Tuesday 15 October 2013

සිම්බාබ්බේ ජනපති සොයුරු ලංකාවේ හොරකමක


muga77සෙනගල් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරියට අයත් ඩොලර් කෝටි ගණනක්‌ හොර රහසේ මෙරටට ගෙන්වා ඒවා අඩු මිලකට ලබාදෙන බව කියමින් මෙරට කෝටිපති ව්‍යාපාරිකයන් රවටා කෝටි ගණන් මුදල් ඉපැයූ ජාත්‍යන්තර සංවිධානාත්මක කල්ලියකට සම්බන්ධ නීග්‍රෝ ජාතිකයකු මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (14 දා) සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නීග්‍රෝ ජාතිකයා අප්‍රිකානු මහාද්වීපයේ "මාලි" රාජ්‍යයේ පදිංචි අශේන් ෂකු නමැති හතළිස්‌ තුන් හැවිරිදි පුද්ගලයෙකි.
සෙනගල් රාජ්‍යයේ දැනට සිරගතව සිටින බව කියන ඔටුන්න හිමි කුමරියට අයත් මුදල් කළු පැහැ ගන්වා රහසේ මෙරටට ගෙන එන බවත් එම මුදල් විශේෂ රසායනික දියරයක්‌ මගින් යළි සාමාන්‍ය තත්ත්වයට පත් කර අඩු වටිනාකමකට ලබාදෙන බවත් කියමින් මෙම නීග්‍රෝ ජාතිකයා මෙරට ව්‍යාපාරිකයන් රවටා මෙලෙස කෝටි ගණන් උපයා ඇතැයි දැනට සිදුකර ඇති පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙහි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි මෙම සංවිධානාත්මක ජාවාරමේ මූලස්‌ථානය පිsහිටා ඇත්තේ අප්‍රිකාවේ "මාලි" දූපතෙහිය. එහි සිට අන්තර් ජාලය මගින් ශ්‍රී ලංකාවේ ධනවත් ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාරවලට මුදල් යෙදවීමට කැමැති බව පවසා එම කූට ජාවාරම්කරුවෝ ශ්‍රී ලංකාවේ ධනවතුන්ට ඊමේල් මගින් පණිවුඩ එවති. පසුව ඊමේල් පණිවුඩ මගින් මෙරට ධනවත් ව්‍යාපාරිකයන් සමඟ හිතවත් වන ඔවුහු ව්‍යාපාරවලට මුදල් යෙදවීම සඳහා ශ්‍රී ලංකාවට ඔවුන්ගේ නියෝජිතයකු පැමිණෙන බව දන්වා සිටී.
ඒ අනුව මෙහි සැකකරු අදාළ ව්‍යාපාරිකයා වෙත පැමිණෙන්නේ ඩොලර් නෝට්‌ටු අසුරාගත් බව කියන ජංගම සේප්පුවක්‌ ද රැගෙනය. එහිදී සැකකරු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයා හමුවේ ඔහුගේ ජංගම සේප්පුවේ රහස්‌ අංක කරකවා විවෘත කර කළු පැහැයෙන් යුතු ඩොලර් 100 ප්‍රමාණයෙන් යුතු නෝට්‌ටු මිටියක්‌ බව පවසන කළු පැහැති කඩදාසි මිටියක්‌ ඉවතට ගනු ලබයි. ඔහු සතු විශේෂ රසායනික දියරයක්‌ එම නෝට්‌ටුවල තැවරූ පසුව එම කඩදාසියේ කළු පැහැය ඉවත් වී ඩොලර් 100 නෝට්‌ටු මතු වේ.
මෙලෙස සැකකරු එම අන්දමින් කළු පැහැති කඩදාසි කොළ පහක්‌ පමණ රසායනික දියර වත්කොට එම කඩදාසිවල තැවරුණු කළු පැහැය ඉවත් කොට නිර්ව්‍යාජ ඩොලර් නෝට්‌ටු මතුකර පෙන්වයි. ඒ වන විට නීග්‍රෝ ජාතික සැකකරු අතෙහි තිබූ රසායනික දියර අවසන් වූ බව ඔහු පවසයි. ඉතිරි කළු පැහැයෙන් යුත් නෝට්‌ටු සැබෑ ඩොලර් නෝට්‌ටු බවට පත්කිරීම සඳහා එම විශේෂිත වූ රසායනික දියර තම මවු රටේ සිට ගෙන්වාගත යුතු බවත් ඒ සඳහා ඩොලර් 2500 ක්‌ (රුපියල් ලක්‍ෂ 3 1/2) වැය වන බවත් දන්වා නිග්‍රෝ ජාතික සැකකරු එම විශේෂිත දියරය ගෙන්වා දීම සඳහා ඔහුගේ උගුලට හසු වූ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්‍ෂ 3 1/2 බැගින් මුදල් ලබාගෙන ඒ සඳහා ඇපයට අවපැහැ ගැන්වූ (කළු පැහැ) ඩොලර් මුදල් සහිත බව කියන සේප්පුව භාර දී අතුරුදන් වේ.
මෙම වංචාව පිළිබඳ විමර්ශන කටයුතු මෙහෙයවූ මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය මෙහි සැකකරු සීදුව ප්‍රදේශයේ ඉඩම් අලෙවි ව්‍යාපාරිකයකුට ඔහුගේ සුපුරුදු වංචාව කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ සැකකරු උපයෝගි කරගත් ජංගම සේප්පුව, ඩොලර් 100 නෝට්‌ටුවේ ප්‍රමාණයෙන් යුත් කළු පැහැ ගැන්වූ ඩිමයි කඩදාසි මිටි විශාල සංඛ්‍යාවක්‌ සහ ඩොලර් නෝට්‌ටු මතු කිරීමට යොදාගන්නා විශේෂ රසායනික දියරයක්‌ ලෙස වංචනිකව හැඳින්වූ වතුර බෝතලයක්‌, අවපැහැ ගන්වා පසුව වතුර යොදා අවපැහැය ඉවත් කළ නිර්ව්‍යාජ ඩොලර් නෝට්‌ටු 5 ක්‌ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සිම්බාබ්වේ ජනාධිපති රොබට්‌ මුගාබේගේ ඥතියකු යෑයි කියාගන්නා මෙම සැකකරු විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් රවටා ලබාගත් මුදල් ප්‍රමාණයත් සැකකරු විසින් සිදුකළ වංචා ප්‍රමාණයක්‌ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

මීගමුව කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරි ජයන්ත ලියනගේ මහතාගේ අධීක්‍ෂණය මත කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසන්න ප්‍රියදර්ශන, උප පොලිස්‌ පරීක්‍ෂක ටී. සුනිල්, සැරයන් (13180) රවුෆ්, සැරයන් (32586) දිසානායක, සැරයන් (31880) පාලිත, පො.කො. (8945) බුද්ධික යන මහත්වරු වැටලීමට සහභාගි වූහ. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

No comments:

Post a Comment