Wednesday 11 September 2013

IPL ලංකාවට

ipl-sri-lanka-11913හත්වන වරටත් පැවැත්වීමට නියමිත ඉන්දියන් ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය (අයි.පී.එල්.) ලබන වසරේ ශ්‍රී ලංකාවේදී හෝ බංග්ලාදේශයේදී පැවැත්වීමට ඉන්දියන් ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේදී හෝ බංග්ලාදේශය තුළදී නැත්නම් මෙම රටවල් දෙකම ලබන අයි.පී.එල්. තරගාවලියේ සත්කාරකත්වය සඳහා යොදවා ගැනීමට මෙසේ ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමුකිරීමට හේතු වී ඇත්තේ එම කාලය තුළ ඉන්දීය ලෝක් සභා මහ මැතිවරණයද පැවැත්වීමට ඉඩ ඇති නිසාය. කෙසේ වෙතත් එළඹෙන 7වැනි අයි.පී.එල්. තරගාවලියට අදාළ තරග කිහිපයක් හෝ ඉන්දියාවේදී පැවැත්වීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අදහස වී ඇති අතර, මේ පිළිබඳ අවසන් තීරණය ඉන්දීය ලෝක් සභා මහ මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ගන්නා බව ක්‍රිකට් බලධාරීන්ගේ අදහසයි.

වත්මන් ඉන්දීය පාර්ලිමේන්තු කාලය ලබන 2014 මැයි මාසයෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව මහ මැතිවරණය පවත්වන දිනය තවමත් ප්‍රකාශයට පත්වී නැතත්, අයි.පී.එල්. සංවිධායකයන් මෙසේ කල් ඇතිව සූදානම් වන්නේ 2009 වසරේ පැවැති 2වැනි අයි.පී.එල්. තරගාවලියද ඉන්දීය ලෝක් සභා ඡන්දය හේතුවෙන් අවසන් මොහොතේ දකුණු අප්‍රිකාවට ගෙනයෑමට ඉන්දීය බලධාරීන්ට සිදුවීමය. එබැවින් ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ඉන්දීය මැතිවරණය ඉදිරියට නොගතහොත් 2009 වසරේදී මෙන් ක්‍ෂණික විසඳුමකට යෑමට වඩා එම අත්දැකීම් උපයෝගී කරගෙන මෙම තීරණය ගැනීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් උනන්දු වී ඇත.

එබැවින් ලබන අප්‍රේල් හා මැයි මාසවලදී පැවැත්වීමට නියමිත අයි.පී.එල්. තරගාවලිය හා එරට මහ මැතිවරණයේ කාලසටහන අතර ගැටුමක් වැළැක්වීමට පමණක් නොව ඒ මඟින් ඇතිවන ආරක්‍ෂක තත්ත්වයද තරගාවලියට හානිකර බැවින් මෙසේ තරග සත්කාරකත්වය පිළිබඳ ප්‍රශ්නය මතුවී ඇත. එසේම ගමනාගමනය හා වියදම් අංශයෙන්ද බැලූ විටද ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන රටවල් පහසු ස්ථාන බව අදහස වී ඇතැයි පැවසේ.

අයි.පී.එල්. තරඟාවලියේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් රාමන්ට අනුව මේ පිළිබඳ සැලසුම් ඉදිරියේ සකස් කිරීමට නියමිතව ඇති අතර, කෙසේ වෙතත් තරගාවලිය ඉන්දියාවෙන් පිට තවත් රටක පැවැත්වීමට ඉඩකඩ වැඩිය. එහෙත් 2009 වසරේදී මෙන්ම මේ පිළිබඳව දකුණු අප්‍රිකාව සමඟ සාකච්ඡා කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ කැමැත්තක් නැති බව වාර්තා වන අතර, ඊට හේතුව දකුණු අප්‍රිකාවේ නව ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී හරූන් ලෝගාට් මහතා හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පවතින අමනාපය බවද පැවැසේ.

(mawbima)

No comments:

Post a Comment