Tuesday 15 October 2013

කොටි පුල්ලි ආපහු වෙටෙවිද?


karkalanව්‍යාපාරිකයකු හා සිංහල පාතාල කල්ලි නායකයකු සමඟ එක් ව එල්ටීටීඊ සංවිධානයට වාහන සැපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ටීටීඊ සංවිධානයේ ඉරණමඩු කිළිනොච්චි ප්‍රධාන කාර්යාලය බාරව කටයුතු කළ කරිකාලන් නමැත්තා කටුනායක හෝ මත්තල ගුවන් තොටුපලින් විදේශ ගතවුවහොත් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (15) ත්‍රස්ත විමර්ශන අංශය වෙත නියෝග කළා ය.
විශ්වලිංගම් රවින්ද්‍රන් හෙවත් කරිකාලන් නමැති සැකකරු සම්බන්ධයෙන් සාක්කිකරුවකු විසින් ත්‍රස්ත විමර්ශන අංශයට ලබා දී ඇති තොරතුරු අනුව පරික්ෂණ පවත්වන බවත්, ඔහු යම්හෙයකින් විදේශගත වුවහොත් අත්අඩංගුවට ගන්නා ලෙසට ආගමන විගමන පාලක වෙත දැනුම් දෙන ලෙසට ත්‍රස්ත විමර්ශන අංශය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීම සළකා මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා ය.
එල් ටී ටී ඊ සංවිධානයේ සමාජිකයන් සමඟ සබඳතා පවත්වමින් එල්ටීටීඊ සංවිධානයට නවතැන් පහසුකම් සැපයීම හා වාහන සැපයීම සම්බන්ධයෙන් මෙම නඩුව ත්‍රස්ත විමර්ශන අංශය විසින් අධිකරණය හමුවේ පවරා තිබිණ. ඒකල, මිලේනියම් සිටිහි පදිංචි දොන් බ්‍රයන් දේවින්ද නාවින්න කෝට්ටගේ නමැත්තා මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් ජුලි මස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණ.
වැඩිදුර පරික්ෂණ පැවැත්වූ කොළඹ ත්‍රස්ත විමර්ශන අංශයට එල්ටීටීඊ සංවිධානය සමඟ සමීප සබඳතා පැවැත්වූ පාතාල කල්ලි නායක දිළුම් නිරෝෂණ පණ්ඩිතරත්න නමැත්තා සම්බන්ධ කරුණු හෙලිවී තිබේ. ඉන්ධන ප්‍රවාහනය සඳහා අංක J S 2904 ට්‍රේලර් රථය , 290 0771 දරන කන්ටේනර් රථයක් ප්‍රවාහන කළ හැකි බර වාහනයක් සැකකරු විසින් එල්ටීටීඊ සංවිධානයට සපයා ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.
ඉහත වාහන කල්බදු පදනම යටතේ සැකකරුගේ මව වන ට්‍රිලිෂියා පිරිස් යන අයගේ නමට ඇති බවත් පෙරුනියම් වන්නි උදයගාමන් නමින් පිහිටුවා සිටි එල්ටීටීඊ සංවිධානයේ ඉරණමඩු කිළිනොච්චි ප්‍රධාන කාර්යාලය බාර ව කටයුතු කළ විශ්වලිංගම් රවින්ද්‍රන් නොහොත් කරිකාලන් නැමැත්තාට මෙම වාහන දී ඇති බවටත් ත්‍රස්ත අංශය කරුණු අනාවරණය කොට ගෙන ඇත.
කොටස් එකලස් කොට ව්‍යාජ ලෙස සැකසු වාහන බවට ද තොරතුරු අනාවරණය වී ඇති අතර පාතාල කල්ලි නායකයකු වු දිළුම් නමැත්තාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ගාල්ල බන්ධනාගාරය වෙත ගිය ද ඔහු කුරුවිට බන්ධනාගාරයට මාරු කළ බව සඳහන් කළ බවත්, පසුව කුරුවිට ගිය විට කුරුණැගලට ගෙන ගිය බවට බන්ධනාගාරය පැවසූ බැවින් සිද්ධියට අදාළව එම සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි වු බවට ත්‍රස්ත විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේ ය.
මෙහි දී පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් සුහෙර් මහතා පවසා සිටියේ සැකකරු වාහන කුලියට දීමේ ව්‍යාපාරිකයකු බවත් ආණ්ඩුවට මෙන්ම පුද්ගලික ආයතන වෙත වාහන ලබා දෙන අතර 2002 හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එල්ටීටීඊ නායක ප්‍රභාකරන් අතර ඇති වූ සාම ගිවිසුම අනුව උතුරු ප්‍රදේශයට වාහන කුලියට දී‍මේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවය.
වර්ෂ 2006 මාවිල්ආරු සටන ආරම්භයත් සමඟ ව්‍යාපාරය බිඳ වැටුණු බව පැවසු නීතිඥවරයා රාජ්‍ය නොවන සංවිධානවලට ද වාහන සැපයූ බව පැවසීය. නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි රජයේ අධිනීතිඥ අමිලා ධර්මසේන මහත්මිය මෙම සැකකරුට ඇප ලබා දීමට විරෝධයක් නොමැති බවට අධිකරණය හමුවේ පැවසීම සළකා බැලු මහේස්ත්‍රාත්වරිය පළමු සැකකරු ලක්ෂ දෙකක ඇපයක් මත මුදා හැරීමට නියම කළාය.

No comments:

Post a Comment