Wednesday 25 September 2013

සල්ලිත් නෑ: කෙල්ලත් නෑ

අතාවුද සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා යන අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහිත පුවත්පත් දැන්වීමක් පළ කර කැනඩාවේ රැකියාවට යවන බව කියා තරුණ තරුණියන්ගෙන් රුපියල් කෝටි 6ක් වංචා කළ මහරගම රැකියා ඒජන්සියක් ළඟ උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් වාර්තා විය. රජයේ අමාත්‍යවරුන්ගේ ඡායාරූප
සහිතව පළකර තිබුණු මේ පුවත්පත් දැන්වීමට ඕනෑම කෙනකු රැවටෙනු නිසැකය.

එවකට අතාවුද සෙනෙවිරත්න කම්කරු අමාත්‍ය ධුරය දැරීය. කම්කරු අමැතිගේ ඡායාරූපයක් සහිතව පළවූ දැන්වීමට තරුණ තරුණියන් 74 දෙනෙක් රැවටී ඇත. ඩිලාන් පෙරේරා නම් තවම තරුණ විය නොඉක්මවූ අයෙකි. එහෙත් අතාවුද සෙනෙවිරත්න? දැන් ඔහුට වයස 85ද ඉකුත් වී තිබේ. එවැනි වයෝවෘද්ධ අමාත්‍යවරයකුන් මේ කූට සිද්ධියට සම්බන්ධ නම් මොවුන් ගැන ජනතාව ඉදිරියට විශ්වාසය තබන්නේ කෙසේද?

වයස අසූව ඉක්ම ගියත් අතාවුද සෙනෙවිරත්න ඇමැතිවරයා කරන්නේ ඉලන්දාරි වැඩය. වරකාපොළ ‍ෙදාරවක හරහා පාර ඔහු නොහදා ඇත්තේ ඒ පාර දෙපස යූ. ඇන්. පී. කාරයන් සිටින නිසාලු. ඇයි අමැතිතුමෝ ඔය පාර දෙපස එක ශ්‍රී  ලංකාකාරයෙක්වත් නැද්ද? මෙවැනි අමන වැඩ කරන පුද්ගලයන් ගැන කෙසේ විශ්වාසය තැබිය හැකිද?

අතාවුද සෙනෙවිරත්න කියන්නේ ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්. එම්. පෙරේරාගේ පෞද්ගලික ලේකම් හැටියට කටයුතු කළ අයෙකි. එන්. එම්. වැනි ශේ‍ර්ෂ්ඨ නායකයකු ළඟ වැඩ කළ පුද්ගලයෙක් මෙවැනි තකතීරු වැඩ කරනු ඇතැයි විශ්වාස කළ හැකිද?

 මට පෙනෙන විදියට දැන් ඇමැතිවරුන් ළඟ සිටින ලේකම්ලා මීට වඩා හොඳය. ඉඳහිට ස්ත්‍රී දූෂණයක්, පගා ගැහිල්ලක් හැරුණුකොට ඔවුන් තකතීරු වැඩ කරන්නේ නැත.
දැන් මහරගම හොර රැකියා ඒජන්සියට කෝටි 6ක් පූජා කළ අසරණ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නය විසඳන්නේ කවුද? මේ පිළිබඳ ඇමැති දෙපොළම ප්‍රශ්නයෙන් කට්ටි පනින බව අමාරුවට පත්වූවන් පවසයි. මෙවැනි ජරා වැඩට සම්බන්ධ වූ ඇමැති දෙපොළ ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතුය.
රැකියා ඒජන්සි පවත්වාගෙන යමින් මහා පරිමාණයෙන් වංචා කරන අය අප රටේ දුලබ නැත. වංචනිකයා, රැකියා බලාපොරොත්තුවෙන් සිටින දුප්පත් තරුණ තරුණියන්ගේ තුට්ටු දෙකට විදිද්දී වගකිවයුත්තෝ මර නින්දේ පසුවෙති.

ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයෙක් විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යයි. එය පාලනය කෙළේ ඔහුගේ පෙම්වතියයි. ඇය සුරූපී එකියකි.
පුවත්පත්වල පළ කර තිබූ දැන්වීමකට අනුව විශාල පිරිසක් පැමිණියහ.
මේ රමණි ඔයා මේ වැඩ ඔක්කොම බලා ගන්න ඕනෑ. මේගොල්ලො දෙන සල්ලි ප්‍රවේසමෙන් තියා ගන්න ඕනෑ.’
‘හරි, හරි, මං තිතට වැඩේ කරන්නම්.’

රැකියා අපේක්ෂාවෙන් පැමිණි එක්තරා තරුණයකු පිළිබඳ රමණීගේ සිත ඇදී ගියේය.’
‘ඔයාට මං වැඩක් කියන්නද?’ ඇය ඒ තරුණයාගෙන් විමසුවාය.
‘මොකක්ද අප්පා?’
‘ඔයා කැමැති නැද්ද මාව බඳින්න. මේ ලේකම්තුමාගෙන් වැඩක් නෑ. ඇමැතිවරයාගේ වැඩ මිසක් එයාට මා ගැන හැඟීමක් නෑ. මොකද ඔයා කියන්නේ?
‘ඔයා කියනවානම් ඉතිං මං කැමැතියි.’
‘අපි බැඳල පිටරට යමු.’ මා ළඟ සල්ලි තියෙනවා.’

ඒ අනුව රැකියා සොයා පැමිණි තරුණ තරුණියන් තැන්පත් කළ රුපියල් කෝටි 2ක් ඇය ළඟ වූවාය. අලුත් පෙම්වතා සමඟ රමණී කිසිවකුට නොකියා ඉතාලියට ගියාය.
ලේකම්වරයා සිය පෙම්වතිය ගැන සොයා බැලීය. ඇය නැත. තරුණ තරුණියන් දුන් සල්ලිත් රැගෙන අලුත් පෙම්වතා සමඟ ඇය ඉතාලියට පැන ගොස් ඇති බව ඔහුට දැනගන්නට ලැබිණි. තරුණ තරුණියන්ගේ කෝටි දෙකක් වංචා කිරීම පිළිබඳ පොලිස් කූඩුවේ ලගින්නට ඔහුට සිදුවිය.
කොළඹ තවත් රැකියා ඒජන්සියක අයිතිකරුට එතරම් උගත්කමක් නැත. ඒ නිසා ඔහු උගත් තරුණියක් එහි පාලනයට ගත්තේය. ඇයට පෙම්වතෙක් සිටියාය.
කවුරුත් කරන පරිදි මේ ඒජන්සිකරුවාද පුවත්පත් දැන්වීමක් පළකර පිටරට රැකියාවට යෑමට කැමැති තරුණ තරුණියන්ගෙන් මුදල් රැස් කෙළේය.
‘මේ මඟුල හැමදාම කරන්න බෑ. ඔයා කැමැතිනම් මේ සල්ලිත් අරගෙන පිටරටකට පැන ගනිමු’ ඒජන්සිකරු තරුණියට කීවේය.



‘ඔව් එහෙමවත් කරමු’ හැබැයි සල්ලි මා ගාව තියෙන්න ඕනෑ.’
‘හරි හරි ඔයා මා එක්ක යනවා නම් පණ වුණත් දෙන්නම්.’
ඒ අනුව දෙදෙනා පිටරට යෑමට සූදානම් වූහ. යා යුතු දින උදේ සිය සේවිකාවට එන්නට කී තැනට ආවේ නැත. ඔහු වහා ගුවන්තොටුපොළට ගියාය.
එවිටම තම සේවිකාව සිය පෙම්වතා සමඟ ගුවන් යානයට නැඟීමට යනු ඔහු දුටුවේය. අයියෝ මගේ සල්ලිත් නෑ කෙල්ලත් නෑ ඔහු පපුවට ගසා ගත්තේය.

No comments:

Post a Comment