Thursday 24 October 2013

අනුර කුමාර දිසානායක ආණ්ඩුව දන දස්වයි,ඇමැතිවරු හොර පාරෙන් ගෙදර යයි


වැලිවේරිය රතුපස්වල ප‍්‍රදේශය ආශ‍්‍රිතව වාසය කරන විශාල පිරිසකට තවමත් නොවිසඳී පවතින පානීය ජල ගැටලූව පිළිබඳව ජවිපෙ මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු විමසා සිටියේ ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාවෙන් එම ජල ගැටලුවට අවසන් විසදුම් අපේක්ෂා කළ හැකිද යන්නයි. නමුත් සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පිළිතුරු දීමට සූදානම් වී පැමිණ නොසිටි අතර එයට 25වන දින පිළිතුරු ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසීය.

ස්ථාවර නියෝග 23/2 යටතේ නගනු ලබන ප‍්‍රශ්නය - 2013.10.24

වැලිවේරිය රතුපස්වල ප‍්‍රදේශය ආශ‍්‍රිතව වාසය කරන විශාල පිරිසකට තවමත් නොවිසඳී පවතින පානීය ජල ගැටලූව පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි.

පසුගිය අගෝස්තු 01වැනි දින පුද්ගලයින් 03දෙනෙකුට තමන්ගේ ජීවිතද අහිමි කරලීමට තරම් බරපතළ වූ මෙම ජල ගැටලූව මෙතෙක් නොවිසඳී පැවතීම තවත් ඛේදවාචකයකට අතවැනීමක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ. ආරක්ෂක හමුදා මැදිහත් කර විසඳුම් ලබාදීමට බලධාරීන් ගත් අසාර්ථක උත්සාහයෙන් පසු බවුසර් මගින් ජලය බෙදාහැරීමේ ක‍්‍රියාමාර්ගයක් දියත්ව තිබෙනවා. එහෙත් එය ජල ගැටලූවට මුහුණ දෙන ප‍්‍රදේශවාසීන්ට ප‍්‍රමාණවත් පිළිතුරක් වී නැහැ. ඔවුනට ජලසම්පාදන මණ්ඩලයේ ජල සබඳතාව ලබාගන්නා ලෙසට ඉල්ලීම් කර පැවතියත් ගාස්තු අධිකවීම මත එම ජල සබඳතාව මෙතෙක් ලබාගෙන ඇත්තේ, දෙදෙනෙක් පමණක් බවත් ජනමාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ අනුව පෙනී යන්නේ ප‍්‍රදේශයේ භූගත ජලයේ ආම්ලිකතාව ඇති වීමට හේතු නිවැරදිව හඳුනාගැනීම සහ එම තත්වය ඉවත් කිරීම වැනි ස්ථීර පිළිතුරක් මේ සඳහා සොයාගැනීමේ අවශ්‍යතාවයයි.

පසුගියදා ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්වරයා ප‍්‍රකාශ කර තිබුණේ එළඹෙන සතිය තුළ රතුපස්වල කම්හල හා ඒ අවට පිළිබඳව සිදුකරන ලද විද්‍යාත්මක වාර්තාව ජනාධිපතිවරයා අතට පත්කරන බවයි. භූ විද්‍යා හා පතල් කාර්යංශයේ වාර්තාව හැරෙන්නට අන් සියලූ අංශවලින් ලැබිය යුතු වාර්තා තමා වෙත ලැබී ඇති බව කියා සිටින ඔහු කර්මාන්ත ශාලාව නිසා එම භූගත ජලයේ පී.එච්. අගය අඩුවීමක් පිළිබඳව ලැබී ඇති වාර්තාවල සඳහන් නොවන බව කියා තිබෙනවා. ඒ සඳහා බලපා ඇත්තේ වෙනත් හේතු බව ඔහු පවසනවා. පී.එච්. අගය අඩුවීම රතුපස්වල පමණක් නොව තවත් ස්ථානවලට බලපා ඇති තත්වයක් බවත් ඔහු ජනමාධ්‍ය වෙත පවසනවා.

මේ තොරතුරු රතුපස්වල ජනතාව දැඩි ව්‍යාකූලත්වයකට පත් කරන්නක් විය හැකි මෙන්ම ඔවුන් අතර යළි නොසන්සුන්කාරී බවක් ඇතිවීමටත් තුඩු දිය හැකියි. කර්මාන්ත ශාලාව එම ප‍්‍රදේශයෙන් ඉවත් කරන බවටත් ජල ගැටලූවට ස්ථීර විසඳුමක් ලබාදෙන බවටත් බලධාරීන් විවිධ අවස්ථාවල කරන ලද ප‍්‍රකාශ සියල්ල මේ අනුව වෙනස්වීමේ අවදානමක් මතුව තිබෙනවා. එබැවින් ජනාධිපතිවරයා අතට පත්කිරීමට නියමිත රතුපස්වල පිළිබඳ අවසන් වාර්තාව මහජන නියෝජිතයින්ගේ අවධානයට ලක්විය යුතු යැයිද එහි පිටපතක් සභාගත කළ යුතු යැයිද යෝජනා කරනවා.

මෙම තත්වය තුළ පැනනගින පහත ගැටලූවලට අදාල පිළිතුරු අමාත්‍යවරයා විසින් ගරු සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

01.
රතුපස්වල ජල ගැටලූව පිළිබඳ අවසන් වාර්තාව සකස් කරනු ලබන්නේ කවර විද්වත් මණ්ඩලයක් විසින්ද?

02.
එම වාර්තාවේ පිටපතක් මෙම සභාවට ඉදිරිපත් කරනු ලබන්නේද?

03.
රතුපස්වල ජනතාවගේ පානීය ජල ගැටලූව විසඳීම සඳහා අවසන් විසඳුම් මෙම වාර්තාව තුළින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්නේද?

No comments:

Post a Comment