Wednesday 23 October 2013

ශ්‍රී. ලං. නි. ප . යට මුල අමතක වෙලා --අතුරලියේ රතන හිමි වදාරයි .

Patalee1
සුරාව, සූදුව, පාතාලය, ගණිකා වෘත්තිය රජකරවීමට මාර්ගය සැලසූ කැසිනෝ පනත වහාම හකුලා ගැනීම මුළු මහත් ජාතියම ලත් ජයග්‍රහණයක් බව විද්‍යා තාක්ෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසුවේය. කැසිනෝ පනතට එරෙහිව ජාතික හෙළ උරුමයේ කටයුතු සම්බන්ධව ඊයේ (22) බත්තරමුල්ල ජාතික හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරමින් ඇමැතිවරයා එසේ කීවේය. එහිදී තවදුරටත් කතා කරමින් ඇමැතිවරයා මෙසේද කීය. කැසිනෝ ව්‍යාපාරය ශ්‍රී ලංකාවට හඳුන්වා දී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යම් පිරිසක් කල්පනා කරන්නේ නම් එය ලෝක විහිළුවක්.
සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් බරපතළ ගැටලු රැසක් ඇති වීමට ඉඩ තිබෙනවා. එය මැනැවින් අධ්‍යයනය නොකර යම් තීන්දු තීරණ ගැනීමේදී ඇති වන භයානක ප්‍රතිඵල අත්විඳින්නේ අනාගත පරපුරයි. වත්මන් ආණ්ඩුව කැසිනෝ සම්බන්ධ යෝජනාව 2011 දී ගෙන ආවා. එයට එරෙහිව එදත් අප කතා කළා. එහිදී කළු සල්ලිකාරයන් ශ්‍රී ලංකාවට විත් සංස්කෘතිය සදාචාරය සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට ඇද දමනවා.
කළු සල්ලිකාරයන්ගේ සල්ලි මත යැපෙන ගණිකාවන්, සල්ලාලයන් පාතාලයේ අපරාධකරුවන් මුළු රට පුරාම රජ කරන්න ඉඩකඩ සලසා ගන්නවා.
එසේ ව්‍යාපාරික ලෝකයේ ධනකුවේරයෝ ආණ්ඩු පෙරළන්න මෙන්ම ආණ්ඩු හදන්න සූදානම් වෙන්න ඉඩ තිබෙනවා.
මහින්ද චින්තනයට අනුගතව ආණ්ඩුව ඉදිරියට යනවා නම් සුරාවෙන් සූදුවෙන් තොර දැහැමි සමාජයකට මං පෙත් විවර කළ යුතුයි.
මෙම පනත සම්පූර්ණයෙන්ම රජය හකුලා ගත්තා කියා නිහඬ වෙන්න බැහැ. අනාගතේ මීට වඩා භයානක පනත් ගෙන ඒමට ඉඩ ඇති නිසා මීට අවධානයෙන් සිටිය යුතු යැයි ද හෙතෙම කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි
මුළු මහත් ජාතියේම ආධ්‍යාත්මික ගුණාංග බිඳ හෙලීමට යම් පිරිසක් කටයුතු කරන්නේ නම් ඔවුන් ඇස් පනාපිටම පරිහානිය කරා ගමන් කරනවා.
මහජන නියෝජිතයෝ ජනතාව මුලා කිරීමට බොරු කියනවා නම් ඔවුන්ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ යුතුකමක්.
මේ රජයේ ඇතැම් නිලධාරීන් ජනාධිපතිවරයාත් අභිබවා කටයුතු කරන අවස්ථා දක්නට ලැබෙනවා. රජයේ ගැසට් පත්‍රය නිකුත් කළේ මේ සම්බන්ධව කිසිම වග විභාගයක් නොකර බව මුළු රටම දන්නවා. රජය ජනතාව නොමග යැවීමට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් වුණත් කටයුතු කිරීමට ජාතික හෙළ උරුමය සූදානම්.
මේ පනතට රජයේ ඇමැතිවරු හිතට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සිදුවන බව පැවැසුවා. මේ පිළිබඳව ජනමතය විමසිය යුතුයි. අනාගත පරම්පරාව සූදුකාරයන් කරන පනත අහෝසි කිරීමට ලැබිම වාසනාවක්.
එදා මේ රට පාලනය කළ දිවංගත අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා සුරා පනතට එරෙහිව කටයුතු කළා. ශ්‍රීල.නි.ප. නියෝජනය කරන ඇතැම් මැති ඇමැතිවරුන්ට ඒ අතීතය අමතක වී ගොස් යැයි ද ඒ හිමියෝ කීහ.
බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කතා කරමින් මෙසේ කීය.
ශ්‍රී ලංකාව ජෙම්ස් ජැකර්ගේ කොළනියක් කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මහින්ද චින්තනයට පිටුපා වැරදි මාවතක රජය ගමන් කරන්න සූදානම් වන්නේ නම් ඊට එරෙහි ජනතාව සමග පෙළ ගැසීමට ජාතික හෙළ උරුමය සූදානම්.

No comments:

Post a Comment