Tuesday 10 September 2013

එජාප ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ ගමන අරඹනවා - කේ. කේ. පියදාස මහතා



මධ්‍යම පළාත් සභා පාලනය යටතේ පැවැති අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සියලු ක්‍ෂේත්‍රවල දැඩි පිරිහීමක්‌ අද වන විට දකින්නට තිබෙනවා. ගොඩනැඟිල්ලක්‌ ඉදිකළොත් එයින් ගසා කනවා. පාරක්‌ හැදුවොත් ඒ ව්‍යාපෘතියෙන් ගසා කනවා. කොමිස්‌වලින් තොර කිසිදු වැඩකටයුත්තක්‌ සිදු වී නැහැ. එවැන්නක්‌ සොයා ගන්නවා නම් එය හරියට නොමළ ගෙදරකින් අබ ඇටයක්‌ සොයනවා වගෙයි.

පළාත් සභා මැතිවරණයට තව ඇත්තේ දින එකොළහකි. එහි අවසන් අදියර තරමක්‌ උණුසුම් ස්‌වභාවයක්‌ ගෙන තිබේ. මැතිවරණය හා මධ්‍යම පළාත නැංවීම සඳහා ඇති වැඩපිළිවෙළ සම්බන්ධව මධ්‍යම පළාත් සභා මැතිවරණයේ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත්ව සිටින කණ්‌ඩායම් නායක සහ මස්‌කෙළිය එජාප සංවිධායක කේ. කේ. පියදාස මහතා සමඟ කුජදා හමුව කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - පළාත් සභා මැතිවරණයට තව ඇත්තේ දින දහයක්‌ වැනි කෙටි කාලයක්‌. දැන් කොහොමද මැතිවරණ ව්‍යාපාරය?

පිළිතුර - වයඹ, මධ්‍යම සහ උතුරේ එක්‌සත් ජාතික පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරය ඉතාම සාර්ථකව සාමකාමීව සිදුවන බව සිහිපත් කළ යුතුයි.

ප්‍රශ්නය - නමුත් ආණ්‌ඩුව කියන්නේ සන්ධානය වටා ජනතාව ඒකරාශි වන බවයි.

පිළිතුර - සන්ධානය වටා ජනතාව ඒකරාශි වීමට කිසිම හේතුවක්‌ නැහැ. සන්ධානය සහ එ.ජා.ප.ය ඉදිරිපත් කර තිබෙන අපේක්‍ෂකයන් අහසට පොළව වගෙයි. අපි ඉතා පිරිසිදු, දක්‍ෂ, චෝදනා නැති ජන හදවත් දිනාගත හැකි කණ්‌ඩායමක්‌ ඉදිරිපත් කර තිබෙනවා. නමුත් සන්ධානයේ කණ්‌ඩායම් දෙස බලන විට එහෙම නැහැ. දැන් වසර ගණනාවක්‌ ආණ්‌ඩුවත්, පළාත් සභාවත් පාලනය කළේ සන්ධානයයි. සන්ධානයේ පාලනය තුළ දූෂණය, හොරකම, වංචාව, මැරකම, බාල අපචාර, ස්‌ත්‍රී දූෂණ ඉහ වහා ගොස්‌ විශාල අපකීර්තියකට රට තල්ලු කර තිබෙනවා. එවැනි පාලනයක්‌ තවදුරටත් තබාගැනීමට ජනතාව ඉදිරිපත් වන්නේ නැහැ. අද තිබෙන සැබෑ තත්ත්වය මෙයයි. අපි සමඟ ජනතාව එක්‌වන්නේ යහපාලනයක අපේක්‍ෂාව ඇතිවයි. ඒ අපේක්‍ෂාවන් ඉටුකරදීම අපේ අරමුණයි.

ප්‍රශ්නය - ඔබ ඔය කියන යහපාලනය කොහොමද ඇතිකරන්නේ?

පිළිතුර - රටක යහපාලනයකට අවශ්‍ය මූලික අංග ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් හඳුන්වා දී තිබෙනවා. එදා අපි 17 වැනි සංශෝධනය යටතේ ස්‌වාධීන කොමිෂන් සභා ස්‌ථාපිත කළේ යහපාලනයක්‌ ඇති කිරීම සඳහායි. නමුත් අද ඒ සියල්ල අක්‍රීය කර රට විනාශකාරී මාවතකට තල්ලු කර තිබෙනවා. මේ විනාශයෙන් රට මුදාගැනීම දේශපාලනඥයන් වන අප හැමගේම යුතුකමක්‌ හා වගකීමක්‌ වෙනවා. ඒ නිසා සියලු පාර්ශවයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ පක්‍ෂ භේදයෙන් තොරව රටේ හා ජාතියේ වගකීම ඉටුකිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය වටා එක්‌වන ලෙසයි.

ප්‍රශ්නය - මධ්‍යම පළාත් සභාව වසර කිහිපයක්‌ පාලනය කළේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයයි. එහි විපක්‍ෂ නායකවරයා ලෙස කටයුතු කළ ඔබට ඒ පාලනය ගැන මොනවද හිතෙන්නේ.

පිළිතුර - මධ්‍යම පළාත් සභාව මගින් ජනතා අපේක්‍ෂාවන් ඉටුකර දීමට හෝ පළාත සංවර්ධනය කිරීමට කටයුතු කළේ නැහැ. හුදෙක්‌ම දූෂණයට, වංචාවට, හොරකමට මුල්තැන දී ක්‍රියා කර ඇති බව පැහැදිලියි. මධ්‍යම පළාත් සභා පාලනය යටතේ පැවැති අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සියලු ක්‍ෂේත්‍රවල දැඩි පිරිහීමක්‌ අද වන විට දකින්නට තිබෙනවා. ගොඩනැඟිල්ලක්‌ ඉදිකළොත් එයින් ගසා කනවා. පාරක්‌ හැදුවොත් ඒ ව්‍යාපෘතියෙන් ගසා කනවා. කොමිස්‌වලින් තොර කිසිදු වැඩකටයුත්තක්‌ සිදු වී නැහැ. එවැන්නක්‌ සොයා ගන්නවා නම් එය හරියට නොමළ ගෙදරකින් අබ ඇටයක්‌ සොයනවා වගෙයි.

කොමිස්‌ ගැසීමේ අරමුණින් සිදු කළ සංවර්ධන ව්‍යාපෘතිවලින් ජනතාවට ප්‍රයෝජනයක්‌ ලැබෙන්නේ නැහැ. අද මේ පළාතේ ග්‍රාමීය ප්‍රදේශවලට පා ගමනින්වත් යන්න බැහැ. කොමිස්‌ මත ඉදිකළ සියලු පාරවල් අබලන් වී තිබෙනවා. සෞඛ්‍ය සේවය කොතරම් පිරිහී ගොස්‌ තිබෙනවාද කියා පැහැදිලි වන්නේ රජයේ රෝහලකට ගොඩවුණායින් පසුවයි. අද මේ පළාතේ රජයේ රෝහල්වලින් රෝගීන්ට නොමිලේ ලැබෙන්නේ බේත් තුණ්‌ඩුව පමණයි.

අධ්‍යාපන ක්‍ෂේත්‍රය මුළුමනින්ම දේශපාලනීකරණයට නතුවෙලා. ඇතැම් අධ්‍යාපන කාර්යාල දේශපාලනඥයන්ගේ කාර්යාල බවට පත්කරගෙන තිබෙනවා. මේ විනාශය අප නතර නොකළොත් රට භාරගන්න සිටින දරු පරපුර දේශපාලනඥයන් වන අපට සාප කරාවි.

ප්‍රශ්නය - ඔබ ඔය කියන ආකාරයට විනාශ වී ගොස්‌ තිබෙන මධ්‍යම පළාත් සභාව නැවත නඟාසිටුවීම සඳහා ඔබ සතු වැඩපිළිවෙළ කුමක්‌ද?

පිළිතුර - මධ්‍යම පළාත සම්පත් ආකරයකින් පිරි පළාතක්‌ බව කිවයුතුයි. මේ පළාත නඟාසිටුවීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන සැලසුමක්‌ අප සතුව තිබෙනවා. පළාතේ තිබෙන සම්පත් මොනවාද? ඒවායෙන් ආදායම් ඉපදවිය හැක්‌කේ කෙසේද? ඒ ආදායම් පළාතේ සංවර්ධනය සඳහා යොදවන්නේ කෙසේද කියා විධිමත් අධ්‍යයනයක්‌ තුළින් අප හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා වන සැලසුම අප සතුව තිබෙනවා. කෘෂිකර්මාන්තය ජීවන උපාය කරගෙන ජීවත්වන බහුතරයක්‌ මේ පළාතේ සිටියත් ඔවුන්ට කලට වෙලාවට බීජ, පොහොර ටිකවත් ලැබෙන්නේ නැහැ. නිෂ්පාදනවලට නිසි මිලක්‌ නැහැ. මේ නිසා හැමදාම ඒ ජනතාවට දැඩි අගහිඟකම් මධ්‍යයේ කාලය ගතකිරීමට සිදුව තිබෙනවා. නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ දියඇළි ගණනාවක්‌ තිබෙනවා. එමෙන්ම තේ, එළවළු ආදී බෝග වගාවන් තිබුණත් එයින් පළාතට හෝ රටට නිසි ප්‍රයෝජනයක්‌ ගැනීමට වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතුයි. මේ පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි.

ප්‍රශ්නය - මේ සියල්ල සාර්ථකව කිරීමට පළාත් සභා බලය ප්‍රමාණවත් නැහැ. මධ්‍යම රජයේ ද බලය තිබිය යුතුයි නේද?

පිළිතුර - පළාත් සභා බලය තුළින් විශාල වැඩ කොටසක්‌ කළ හැකියි. සන්ධානය වැඩක්‌ නොකළ නිසා අද පළාත් සභා සුදු අලියෙක්‌ බවට පත්ව තිබෙනවා. බලය ලබාගෙන වසරක්‌ ඇතුළත අපි වැඩක්‌ කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න සූදානම් බව ජනතාවට සිහිපත් කර දීමට කැමැතියි. මධ්‍යම ජයග්‍රහණයත් සමඟ 2014 එජාප ආණ්‌ඩුවක්‌ පිsහිටුවීමේ ගමන අපි අරඹනවා. නියත වශයෙන්ම ලබන වසරේ ආණ්‌ඩු බලය ද අපි ලබාගන්නා බව ස්‌ථිරයි. ඒ ගැන කිසිදු සැකයක්‌ නැහැ.

No comments:

Post a Comment