Monday 9 September 2013

සුනිලා අබේසේකර මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ පෞද්ගලික රෝහලකදී අවසන් සුස්ම හෙළුවාය.

ශ්‍රී ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ සුනිලා අබේසේකර මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. වසරකට අධික කාලයක් තිස්සේ පිලිකා රෝගයෙන් පෙළුනු ඇය මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ පෞද්ගලික රෝහලකදී අවසන් සුස්ම හෙළුවාය.

ලෝකයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කළ මෙහෙය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ පුරුවැසියෙකු පිදුම් ලැබූ ඉහලම සම්මානයෙන් සුනිලා පිදුම් ලැබුවේ 1999 දී ය. ඒ එවක ජගත් මහ ලේකම් කොෆී අන්නන් මහතා වෙතිනි. ඒ වසරේ දීම හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන්ද ඇය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවාය.

දකුණු ආසියානු කලාපයේ කාන්තා අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් වසර 20 කට අධික කාලයක් සිය කාලය ශ්‍රමය මිඩංගු කළ සුනිලා අබේසේකර නෙදර්ලන්තයේ හේග් හි සමාජ අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධි ලාභිනියකි. ඇය ඒ සඳහා ඉදිරිපත් කළ පර්යේෂන වාර්තාවට ඒ වසරේ (1994) හොඳම පර්යේෂන වාර්තාව ලෙස සම්මාන හිමිවීම විශේෂය.

සුනිලා අබේසේකර ප්‍රකට රාජ්‍ය නිලධාරියෙකු වූ චාල්ස් අබේසේකර මහතාගේ දියණියකි. ඇය තරුණ කාලයේදී අමතක නොවන චරිත කිහිපයක් පමණක් රඟපෑ නිලියක් මෙන්ම අමතක නොවන ගීත කිහිපයක් පමණක් ගායනා කළ ගායිකාවකි. බඹරු ඇවිත් සිනමා පටයේ 'හඳුනාගත්තොත් ඔබ මා' ගීතය ගායනා කිරීම පමණක් වුව ඇය ඉතිහාස ගත වීමට ප්‍රමාණවත් ය.

ශ්‍රී ලංකාවේ 30 වසරක යුද්ධයෙන් මෙන්ම 88-89 දකුණේ ජවිපෙ කැරැල්ලෙන්ද බැට කෑ අසරණ ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළ සුනිලා නිසා බොහෝ දෙනෙක් තවමත් දිවි බේරා ගෙන ජීවත් වෙති. අනෙකාගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් වෙහෙස නොබලා ක්‍රියා කළ සුනිලා අබේසේකරගේ ජීවිතය දැන් ඇති යැයි ස්වභාව ධර්මය විසින් අද තීන්දු කිරීම ගැන මානව හිමිකම් අහිමි වීමෙන් පීඩාවට පත්වන්නෝ කම්පා වෙනවා නොඅනුමානය.

සමු ගන්නා විට ඇයගේ වයස අවුරුදු 61 ක් විය. අවසන් කටයුතු 11 දා බදාදා සිදුකිරීමට නියමිත ය.

No comments:

Post a Comment