Monday 30 September 2013

මාතර-බෙලිඅත්ත දුම්රිය මගේ එක කිලෝමීටරයකින් ඇ.ඩො. මිලියන 7.7ක්‌ රජයේ ප්‍රබලයෙක්‌ගේ සාක්‌කුවට

මාර්ගයක්‌ ඉදිකිරීමේදී කිලෝමීටරයකට වියදම ඇමරිකන් ඩොලර් මිලියන 03 ක්‌ වුවද මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා එය ඇමරිකන් ඩොලර් මිලියන 10.7 ක්‌ ලෙස රජයේ ප්‍රබලයෙක්‌ චීන සමාගමක්‌ වෙත ලබාදී ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවසීය.


එසේ කරනු ලැබුවේ ඔහු එම දුම්රිය මගෙහි කිලෝමීටරයකින් ඇමරිකන් ඩොලර් මිලියන 7.7 ක්‌ තම සාක්‌කුවට දමා ගැනීමට දැයි තමන් ප්‍රශ්න කරන බවද තිස්‌ස අත්තනායක මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවැසුවේ රාජගිරියේදී 30 දාපැවැති එජාප මාධ්‍ය හමුවේදීය එහිදි වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ එජාප මහලේකම්වරයා
 දේශප්‍රේමී චයිනාකරණය යටතේ මෙරට දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් විශාල ගසා කෑම් සිදු කිරීමට ආණ්‌ඩුව කටයුතු කොට තිබෙනවා. මහින්ද චින්තනයේ 2006-2016 සැලසුමට අනුව දුරගමන් සේවාවන් 15% කින් පහත දැමීමට ක්‍රියා කරන බව සඳහන් කොට තිබෙනවා. එහෙත් 2013 වසර අවසන් වෙමින් පැවැතියත් දුම්රිය ගාස්‌තු සත පහකින්වත් අඩු කිරිමට ආණ්‌ඩුව ක්‍රියාකර නැහැ.

මෙම කාලය තුළ ප්‍රධාන දුම්රිය මාර්ග 4 ක්‌ ඉදි කිරීමට ද ආණ්‌ඩුව සැලසුම් කොට තිබෙනවා. ඕමන්තේ සිට පලාලි දක්‌වාත්, පලාලි සිට කන්කසන්තුරේ දක්‌වාත්, මැදවච්චිය සිට මඩු ප්‍රදේශය දක්‌වාත් සහ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයත් එලෙස ඉදිකිරීම් සිදු කිරීමට ගිවිසුම අත්සන් කර තිබෙනවා.

ඕමන්ත සිට පලාලි දක්‌වා දුම්රිය මාර්ගයේ දිග කිලෝ මීටර් 90 ක්‌ වන අතර, ඒ සඳහා කිලෝමීටරයකට ඇස්‌තමේන්තු කරන ලද මුදල රුපියල් මිලියන 270 ක්‌ හෙවත් ඇමරිකන් ඩොලර් මිලියන 2.5 ක්‌ පමණ වනවා. දෙවන දුම්රිය මාර්ගය වන පලාලි සිට කන්කසන්තුරේ දක්‌වාත් දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර් 57 යි. එහි එක්‌ කිලෝමීටරයක්‌ සඳහා රුපියල් මිලියන 343 ක්‌ හෙවත් ඇමරිකන් ඩොලර් මිලියන 2.6 ක්‌ ඇස්‌තමේන්තු කොට තිබෙනවා. මැදවච්චියේ සිට මඩු දක්‌වා දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර් 43 ක්‌ වන අතර ඒ සඳහා රුපියල් මිලියන 250 ක්‌ හෙවත් ඩොලර් මිලියන 1.89 ක්‌ එක්‌ කිලෝමීටරයක්‌ ඉදිකිරීමට තක්‌සේරු කර තිබෙනවා. මෙම ඇස්‌තමේන්තු එකට එකක්‌ පරස්‌පර වන අතර සිව්වන දුම්රිය මාර්ගය වන මාතර සිට බෙලිඅත්ත දක්‌වා කිලෝමීටර් 27 ක දුම්රිය මාර්ගය ඉදිකිරීමට රුපියල් මිලියන 1412 ක්‌ හෙවත් ඩොලර් මිලියන 10.7 ක අතිවිශාල මුදල් ප්‍රමාණයක්‌ ඇස්‌තමේන්තු කොට තිබෙනවා.

එකම වසරක්‌ තුළ දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා මෙතරම් පරස්‌පරතාවක්‌ ඇති වන්නේ කෙසේ දැයි අපි විමසා සිටිනවා. සම්මතයක්‌ ලෙස කිලෝමීටරයකට ඇමරිකන් ඩොලර් මිලියන 3 ක්‌ වැය වුවත් එය මාතර සිට බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ඩොලර් මිලියන 10.7 ක්‌ දක්‌වා වැඩි වන්නේ කෙසේද? චීන ජාතික යන්ත්‍රොඅපකරණ, ආනයන අපනයන සංස්‌ථාව මෙම දුම්රිය මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව බාර ගෙන තිබෙනවා. එම සමාගමත් සමග මෙරට ආණ්‌ඩුවේ ප්‍රබලයෙක්‌ සිදු කරන ලද සාකච්ඡාවක්‌ අනුව එක්‌ කිලෝමීටරයකට ඩොලර් මිලියන 7.7 ක්‌ වැඩිවී තිබෙන අතර එතරම් මුදලක්‌ රටටකට දරා ගන්න පුළුවන්ද?

මෙම දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා දැනටමත් චීනයේ ආනයන අපනයන බැංකුවෙන් රුපියල් මිලියන 26500 ක මුදලක්‌ ණය ලෙස ලබා ගෙන තිබෙනවා. මාතර සිට බෙලිඅත්ත දක්‌වා කිලෝමීටර් 27 ක්‌ දිග දුම්රිය මාර්ගයෙන් රුපියල් මිලියන 30500 ක්‌ ගියේ කාගේ සාක්‌කුවට දැයි අපි ප්‍රශ්න කරනවා. ආණ්‌ඩුව සංවර්ධනයේත්, දේශප්‍රේමයේත් ලේබල් අලවා ගෙන මහපරිමාණයේ සොරකම් කරනවා

No comments:

Post a Comment