ගුණසේකරට මුල්ම පත්වීම ලැබුණේ දුෂ්කර පාසලකට ය. ගමෙන් ඈතට ලැබුණු ගුරුපත්වීමට යාමට ඔහුගේ සිත අදිමදි කළේ අම්මා පමණක් ගමෙහි තනිකර යාමට තිබූ අකමැත්ත නිසා ය.
“ඉස්කෝලේ මහත්තයා යන්න අපි නැන්දව බලාගන්නම්...”
ඥාතියකු නොවුවද බණ්ඩෙ මාමා ගුණසේකරගේ හිතට ශක්තියක් ගෙන දුන්නේ ය. දුක් මහන්සියෙන් ඉගෙනගෙන විශ්ව විද්‍යාලයේ අවුරුදු හතරකටත් වඩා දුක්විඳ ලැබූ උපාධියෙන් ලද ගුරුපත්වීම අතහැර දමන්නට ද ඔහුට සිතක් නොවීය. අලුත් පාසල පිහිටා තිබුණේ පුංචි කඳුගැටයක් මත්තෙහි ය. පාසලේ ගුරුවරුන් වූයේ හතර දෙනකු පමණි. ඉන් එක් අයෙක් මුල් ගුරුවරයා ය. ගුණසේකර අලුත් පාසලට බෙහෙවින් කැමැති විය.
අම්මාත් ගමත් අතහැර වෙනත් පළාතකට පැමිණි ඔහුට තදබල කාන්සියක් දැනිණි. එහෙත් ලැබූ රස්සාව කරගෙන හිඳිනවා හැරෙන්නට යළිත් ගමට යාමට නොහැකි බව ඔහු දනී.
ගුණසේකර අමාරුවෙන් අලුත් පළාතට හුරුවිය. ඔහුට නවාතැන් ගැනීමට ලැබුණේ ගමේ යමක් කමක් තිබූ පවුලක් වූ ග්‍රාම නිලධාරී මහතාගේ නිවෙසේ ය. කුඹුරුයායක් මැදින් වැටී ගිය මහ නියරෙන් ගොඩවූ විට තැනිතලා බිමක පිහිටි නිවෙසේ ග්‍රාම නිලධාරී මහතා හැරුණු විට ඔහුගේ බිරිඳ, හත් හැවිරිදි දියණිය සහ බිරිඳගේ මව පදිංචිව සිටිය හ. මේ අලුත් පරිසරයේ දැනෙන කාන්සිය මදකට හෝ මඟහරවා ගැනීමට ග්‍රාම නිලධාරියාගේ හත් හැවිරිදි දියණිය ගුණසේකරට යම් අස්වැසිල්ලක් ගෙන ආවේ ය.
විශ්ව විද්‍යාලයේ කෙල්ලන් කොල්ලන් අතර ජනපි‍්‍රය චරිතයක්ව සිටි ගුණසේකර දුරගමකට වී ගෙවන ජීවිතයට පාළුව හුදකලා බව ගෙන ආවේ ය. තමන් උගත් ශිල්පයෙන් ගැමි දරුවන්ට යහපතක් කළ යුතු බව ඔහුගේ අවංක හැඟීම විය. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සිංහල විෂය ඉගැන්වීම ඔහුට බාර විය.
ගුණසේකර පත්වීම ලැබ පැමිණ වසර කිහිපයක්ම ඉකුත්ව ගියේ ය. අම්මා රෝගී වූයේ මේ අතර ය. ඉතින් ගමට යනවා හැරෙන්නට කිරීමට වෙනත් කිසිවක් ඔහුට නොවීය. අම්මා බලා ගැනීම රැකියාවට වඩා උතුම්ය. ගුණසේකර නිවාඩු දමා ගමට ගියේ ඒ නිසා ය. අම්මා රෝගීව හිටියාටත් වඩා වැහැරී ගොස් ය. අංශභාග රෝගයෙන් පෙළෙන අම්මා වෙනුවෙන් ගුණසේකර තම දවස ම කැප කළේ ය.
අම්මා සෙමෙන් සෙමෙන් සුවය ලබන අයුරු බලා ඔහු සතුටු වූයේ ය.
“පුතේ ඔහොම ඉඳලා බැහැ... උඹ කාවහරි මේ ගෙදරට ගේන්න ඕන...” අම්මා නිතර නිතර කියන්නට වූවා ය.
එක්තැන්වී සිටින අම්මා ගමෙහි තනිකර යළිත් ඈත පාසලට යාමට ද නොහැකි ය. අධ්‍යාපන කන්තෝරු ගානේ ගොස් ගුණසේකර කෙසේ හෝ ගමේ පාසලට මාරුවක් හදා ගත්තේ ය.
ගෙදරට මනාලියක් ගෙනෙන ලෙස අම්මාගෙන් බේරුමක් නැති තැන ඔහු ඒ ගැන උනන්දු වූයේ ය. චන්ද්‍රලතා ඔහුට මුණ ගැස්සුවේ ගමේ කපු මහතා ය.
“හොඳ වැදගත් පවුලක ගෑනු දරුවෙක්...”
ගුණසේකර චන්ද්‍රලතා බලන්නට පළමු ගමන ගියේ තම මිතුරකු වූ ජයන්ත ද සමඟ ය. චන්ද්‍රලතාගේ පෙණුමේ එතරම්ම වරදක් නැතැයි ගුණසේකරට ඇය දුටු පළමු දිනයේ ම සිතුණේ ය. වැඩි මෝස්තර නැතිව ඔහු චන්ද්‍රලතා තම නිවෙසට කැන්දාගෙන ආවේ ය.
“නිවී සැනසිල්ලේ ගෙවී ගිය මගේ ජීවිතය වෙනස් වුණේ එතැන ඉඳලා... මං අද මේ හිරගෙදර දුක් විඳින්නේ ඒ කසාදය කරගත්ත හින්දා.” ගුණසේකර අතීතය හාර අවුස්සන්නට පටන් ගත්තේ ය.
“මං හැම තිස්සෙම හිතුවෙ මගේ අම්මා ගැන. මට හැමෝටම වඩා අම්මව වටිනවා. පුංචි කාලෙම තාත්තා නැති වුණාට පස්සේ අම්මා තමයි මාව තැනකට ගෙනාවේ. අපිට ඉඩම් තිබුණා. ඒ ඉඩම්වල තේ වවලා තිබුණා. තාත්තා නැති වුණාම අම්මා තමයි තේ ඉඩම්වල සියලුම දේ බලා ගත්තේ”.
“චන්ද්‍රලතා හරි කඩිසර යි. එයා මං තරම් හොඳට ඉගෙන ගෙන නොතිබුණාට ගේ දොර වැඩ, වත්තපිටියේ වැඩ කරන්න පුළුවන්කම තිබුණා. අම්මාත් චන්ද්‍රලතාට කැමති වුණා. චන්ද්‍රා අම්මව ආදරයෙන් බලා ගත්තා. අපේ ගෙදර වැඩට හිටියේ ජේන් අම්මා. ජේන් අම්මා මම පුංචි කාලෙත් ගෙදරට ආවා ගියා. දවල් දවසේ අපේ ගෙදර හිටිය ජේන් අම්මා හැන්දෑවට තමයි ගෙදර ගියේ. ජේන් අම්මට හිටියේ පුතෙකුයි දුවෙකුයි විතරයි. දුව විවාහ වෙලා ගමෙන් පිට පදිංචි වෙලා හිටියේ. පුතා ජයතුංග පුංචියට කඩයක් දාගෙන හිටියා. ජයතුංගත් ඉඳලා හිටලා අපේ ගෙදර ඇවිත් යනවා. ඒත් අවිවාහකයෙක් වෙච්ච ජයතුංග අපේ ගෙදර වැඩියෙන්ම එන්න ගත්තේ චන්ද්‍රා ආවට පස්සේ...”
“පව් නේද අහිංසක කොල්ලා... ගුණේ බලන්නකෝ හොඳ කෙල්ලෙක්වත් ඉන්නවද කියලා...”
“දවසක් චන්ද්‍රා මට ජංයතුංගට මානාලියක් හොයන්න කිව්වේ ඒ විදිහට. මං ඒ ගැන උනන්දු නොවුණාම නෙවෙයි. ඒත් පාසලේ වැඩ කටයුතුත් එක්ක ඒ වැඩේ මඟ හැරිලා ගියා. ගමේ පාසලේ හයේ පන්තියේ ඉඳලා සියලුම පන්තිවලට සිංහල ඉගැන්නුවේ මම. මම පුංචි කාලේ ඉඳලම හරි ලැජ්ජා බයට හැදුණේ... අම්මා මාව හැදුවේ එහෙමයි. ඒත් චන්ද්‍රලතා මට වඩා සමාජය ඇසුරු කළා. එයා කා එක්කත් කතා බහ කළා. මං එයාගේ හැසිරීමේ ඒ තරම් වෙනසක් දැක්කේ නැහැ. ඒත් චන්ද්‍රා ගෙදරට යන එන ජයතුංග එක්ක තියෙන කතාව, මුකුළුව ඕනෑවට වැඩියි කියලා මට හිතුණා... මම චන්ද්‍රට කිහිප විටක්ම කිව්වා ජයතුංග එක්ක ඕනෑවට වඩා කතාවට යන්න එපා කියලා...”
“ඔයා කියයි. අම්මත් ඉන්නේ ඇඳේමයි. මම අම්මගෙ වැඩයි ගෙදර වැඩයි කරලා ඉවරයක් නෑ. ඔයා එන්නෙත් හැන්දෑ වෙලා. එහෙව් එකේ මං ඒ ගොල්ලො එක්ක කතා කළාම ඔයාට ඔච්චර අමාරු මොකද?”
“චන්ද්‍රා මගෙන් එහෙම ඇහුවේ වෙනදාට වඩා සද්දෙන්...”
“ඒ වෙනකොට චන්ද්‍රා ගැන ගමේ එක එක්කෙනා එක එක කතන්දර කියන්න පටන් අරගෙන තිබුණේ... චන්ද්‍රට නොකිව්වට ඒ හැම දෙයක්ම මගේ හිතේ වැඩ කළා.”
“මං දන්නෑ මම ඇයි චන්ද්‍රට පාරක් ගැහුවේ කියලා. ඒත් චන්ද්‍රා ආයෙත් ආයෙත් කතා කරද්දී මට ඒක උහුලා ගන්න බැරි වුණා.”
“ඊට පස්සේ දවස් කිහිපයක්ම නිසංසලේ ගෙවිලා ගියා. චන්ද්‍රා වෙනදා වගේ මා එක්ක කතා කළේ නැහැ. ඒ විදියට දවස් කිහිපයක්ම ඒත් ගමේ අය අපේ ගෙදර ගැන කතා කරන එක නතර කරලා තිබුණේ නැහැ. ඔය අතර තමයි අම්මා මැරුණේ... අම්මගේ අවසන් කටයුතු ඉතාම චාමෙට සිදුවුණා. ඇවිත් හිටිය නෑයෝ එක්කෙනා දෙන්නා යන්න ගියා. අන්තිමට ගෙදර ඉතිරිවුණේ මමයි චන්ද්‍රයි විතරයි. ජේන් අම්මා එයාගේ දුව ළඟට ගියා. මං ආයෙමත් පුරුදු විදියට ඉස්කෝලේ ගියා. ඒත් යටපත් වෙලා තිබුණ චන්ද්‍රාගෙයි ජයතුංගගෙයි කතාව ආයේමත් මතුවෙන්න ගත්තා.”
“පව් ඉස්කෝලේ මහත්තයා..”
“දවසක් කඩපිල ළඟින් එද්දී එතැන හිටපු කෙනෙක් කියනවා මට ඇහුණා...”
“අපිට දරුවෝ හිටියෙත් නැහැ. මං ඒ ගැන හිතුවත් චන්ද්‍රාට ඒ ගැන වගක්වත් තිබුණේ නැහැ. චන්ද්‍රා වෙනදටත් වඩා බොහොම සන්තෝෂයෙන් ඉන්නවා කියලා මට තේරුණා...”
“දවසක් මම ඉස්කෝලේ ගිහිල්ල ආවේලාවේ ගෙදර ආවා. ගෙදර දොරවල් ඔක්කොම ඇරලා දාලා. මං හොරා වගේ ගේ ඇතුළට ගියා. මට අපේ කාමරේ පැත්තෙන් කසුකුසුවක් ඇහුණා. මං හෙමින් සීරුවේ ගිහින් බැලුවා. ඒ දැකපු දෙයින් මගේ ඇස් මටම අදහාගන්න බැරි වුණා. මම දන්නෑ මොනවා වුණාද කියලා. මං කෙලින්ම ගියේ කුස්සියට. මම කුස්සියේ තිබුණ මෝල්ගහ අරගෙන ඇවිත් දෑත බදලා ඇඳ උඩ හිටපු අයට ගැහුවා. චන්ද්‍රා කෑ ගහගෙන කාමරෙන් පැනලා දිව්වා. ඒත් ජයතුංගට මොල්ගස් පාර වැදුණා. මං මගෙ හිතේ තියෙන කේන්තිය යනතුරුම මෝල් ගහෙන් පහර දුන්නා. කලබලේ ආරංචි වෙලා ගමේ එකා දෙන්නා අපේ ගෙදරට ආවා.”
“අපරාදේ ඉස්කෝලේ මහත්තයා මේ වගේ අමාරුවක වැටුණේ...”
“කවුදෝ මන්දා එහෙම කියනවා මට ඇහුණා... ඒත් ඒ වෙනකොට මං ප්‍රමාද වැඩියි. චන්ද්‍රාට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. මාව පොලිසියෙන් අල්ලගෙන ගියා. අන්තිමට මං හිරගෙදරට ආවා. එකම එක දවසක් එයා මාව බලන්න ආවා.”
“මට සමාවෙන්න... චන්ද්‍රා කිව්වේ එච්චරයි... ඊට පස්සේ අවුරුදු හතක් ගෙවිලා ගියා. බණ්ඩෙ මාමගේ පුතා විතරයි මාව බලන්න එන්නේ... මගෙ හැම දෙයක්ම බලා කියාගන්නේ ඒ ගොල්ලෝ... දැන් මට හිතෙනවා මං ඉවසුවා නම් මේ දුකේ වැටෙන්නේ නැහැ කියලා.”
“අම්මා මලක් වගේ හදපු මම මෙච්චරම දරුණු වුණේ ගෑනියෙක් නිසයි.”
ගුණසේකර තද හුස්මක් හෙළුවේ ළය සැහැල්ලු කරගන්න වගෙයි.
No comments:
Post a Comment