Thursday 24 October 2013

භාරත -දුමින්ද ගැටුම ගැහැනියක් නිසා,එත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර නොවේ ...


භාරත ලක්ෂ්මන් ඝාතනයට මූල් වුයේ කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරිය වන එච්. පී. තිවංකා මධුශානි සෝලංගආරච්චි නැමැත්තිය බොරු සිද්ධියක් මවා සිය පුරුෂයාට දුන් දුරකථන ඇමතුමක් බවත්, එය ප්‍රසන්න විසින් භාරත ලක්ෂ්මන්ට පැවසීමෙන් උරණ වූ භාරත ගිනි අවියක් ද රැගෙන සිද්ධිය වු ස්ථානයට පැමිණි බවට ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණය හමුවේ පැවැසීය.

සෝලංගආරච්චිගේ බිරිය වන සාක්කිකාරිය කරන ලද මෙම බොරුව නිසා භාරත ලක්ෂ්මන්ගේ ආධාරකරුවකු වන ඔහු ළඟින් සිටි දමිත් ජයතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නළලට වෙඩි තබා ඔහුට මරණීය තුවාල සිදුකළ බවට හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

තවද අසත්‍ය සිදුවීමක් හිතා මතා ගොතා තම පුරුෂයාට පැවැසීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනකු ඝාතනයට ලක්ව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මරණීය තුවාල ලැබූ බවට නීතිඥවරයා සාක්කිකාරියට හරස් ප්‍රශ්න යොමු කරමින් පැවැසීය.

විත්තිකරුවන් 12 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඉකුත් නඩු වාරයේදී සාක්කි ලබා දුන් ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරියගෙන් හරස් ප්‍රශ්න විමසීම ඊයේ (23) සිදුකරනු ලැබිණි.

භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියේ ලඝු නොවන නඩු විභාගය ඊයේ (23) නැවත වරක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ විභාගයට ගැනිණි.

මෙහිදී ඉකුත් නඩු වාරයේදී සාක්කි ලබා දුන් 60 වන සාක්කිකාරිය වන එච්. පී. තිවංකා මධුශානි සෝලංගආරච්චි නැමැත්තිය හරස් ප්‍රශ්න විමසීමට ලක්කරනු ලැබීය.

11 වන විත්තිකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සාක්කිකාරිය වෙත හරස් ප්‍රශ්න යොමු කෙළේය.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය - ඡන්ද මධ්‍යස්ථානයට අනුර කඩේ වම්පස ද දකුණු පසින් ද තිබෙන්නේ.

සාක්කිකාරිය - අනුර කඩේ ඡන්ද මධ්‍යස්ථානයට පෙනෙන්නේ නැහැ. නමුත් ඡන්ද මධ්‍යස්ථානය දකුණින්.

නීතිඥ - අනුර කඩේ පාරේ ද තියෙන්නේ පාරට මුහුණලා ද?

සාක්කිකාරිය - පාරට මුහුණලා. ඡන්ද මධ්‍යස්ථානය දිහා බලා සිටියොත් අනුර කඩේ වම්පසින් පෙනෙනවා.

නීතිඥ - ඡන්ද මධ්‍යස්ථානය වම්පසින් තිබෙන්නේ අනුර කඩේ අලුත් බිල්ඩිමද පරණ බිල්ඩිමද?

සාක්කිකාරිය - අලුත් බිල්ඩම

නීතිඥ - අලුත් බිල්ඩිම පරණ බිල්ඩිම යාවෙලාද?

සාක්කිකාරිය - වෙන් වෙන්ව පිහිටලා තිබෙනවා.

නීතිඥ - වෙන් වන්නේ කොහොමද?

සාක්කිකාරිය - මතක නැහැ‍.

නීතිඥ - තමාගේ සහෝදරයකුගේ නිවෙස ඒ අසල පිහිටලා තිබෙනවා. නමුත් තමා කියනවා මතක නැහැ.

සාක්කිකාරිය - එදිනෙදා ජීවිතයට අවශ්‍ය නැති නිසා බැලුවේ නැහැ. අවධානයෙන් බැලුවේ නැහැ.‍

නීතිඥ - අයිතිකරුගේ නිවස තිබෙන තැන දන්නවද? වාහනයක් යනවා නම් නිවෙසට කොහොමද යන්නේ?

සාක්කිකාරිය - මිදුල හරහා යන්න ඕනේ.

නීතිඥ - තමා හිටියේ මිදුලේද? ගෙදරද? සාක්කිකාරිය තමාට මා යෝජනා කරනවා පාරේ සිට තමා සිටි නිවස යාර 20 දුරින් පිහිටලා තිබෙනවා කියලා?

සාක්කිකාරිය - ප්‍රතික්ෂේප කරනවා.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය - නිවෙස තිබෙන දුර ප්‍රමාණයට නිශ්චියක් නැහැ කියන්නේ මා අසන ලද ප්‍රශ්නයට උත්තර ලබා නොදුන්නේ තමා සත්‍ය වසන් කරන නිසා බවට මා යෝජනා කරනවා.

නීතිඥ - කවුද කඩේ හිටියේ?

සාක්කිකාරිය - අනුර කඩේ මුදලාලි, අක්කා.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය - මුදලාලිගේ නම මොකක්ද?

සාක්කිකාරිය - නම දැනගන්න මට අවශ්‍යතාවක් නැහැ.

නීතිඥ - තමාට හැමදෙයක්ම මතක නැහැ. පොලිසියට දුන් කටඋත්තරය පමණක් මතකයි.

සාක්කිකාරිය - එවැනි දෙයක් අමතක වන්නේ නැහැ.

නීතිඥ - අනුර කඩේ නි‍වසේ මිදුලේ සිටියා නම් පාරේ වම්පස දකුණුපස පෙනෙන්නේ නැහැයි මා යෝජනා කරනවා.

සාක්කිකාරිය - ඉදිරියට සියල්ල පෙනෙනවා.

නීතිඥ - ඡායාරූපයක් පෙන්වමින් අනුර කඩේ පිහිටීම සම්බන්ධයෙන් සාක්කිකාරියගෙන් ප්‍රශ්න විමසීය.

අනුර කඩේ අයිතිකරුගේ නිවෙස ඡායාරූපයෙන් පෙනෙනවද?

සාක්කිකාරිය - නැත.

නීතිඥ - ඔය ඡායාරූපයෙත් අනුර කඩේ මුදලාලිගේ නිවස පේන්නේ නැහැ.

සාක්කිකාරිය - නැත.

නීතිඥ - තමා‍ට යෝජනා කරන්නේ අනුර කඩේ සිට බලනවිට නිවෙස පෙනෙන්නේ නැති සේම නිවස ඇතුළේ සිටිය දී පාරේ වෙන දේවල් පේන්නේ නැහැ.

සාක්කිකාරිය - යාර 200, 300 බලන්න බැහැ යම්තාක් දුරකට පේනවා.

නීතිඥ - අනුර කඩේ මුදලාලිගේ මිදුලට කවුද ආවේ?

සාක්කිකාරිය - සෙනඟ ඉදිරියට ආවා.

නීතිඥ - යාර 200 දුර සිට සෙනඟ එනවා ඔබට පෙනුණා.

සාක්කිකාරිය - කිසිම සිද්ධියක් පාරේ සිදුවුණේ නැහැ. සෙනඟ එනවා දැක්කා.

නීතිඥ - තමන් දැක්කද කවුද ආවේ කියලා?

සාක්කිකාරිය - පිරිසක් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ආවා.

නීතිඥ - තමාගේ කටඋත්තරයේ දී තිබෙනවා මේ සිද්ධිය වුණේ අනුර කඩේ මිදුලේ බව?

සාක්කිකාරිය - අනුර කඩේ මිදුලේ බවට කිව්වා.

නීතිඥ - අනුර මුදලාලිගේ නිවස හෝ අනුර කඩේ මිදුලේ කියලා තමා කිසිතැනක සඳහන් කර නැහැ.

සාක්කිකාරිය - අනුර කඩේ මිදුලේ බව සඳහන් කොට තිබෙනවා.

නීතිඥ - තමා කිසිම අවස්ථාවක පොලිසියට කියලා නැහැ මෙම සිද්ධිය වුණේ අනුර කඩේ මිදුලේ කියලා?

සාක්කිකාරිය - මතක නැහැ.

නීතිඥ - අනුර කඩේ මිදුලේ මෙම සිදුවීම වූ බවට තමා කටඋත්තර දී නැති බවට යෝජනා කරනවා.

සාක්කිකාරිය - මතක නැහැ.

නීතිඥ - කී ටැග් එක දුමින්ද බැලුවද?

සාක්කිකාරිය - අශෝක රාජපක්ෂ කී ටැග් එක බිමට දානවා දැක්කා.

නීතිඥ - අශෝක රාජපක්ෂගේ කී ටැග් එක කඩලා බිම දානවා ඔබ දැක්කද? දිවුරලා එසේ කිව්වා නම් එය බොරුවක්ද?

සාක්කිකාරිය - කී ටැග් එක බිමට දානවා දැක්කා.

නීතිඥ - මේ සම්බන්ධව තමා කොතැනකවත් ප්‍රකාශ කරලා නැහැ.?

මේ අවස්ථාවේදී සාක්කිකාරිය විසින් රහස් පොලිසියට 2010/10/11 දුන් ප්‍රකාශයේ අශෝකා රාජපක්ෂ තමාගේ ස්වාමි පුරුෂයාගේ ඡායාරූපය ඇතුළත් කී ටැග් එක කඩා බිමට දැමූ බව සඳහන් කර නැති බවට ඌනතාවයක් මෙහිදී නීතිඥවරයා නම් කරනු ලැබීය.
නීතිඥ - ඉන් පස්සේ මොකද වුණේ?

සාක්කිකාරිය - මන්ත්‍රීතුමා කම්මුලට එකපහරක් එල්ල කළා.

නීතිඥ - පහර දුන්නේ ඇයි කියලා දන්නවද?

සාක්කිකාරිය - දන්නේ නැහැ.

නීතිඥ - මන්ත්‍රීතුමා ඉන්පසුව මොකද කළේ?

සාක්කිකාරිය - මන්ත්‍රීතුමා කාටද ඡන්දෙ දැම්මේ කියලා ඇහුවා. අශෝක ලංකාතිලකගේ සහෝදරිය මා නිවස තුළට ඇදගෙන ගියා.

නීතිඥ - අනුර කඩේ මුදලාලි කොහේද හිටියේ.

සාක්කිකාරිය - දන්නේ නැහැ.

නීතිඥ - එම ස්ථානයට එස්.ටී.එෆ්. නිලධාරියෙක් ආවා කියනවා. රජයේ සේවකයෙක් අනුර කඩේ රාජකාරි කළා කියලද?

සාක්කිකාරිය - පාරේ හිටියේ‍.

නීතිඥ - කොහොම හරි සිද්ධිය වූ ස්ථානයට එස්.ටී.එෆ්. එකේ නිලධාරියා ආවා.

සාක්කිකාරිය - ඔව්‍.

නීතිඥ - දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා තමාට කිසිම හිරිහැරයක් කළේ නැහැ.

සාක්කිකාරිය - කාටද ඡන්දෙ දැම්මේ කියලා ඔහු ඇහුවා. ප්‍රසන්නට දැම්මා කිව්වා. පසුව අත දිගු කරමින් මන්ත්‍රීතුමා එනවිට ළඟ සිටි පින්කි මාව ගෙතුළට ගෙන ගියා.

නීතිඥ - දුමින්ද වෙන කාටත් පහර දෙනවා දැක්කද?

සාක්කිකාරිය - ගාලගෝට්ටියක් දැක්කා. මාමාගේ පසුපස කට්ටියක් එළවනවා දැක්කා. හෙල්මට්වලින් ගැහැණු අයට ගහනවා දැක්කා.

නීතිඥ - රහස් පොලිස් ප්‍රකාශයේ හෙල්මට්වලින් පහරදීමක් පිළිබඳව තමා දැක්කා කියලා නැහැ.

සාක්කිකාරිය - පිළිතුරක් නැත.

නීතිඥ - තමා දැක්කද ආපු පිරිස පිටවනවා?

සාක්කිකාරිය - දුමින්ද සිල්වා මා නැවත නිවෙසින් එළියට එනවිට හිටියේ නැහැ.

නීතිඥ - ඉන්පසු අනුර කඩේ ගෙදර මාව ගේ තුළට රැගෙන ගොස් කාමරයට දමා දොර වැසුවා කියලා කිව්වා ද?‍

සාක්කිකාරිය - කාමරයට ගෙන ගියේ නැහැ. මට මතක නැහැ.

නීතිඥ - පොලිසියට තමා ප්‍රකාශ කොට තිබෙනවා. තමාගේ ප්‍රකාශයේ කිසිම තැනක ග්‍රිල් ගේට්ටුව පිළිබඳව සඳහනක් නැහැ. තමා කියන්නේ බොරුවක් බවට මා යෝජනා කරනවා.

සාක්කිකාරිය - ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥ - තමාගේ පුරුෂයා කොයි අවස්ථාවේද එතැනට ආවේ?

සාක්කිකාරිය - මතක නැහැ.

නීතිඥ - විනාඩියකින් පැමිණියා කියා තමා ප්‍රකාශ කර තිබෙනවා නම් එය නිවැරදිද?

නීතිඥ - ප්‍රසන්න එතැනට එන්න කලින් තමා ඔහුට දුරකථනයෙන් දැනුම් දුන්නද?

සාක්කිකාරිය - දැනුම් දුන්නා. මෙතැනට නොඑන ලෙස.

නීතිඥ - භාරත ලක්ෂ්මන්ට දැනුම් දුන්නද?

සාක්කිකාරිය - නැත.

නීතිඥ - ප්‍රසන්න භාරතට මේ බව දැනුම් දුන්නද?

සාක්කිකාරිය - මට මතක නැහැ.

නීතිඥ - තමන්ට අවශ්‍ය දේවල් මතක නැහැ. දුරකථන ඇමතුම දුන් එක මතකයි. කිව්දේ මතක නැහැ.

නීතිඥ - තමා අසත්‍ය සිදුවීමක් හිතා මතා ගොතා තම පුරුෂයාට පැවසීම නිසා මෙම සිද්ධිය වුණා.

සාක්කිකාරිය - මම ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥ - භාරත ළඟ සිටි දමිත් ජයතිලක දුමින්ද සිල්වාගේ නළලට වෙඩි තියා ඔහුට මරණීය තුවාල කළා.

සාක්කිකාරිය - ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥ - කොළොන්නාව ප්‍රදේශයේ සංවිධානකම ඉල්ලා ඉල්ලුම් පත්‍ර යොමු කොට තිබෙනවා. බොරු සාක්කි දෙන්නේ තම පුරුෂයාට එම ආසන සංවිධානකම ලබා දෙන්න.

නීතිඥ - තමාගේ බොරුව නිසා තිදෙනෙක් ඝාතනය වුණා. දුමින්ද සිල්වාට මරණීය තුවාලවු බවට මා යෝජනා කරනවා.

සාක්කිකාරිය - ප්‍රතික්ෂේප කරනවා.

12 වන විත්තිකරු වෙනුවෙන් ද මෙහිදී ප්‍රශ්න කිහිපයක් සාක්කිකාරියගෙන් විමසනු ලැබිණ.
අනතුරුව සාක්කි විභාගය යළි කැඳවීම ලබන මස 1 වන දිනට මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් කල් තබනු ලැබුවේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත මුදලිගේ, රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර, ස්ථානාධිපති මෙරිල් රංජන් ළමාහේවා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය, අනිල් ද සිල්වා, තුසිත බෝපගේ, ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියහ.

-(උපුටා ගැනීම- දිනමිණ)

No comments:

Post a Comment