Tuesday 10 September 2013

මන්ත්‍රිවරු 14ක් නෑ උතුරු මැද සභාව මිනිත්තු 15යි

ඊයේ (10දා) පැවැති උතුරු මැද පළාත් සභාවේ දෙවැනි සැසිවාරයේ 18 වැනි රැස්වීම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රධාන තනතුරු දරන බහුතරයක සහභාගිත්වය නොමැතිකමින් විනාඩි 15ක් වැනි කෙටි කාලයකින් නිමාවට පත්විය.උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10දා) පෙරවරු 10.10ට පමණ පළාත් සභා රැස්වීම ආරම්භ වූ අතර පෙරවරු 10.25 වන විට එය නිමාවට පත්විය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් 12 දෙනකු සහ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රිවරු 5 දෙනකු රැස්වීමට සහභාගි වූ අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු 14 දෙනෙක් රැස්වීමට සහභාගි නොවූහ.ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කේ.එච්. නන්දසේන, පේෂල ජයරත්න, පී.බී. රත්නායක සහ එච්.බී. සේමසිංහ යන අමාත්‍යවරුන් සිවු දෙනාම පළාත් සභා රැස්වීමට සහභාගි වී සිටියේ නැත.
විපක්ෂ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්දසෝම, උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක කිංස් නෙල්සන් සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන වසන්ත සමරසිංහ මන්ත්‍රිවරයාද පළාත් සභා රැස්වීමට පැමිණ සිටියේ නැත.ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය. සහභාගි වූ විපක්ෂ මන්ත්‍රිවරු කිසිවකු පළාත් සභා රැස්වීමට කිසිදු ප්‍රශ්නයක් හෝ යෝජනාවක් ඉදිරිපත් නොකිරීමද විශේෂත්වයකි. කලින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම ප්‍රධාන අමාත්‍යවරයා විසින් කල් ලබාගන්නා ලදී. සභාව කල් තබන අවස්ථාවේ පළාත් සභා මන්ත්‍රි සරත් ඉලංගසිංහ මන්ත්‍රිවරයා පමණක් විනාඩි කිහිපයක ප්‍රකාශයක් කළේය.

No comments:

Post a Comment