Thursday 26 September 2013

කුරුණෑගල දිස්ත්‍රික්කයේ විනාඩියකට ඡන්ද 8 ක් දැමූ ක්‍රමය.......!මහින්ද දේශප්‍රිය මහත්තයෝ.., බොරු එපා. මේ ගැන ජනතාවට පිළිතුරු දෙනු..!

 
පසුගියදා පැවැති රූපවාහිනී සංවාදයකදී "ඡන්දය ගැන නැතත් මනාප කොල්ලයක් වෙන්න පුළුවන්" යැයි ආණ්ඩුවේ එරික් වීරවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

"මනාප මංකොල්ලයක් වෙන්න පුළුවන්නම්. ඒ මෙසේ උඩම, ඔය නිලධාරීන් ඉස්සරහම ඡන්ද මංකොල්ලයකුත් වෙන්න පුළුවන්නේ" යයි සංවාදයට සහභාගී වූ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කීවේය.

මේ  ඡන්ද කෙරුවාවේ  හොරයක් තිඛෙන බව දැන් සියයට දහසක් ස්ථීරය. එම හොරය කවුරුන් නොදනිතත් මැතිවරණ කොමසාරිස්වරයා වන මහින්ද දේශප්‍රිය දන්නේය. එය තහවුරු වන්නේ ඔහු පුත්තලමෙන් ඡන්ද පත්‍රිකා මතුවීම සැඟවීමට දරණ උත්සාහයත්, ඡන්දය අවසන් වූ සැනින් භාවිතා කළ ඡන්ද ප්‍රමාණය නොකියා සැඟවීමට යාමත් නිසා ය.

පසුගිය ඡන්දයේදී භාවිත ඡන්ද ප්‍රමාණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව ගැන බැලුවිට කීවාට වඩා ඉහල ගණනක් තිබීම ලංකා ඊ නිව්ස් ද මැතිවරණ නිරීක‍ෂකයන්ද ප්‍රශ්න කළ අතර ඊට ස්ථීරසාර විසඳුමක් නොදී මැතිවරණ කොමසාරිස් වරයා පැන ගියේය. මෙවර ඔහු කෙළේ ඡන්දය 4 ට අවසන් වූ පසු ඡන්දය භාවිතා කළ ප්‍රමාණය නිල වශයෙන් ප්‍රකාශ නොකර එය ඡන්දය ගණින තුරුම සඟවා සිටීමය. ඡන්ද පත්‍රිකා කොපමණක් නිකුත් කළේදැයි යන්න සවස 4 ට ඡන්දය අවසාන වීමෙන් පසු 4.30 වන විට ස්ථීරවම නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ හැකියාව දෙපාර්තමේන්තුව සතුය.

දැන් අප හෙළි කරන්න යන්නේ මැතිවරණ කොමසාරිස් වරයා 21 දා පැවැත්වූ ඡන්දයේ එක් හොරකමකි.

මෙහිදී අප සැලකිල්ලට ගන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය පමණි.

ඡන්දය දා දහවල් 12 වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කර තිබුනේ 27% කි. මේ බව දිස්ත්‍රික් මැතිවරණ නිලධාරියා විසින් තහවුරු කරන ලද අතර එය දෙරණ ප්‍රවෘත්ති විකාශයෙන් ද කීවේය. සවස 3.00 වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ 30% ක් ඡන්දය භාවිතා කර ඇතැයි හිරු සහ නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකා මගින් පැවසූහ. ඒ පැවසුවේද දිස්ත්‍රික් මැතිවරණ නිලධාරියා විසින් තහවුරු කරන ලද ප්‍රකාශයයි. ඉන්පසු සවස 4 ට ඡන්දය අවසන් වී කොපමණක් ඡන්දය භාවිතා කළේදැයි කිසිවෙක් නිල ප්‍රකාශයක් කෙළේ නැත. එක් එක් මාධ්‍ය එක් එක් ගණන් කීවෝ ය. ඡන්දය ගැනීමෙන් පසුව දිස්ත්‍රික් ප්‍රතිඵලයත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ 66.74% ක් ඡන්දය භාවිතා කර ඇතැයි නිල වශයෙන් පැවසීය.

දැන් ප්‍රශ්නය පැන නගින්නේ මෙතැන් සිටය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 12,27,810 කි. ඒ පිරිසට ඡන්දය දැමීම සඳහා ඡන්ද පොලවල් 964 ක් පැවතිණ. ඒ ඡන්ද පොලවල් වෙත සවස 3 වන විට පැමිණ සිටියේ 30% කි. එය නිල ප්‍රකාශයකි. එනම් 3,68,343 කි. සවස 4 වන විට ඡන්දය භාවිතා කළ මුළු පිරිස 8,19,394 ක් හෙවත් 66.74% ක් ව ඡන්දය අවසන් වූවායයි ඡන්දය ගැනීමෙන් පසුව කීවේය.

එසේ නම් සවස 3-4 පැයක් තුල මිනිසුන් 4,51,051 ක් ඡන්ද පොලවල් 964 ක් වෙත පැමිණ තිබේ. ඒ අනුව එක් ඡන්ද පොලකට ඒ පැයේදී අවම වශයෙන් 468 දෙනෙකු පැමිණිය යුතුය. එනම් එක් විනාඩියකට 8 දෙනෙක් ඡන්දය දැමිය යුතුය. තත්පර 7 කින් එක් අයෙක් ඡන්දය දමා අහවර කළ යුතුය. මෙය අවම ගණන බව අමතක නොකරන්න.

ඡන්දය දීමට පැමිණි පසු ඡන්ද කාඩ් එක සහ හැඳුනුම් පත බලා, නම අ~ගසා, ඡන්ද පොල පක්ෂ නියෝජිතයන් විසින් හඳුනාගැනීමෙන් පසු ඇඟිල්ලේ පාට ගා, ඡන්ද පත්‍රිකාව ලබා දීමෙන් පසු, රහස් කුටියට ගොස් කතිරය ගසා, ඡන්ද පෙට්ටියට කොළය නවා දමා එළියට පැමිණීමට විනාඩියකට 8 දෙනෙකුට පුළුවන්ද? චාලි චැප්ලින්ගේ චිත්‍රපට වල මෙන් මිනිසුන් ෆාස්ට් ෆෝවර්ඩ් වැඩ කරන්නේ නැත.

විනාඩියකට 8 දෙනෙක් ඡන්දය දමා මෙම ප්‍රාතිහාර්ය පෑවේ කෙසේදැයි මැතිවරණ කොමසාරිස් වරයා පැහැදිලි කළ යුතුය.

විනාඩියකට 8 දෙනා බැගින් පැයක් තුල කුරුණෑගල ඡන්දය දැමූ අපූරු ක්‍රමය කුමක්දැයි මැතිවරණ නිරීක්ෂකයන් සොයා බලා ජනතාවට පැහැදිලි කළයුතුය

දේශපාලන පක්ෂද තම ඡන්ද දායකයන් විනාඩියකට 8 දෙනෙක් බැගින් ඡන්දය දැමූ ත්‍රාසජනක ක්‍රමය කුමක්දැයි සොයා බැලිය යුතුය.

මැතිවරණ කොමසාරිස් වරයා විසින් විනාඩියකට 8 ක් ඡන්දය දැමූ ක්‍රමය සොයා ගත් විට පුත්තලමේ ඇන්ඩෘෘ විදුහලෙන් ඡන්ද පත්‍රිකා මතුවීමේ ගැටළුවට පිළිතුර නිකම්ම ලැඛෙනවා ඇත.

No comments:

Post a Comment