Monday 30 September 2013

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණ කරයි.

 ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු චීනයට පවරා දීමේ දේශද්‍රෝහී සැලැස්මක් ගැන එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා අද(30) හෙළිදරව් කෙළේය. රාජගිරියේ වතු කම්කරු ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ කීය.

"මහජන බැංකුවත්, ලංකා බැංකුවත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් ප්‍රාග්ධනකරණයේ මුවාවෙන් පෞද්ගලීකරණ කිරීමේ කටයුත්තක නිරත වන බව අප මීට පෙරත් පෙන්වා දුන්නා. ආණ්ඩුව තවමත් එය ප්‍රතික්ෂ්ප කර නැහැ. කිසිදු බැංකුවක් පෞද්ගලීකරණය කිරීමට අදහසක් නොමැති බව ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවකදී ප්‍රකාශ කොට තිබුණත් මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට කටයුතු කරන බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කොට තිඛෙනවා.

ඒත් සමගම අද ලංකා බැංකුව දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වෙලා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ආණ්ඩුව විසින් ගැනීමට සූදානම් වන ඩොලර් මිලියන දහසක ණය මුදල වැනි ණයක් ලබා ගැනීම එම බැංකු ඉතිහාසයේ කෙදිනකවත් සිදු වී නැහැ. 9.5% ක ඉහළ පොලියකට රුපියල් කෝටි 13,500 ක් ලෙස ලබා ගැනීමට නියමිතයි. මේ ක්‍රියාදායමයන් හරහා අද රාජ්‍ය බැංකු ඉතාමත් අවදානමකට ලක් වෙලා.

එම අවදානම නිසා මහජන බැංකුව මූල්‍ය සම්පාදනය කර ගැනීමේ අරමුණින් මහජන බැංකුව සතු කොටස් කොටස් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් වනවා. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයාත්, තවත් නියෝජිත පිරිසකුත් පසුගිය සැප්තැම්බර් 11 සිට 13 දක්වා චීනයේ සංචාරයක නිරත වුණා. මහ බැංකුව, මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව එම දූත පිරිස නියෝජනය කළා.

එම සංචාරයේදී චීන මහජන බැංකුවේත්, කර්මාන්ත හා වානිජ බැංකුවේත්, චීන සංවර්ධන බැංකුවේත් නිලධාරීන් පිරිසක් සමග ශ්‍රී ලංකා නියෝජිත පිරිස සාකච්ඡා කොට තිඛෙනවා. අපේ රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා උදව් කරන ලෙස චීන බැංකුවලින් ඉල්ලා සිටියා. එහිදී චීනයට කළ හැකි උදව්ව වන්නේ චීනයේ බැංකු හරහා ශ්‍රී ලංකා බැංකුවලට මුදල් යෙදවීමයි. එසේ මුදල් ආයෝජනය කිරීමෙන් අපේ රටේ රාජ්‍ය බැංකුවල අයිතිය චීනයේ බැංකුවලට හිමි වන බව පැහැදිලියි. මෙරට රාජ්‍ය බැංකු ශක්තිමත් කරන මුවාවෙන් ආණ්ඩුව සූදානම් වන්නේ රාජ්‍ය බැංකු චීන සමාගම් සහ බැංකුවලට පැවරීමටයි. ආණ්ඩුව මෙලෙස කොළේ වසා කරන සෙල්ලම ජනතාව දැනගත යුතුයි" තිස්ස අත්තනායක මහතා පැවසීය.

No comments:

Post a Comment