප්‍රශ්න කළ විට හෙළිවන්නේ ටෙරන්ස් වෙනදාටත් පාන්දර පහයි තිහට පමණ පාසලෙන් පිටව යන නිසා එදිනත් ඔහු පිටත්වන්නට ඇතැයි ඔවුන් මුලින් සිතූ බවකි. එහෙත් ඔහුගේ යතුරු පැදියත් ජංගම දුරකථනයත් මුරකුටියේ තිබීම නිසා තමන් ඒ බව දැනුම්දීමට කටයුතු කළ බවත් ඔවුහු පවසා ඇති අතර අවසන් වතාවට පාන්දර දෙකයි තිහට පමණ ද ටෙරන්ස් විදුහලේ සිටි බවත් ඔවුන් දැක තිබිණි.
ඥාතීහු කිසිම හෝඩුවාවක් නොවුණු තැන පොලිසිවලට ටෙරන්ස් ගේ අතුරුදන්වීම පිළිබඳ පැමිණිලි කළ අතර දන්නා කියන හැම තැනකම ඔහුව සොයන්නට ද වූහ. එසේ සතියක්ම ගත වන්නේ කිසිම හෝඩුවාවක් නැතිව ය. එහෙත් පසුගිය 19 වැනි දා මේ පිළිබඳ ආරංචියක් ලැබුණේ මහියංගනයෙනි. ටෙරන්ස්ට ඥාතියකු හෝ හිතමිතුරකු මහියංගනයේ නොසිටි බව ඥාතින් කියයි. එසේ තිබිය දී මහියංගන ගම්උදා භූමියට යාබද මහියංගනය මහනුවර මහා මාර්ගය අවට වූ ගසකින් ගෙලවැළලා ගත්අයකුගේ සිරුරක් මහියංගන පොලිසියට හමුවි ය. ඒ හඳුනානොගත් මළ සිරුරක් වශයෙනි. ඒ වනවිටත් මේ ටෙරන්ස්ම බව හඳුනාගත හැකි සාධක තිබී නැත. ඔහුගේ මුදල් පසුම්බිය ජාතික හැඳුනුම්පත සමඟම අතුරුදන් ව ඇතැයි ද ඥාතීහු කියති.
ටෙරන්ස් පදිංචිව සිටින්නේ තිහාරිය පහළගම ය. නාඳුනන මළ සිරුරේ ආරංචියට මහියංගනයට යන ඔහුගේ ඥාතීන් එම මළ සිරුර ටෙරන්ස්ගේ බව හඳුනා ගත්තේ පසුගිය විසි එක් වැනිදාය. ටෙරන්ස්ගේ බිරිය ප්‍රියන්ති හේමලතා පැවසුවේ මෙවැන්නකි. දැහැමින් ජීවත් වූ තම සැමියාට දන්නා තරමින් කිසිම හතුරකු නොවූ බව ය.
“පහුවදා එයා ගෙදර ආවේ නැති නිසා උදේ මං මහත්තයාගේ ෆෝන් එකට කෝල් කළා. එතකොට මට එතැනින් මොකක් දෝ කලහකාරි ශබ්දයක් වගේ දෙයක් ඇහුණා. ඒත් එක්කම එයාගේ ෆෝන් එක ඕෆ් වුණා. පස්සේ මං කෝල් ගත්තත් රින්ග්ස් ගියා විතරයි කවුරුත් කතා කළේ නැහැ.”
“අපි හිටියේ හරිම සමඟියෙන්. මහත්තයට සියදිවි හානි කරගන්න හේතුවක් තිබුණෙ නැහැ. කවුරු මොනව කිව්වත් මං හිතන්නේ එයාව පැහැරගෙන ගිහින් මේ අපරාධය කළා කියලයි.”
ඒ ටෙරන්ස් ගේ බිරිය ඇතුළු ඥාතීන් ගේ විශ්වාසය යි. මහියංගනයෙන් හමුවූ ටෙරන්ස් ගේ දේහය පිළිබඳ පොලිසියේ විමර්ශනවලින් පසුව එය බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය එච්.ඩී.කේ. විජේවීර මහතාට බාර කොට ඇති අතර ඒ මහතා නිකුත් කළ මේ පිළිබඳ පශ්වාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිදරව් කොටගෙන ඇතැයි කියන්නේ මෙය ගෙල වැළලා ගැනීමෙන් සිදුවූ සියදිවි නසා ගැනීමක් බවයි.
මහියංගන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති රත්නායක අතුළු පිරිසක් මහියංගනයේ දී මේ පිළිබඳ විමර්ශන පවත්වා ඇති අතර මිනුවන්ගොඩ පොලිසිය වෙනුවෙන් එවකට වැඩබැලූ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බාලසූරිය සමඟ උ.පො.ප රාජරත්න ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වා ඇත.

No comments:

Post a Comment