Tuesday 24 September 2013

අගමැතිගේ නංගීටත් මැර ප්‍රහාරයක්

dimuපාතහේවාහැට තලාතුඔය නගරයේදී පෙරේදා (23) මැර පිරිසකගේ පහර කෑමට ලක් වූ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු හා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ නැගණිය තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කොට ඇත. පසුගියදා නිමාවට පත්වූ පළාත් සභා මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා අපේක්ෂකයකුට ආධාර කළ බවට චෝදනා කරමින් පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට තලාතුඔය නගර මධ්‍යයේදී කිසියම් පිරිසක් පහරදී තිබේ.
එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ නැගණියගේ පුතා හා ස්වාමීන් වහන්සේ නමක් මෙම සිද්ධිය දැක පහරදීම නතර කරන ලෙස ඉල්ලා තිබේ.
පසුව මැර පිරිස ඔවුන් ගමන් කළ වාහනය අසලට පැමිණ පහරදී ඇඳ සිටි ඇඳුම් ඉරා දමා ඇත.
තම පුතාට පහරදීම වැළැක්වීම සඳහා උත්සහ කළ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ නැගණියට මැර පිරිස පහර දුන් බවට මහනුවර ‍පොලීසියට පැමිණිලි කොට ඇත.
සිද්ධිය පිළිබඳව අදහස් දක්වන අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ නැගණියගේ පුත් රංජිත් විජේරත්න මහතා මෙසේ කීය. “පසුගිය 23”දා මම මගේ අප්පච්චි හා අම්මා හා අපේ ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ සමග ඥාති ගෙදරක ගොස් ආපසු එමින් සිටියා. තලාතුඔය නගරය හරහා වාහනය ගමන් කරන විට අපි දක්කා පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට කිසියම් පිරිසක් වට වී පහර දෙන ආකාරය. අපි සියලු දෙනා එම ස්ථානයට ගොස් පහරදීම නතර කරන ලෙස ඉල්ලා සිටියා.
එම අවස්ථාවේ එම ස්ථානයේ සිටි පිරිස ස්වාමීන් වහන්සේගේ සිවුරෙන් ඇදලා පරුෂ වචනයෙන් බැණ වැදුනා. මට පහරදීලා මගේ ඇඳුම් ඉරා දැමුවා. මාව බේරගන්න උත්සහ කළ මගේ අම්මාටත් ඔවුන් පහර දුන්නා. අපිට මේ ගැන පැමිණිලි කිරීමට තලාතුඔය ‍පොලිස් ස්ථානයට යාමට ඔවුන් ඉඩ ලබා දුන්නේ නෑ. පසුව අපි මහනුවර නගරයට ඇවිල්ලා මට අලුතෙන් ඇඳුම් අරගෙන ඇඳගෙන සිද්ධිය පිළිබඳ මහනුවර ‍පොලීසියට පැමිණිලි කළා. මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මහනුවර හා තලාතුඔය ‍පොලීසිය පරීක්ෂණ සිදුකරති.

No comments:

Post a Comment