Thursday 12 September 2013

ඒක ලිංගික පාසල් වසා බහු ලිංගික පාසල් පිහිටුවීම


ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ලංකාවේ බාලක, බාලිකා පාසල් ක්‍රමය වෙනස් කරන්නට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන යෝජනා කර තිබේ. බන්දුල ඇමති වුණත් මේ නම් කර තිබෙන්නේ ඉතා ප්‍රගතිශීලී යෝජනාවකි. මෙය ක්‍රියාත්මක කිරීම දුෂ්කර නැත. 2015 වසරේ සිට 1 ශ්‍රේණියටත්, 6 ශ්‍රේණියටත් විරුද්ධ ලිංගික සිසුන් බඳවා ගැනීම ප්‍රමාණවත් ය. ඒ සමගම බාලිකා පාසල් ලෙස නම් කර ඇති පාසල්වල නම් වෙනස් කරන්නට සිදු වනු ඇත. විශාඛා විද්‍යාලය, දේවි විද්‍යාලය ආදී වශයෙනි. එය එතරම් දුෂ්කර නැත.
මෙතැනදී තවත් රසවත් කරුණක් කෙරෙහි අවධානය යොමු වේ. බාලිකා පාසල් තිබුණත්, පිරිමි ළමයින් පමණක් ඉන්නා කිසිදු පාසලක නමේ බාලක පාසල කියා නැති බව ඔබ දුටුවා ද?

මේ බාලක, බාලිකා පාසල් ක්‍රමය ගැලපෙන්නේ ඉස්ලාම් අන්තවාදී ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, ඉරානය වැනි පසුගාමී රටවලට ය. ලංකාව දැන්වත් මේ යටත් විජිතවාදී වික්ටෝරියානු උරුමයෙන් මිදිය යුතුය. ළමයින් ස්ත්‍රී පුරුෂ  වශයෙන් වෙන් කර එකිනෙකාගෙන් ඈත් කර තබන මෙම පසුගාමී ක්‍රමය වෙනුවට ස්වාභාවික පරිසරයක නිදහසේ ඉගෙන ගන්නට අවස්ථාව ලබා දීම සමාජමය වශයෙන් ඉතා ප්‍රගතිශීලී පියවරකි.

මේ සමග ම මේ කරුණත් කිව යුතු ය. අපේ රටේ ප්‍රභූ තන්ත්‍රය බිහි වුණේ මෙකී ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන් කරන ලද පාසල්වලින් වීම ද අපේ අවධානයට යොමු විය යුතු ය. අඩ සියවසකට වැඩි කලක් රට කෑ මොවුන්ගේ තිබෙන වලත්ත, මජර ගති පැවතුම්වල පසුබිමේ කුඩා කාලයේ ලද මෙම ක්ෂතිමය අත්දැකීම තිබෙන්නට පුළුවන. උන් දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් බවට පත් වී මේ රටට කෙළවන්නේ ඒ නිසා වන්නට පුළුවන.

දැන් ඉතින් පාසල් ගෝත්‍රවාදය අල්ලාගෙන උඩ පැන පැන ගමේ මහා විද්‍යාලවලින් ආ අපට නො බැන මා කියන කාරණය දෙස අවධානය යොමු කරන්න. 1948 සිට මේ රට පාලනය කළේ මේ පාසල්වල ආදි සිසුන් වන අතර ඔවුන් විසින් රට ගෙන ගොස් තිබෙන අගාධය විමසා බලන්න.

No comments:

Post a Comment