Tuesday 10 September 2013

දකුණු ආසියාවේ විශාලතම හෙරෝයින් තොගය මෙරටට..............?

ශ්‍රී ලංකාව ලෝකයේ සුවිශේෂි රටක් බවට වාර්තා රැසක් තබා තිබේ. නිර්මල බුදු දහම ඉතිරිව ඇති රටක් ලෙස, සංග‍්‍රහශීලි ජාතියක්  හැටියට ශ්‍රී ලංකාව තබා ඇති වාර්තාව තවත් විටෙක ලොව දක්‍ෂතම ක‍්‍රිකට් කණ්ඩායම හිමි රට ලෙසද, ආසියාවේ දක්‍ෂතම මලල කී‍්‍රඩිකාවගේ නිජබිම ලෙසද ඉතිහාස ගතවී තිබේ.
මේ අතරේ 30 වසරක් පුරා වාර්ගික අර්බුදයක් පැවැති රටක් ලෙසද, ආසියාවේ වැඩිම සිය දිවි නසාගන්නන් සිටින රට ලෙසද, මත්පැන් වැඩිම ප‍්‍රමාණයක් පරිභෝජනය කරන රට ලෙස ද ශ්‍රී ලංකාව ඉකුත් සමයේ ඉතිහාස පොතට එක්ව තිබේ.

kudui

මේ වාර්තා අතරට අලූතින්ම වාර්තාවක් එක් වූයේ ඉකුත් 30 දයා. ඒ දකුණු ආසියාවේ විශාලතම හෙරෝයින් තොගය මෙරටට ආනයනයකොට තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීමය.
ග‍්‍රීස් ටින් ආනයනය කරන මුවාවෙන් ග‍්‍රීස් ටින් තුළ බහා ගෙන්වන ලද කුඩු ප‍්‍රමාණය කිලෝග්රෑම් 262කට මඳක් වැඩිය. ‘බ‍්‍රවුනිස් ෂුගර්’ නමින් මත්ලෝලීන් විසින් හඳුන්වනු ලබන මෙම හෙරොයින් වර්ගය හෙරොයින් වෙළෙඳපොළේ  දෙවැනි පෙළ මිල ගණන්වලට අලෙවි වෙයි.
ඒ අනුව එම කන්ටේනරය තුළ තිබූ කුඩුවල වටිනාකම රුපියල් කෝටි දෙදහස ඉක්මවයි. සැබැවින්ම කුඩු මිලට වටිනාකමක් නැත. මන්ද එය පාරිභෝගික භාණ්ඩයක් නොවන බැවිනි. එහෙත් නිත්‍යානුකූලව අලෙවි නොවන පාතාලයේ මිල නියමවන මෙම කුඩු ප‍්‍රමාණය මෙරට මත් ලෝලීන් නොඑසේ නම් කුඞ්ඩෝ මිලදී ගන්නේ නම් ඔවුන් ගෙවිය යුතු මිල කෝටි දෙදහසකි.
මේ කුඩු බාහලූ ටින් විසි දහසකට ආසන්න ප‍්‍රමාණය සහිත කන්ටේනරය තිබුණේ ඔරුගොඩවත්ත රේගු අංගනයේය. එය මාස දෙකකට මඳක් වැඩි කාලයක් එහි තිබිණි. මාළිගාවත්ත මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ  නමින් එවා තිබූ එම කන්ටේනරය මුදා ගැනීම පමා වූ හේතු කිහිපයකි. ග‍්‍රීස් මෙරටට ආනයනය කිරීමට ඛණිජ තෙල් සංස්ථාවේ අවසරය අවශ්‍යයයි. මේ සඳහා එකී අවසරය ලබා නොතිබිණි.
එම බලපත‍්‍ර ලබානොදී පමා කෙරෙන ග‍්‍රීස් කන්ටේනරය පිළිබඳව රේගුවේ ආදායම් අධීක්‍ෂණ බලකාය (Revenue Task Force) නොහොත් ආර්.ටී.එෆ් සැකකළේය. ඔවුහු මෙම කන්ටේනරයට රැඳවුම් නියෝග දුන්හ. එම නියෝගය අනුව භාණ්ඩ රඳවනු ලබන්නේ පරිගණකය මගිනි. මෙසේ තම භාණ්ඩ රඳවා ඇතැයි හිමිකරු දැනගත්තේ රේගුව වෙත ලියකියවිලි නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදීය.
මේ අතර බස්නාහිර පළාත් බුද්ධි විමර්ශන ඒකකයට ලද තොරතුරක් එහි අධ්‍යක්‍ෂවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙතට දන්වා තිබිණි. ඒ මෙම කන්ටේනරය නැව්ගත කිරීමටත් පෙරදීය. ඒ අනුව පුද්ගලයකු අත්අඩංගුවට ද පත්විය. ඔහුගෙන් හෙළි කර ගන්නා ලද තොරතුර වූයේ කුඩු අතිවිශාල ප‍්‍රමාණයක් මෙරටට එන බවකි. එහෙත් ඒ මෙම කන්ටේනරය බව ඔහු පැහැදිලිව දැන සිටියේ නැත.
කෙසේ වෙතත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දැල කුඩු පැමිණෙතැයි සැක කළ හැකි මාර්ග ඔස්සේ එලනු ලැබිණි. අවසානයේ රේගු අංගණයේ පවතින මෙම කන්ටේනරය පිළිබඳ සැකයක් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඇති විය. එය මුදා හරිනතෙක් ඔවුන්ගේ ඇස් ඒ දෙසට එල්ල වී තිබිණි.
ඒ වනවිට ශ්‍රී ලංකා රේගුවේ අවධානයද මේ වෙත යොමු වී තිබිණි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය බලා සිටියේද එය එළියට එනතුරුය. එම කාර්යාංශය පොලිස්පතිවරයා හරහා රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ලිපියක් යවමින් මෙම බහළුම විවෘත කරන ලෙස ඉල්ලීමක් කළේ මේ අතරවාරයේදීය.ඒ අනුව කන්ටේනරය විවෘත කිරීමට අවසර ලැබිණි. රේගුව, රේගු අධීක්‍ෂණ බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු අදාළ ආයතන කන්ටේනරය විවෘත කිරීමට තීරණයකොට තිබියදී කන්ටේනරය ලැබීමට නියමිත කමිල් නමැත්තා රේගුව වෙත පැමිණියේ රේගුවට ගෙවිය යුතු රුපියල් 590000 ද රැගෙනය. කන්ටේනරය රඳවා ගැනීමේ නියෝග මත ඇතැයි කමිල් දැනගත්තේ එහිදී රේගු ගාස්තුද ගෙවීමෙන් අනතුරුවයි.
කන්ටේනරය විවෘත කෙරිණි. මෙරටදී හමුවූ විශාලතම කුඩු තොගය ද සමග ජාත්‍යන්තර ජාවාරමක කරුණු ද හෙළි වෙමින් පවතින්නේ ඒ සමගමය.
කරච්චියේ ෂා ඉන්ඩස්ටී‍්‍රස් වෙතින් ඉකුත් ජුනි 17 වැනිදා නැව්ගත කරනු ලැබූ අඩි 40 දිගැති එකී කන්ටේනරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්ලාස්ටික් හා නානකාමර කට්ටල ද විය. අදාළ කන්ටේනරය භාරගැනීමට ශ්‍රී ලංකාවට පකිස්ථානුවෙකුද පැමිණ සිටියේය. ජමීල් නමැති එම පකිස්ථානුවා මේ වන විට අත්අඩංගුවේය. ඔහු සතුව කන්ටේනරය පිළිබඳ සියලූ ලියකියවිලිද විය.
කන්ටේනරය එවා තිබුණේ කමිල් නමැති ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකුගේ නමටය. ඔහු මහව පදිංචිකරුවෙකි. මාළිගාවත්තේද ඔහු වෙසෙයි. එහෙත් මේ වන විට පරීක්‍ෂණ පවත්වන කණ්ඩායම් හෙළිකරගෙන ඇත්තේ කමිල් මෙවැනි කන්ටේනරයක් මෙරටට ගෙන්වීමට තරම් ආදායම් ඇත්තකු නොවන බවය. රේගු ගාස්තු ගෙවීමට කමිල්ගේ ගිණුමට රුපියල් 5,90,000 තැන්පත් කර ඇත්තේ කරච්චියේ සිට පැමිණ දැනට අත්අඩංගුවේ පසුවන ජමීල්ය.
එපමණක් නොවේ. කන්ටේනරය ලබා ගැනීමට සමාගමක්ද මාළිගාවත්තේ තිබේ. මාළිගාවත්ත දුම්රිය නිවාසවල ලිපිනයකින් සමාගම් මැදුරේ ලියාපදිංචිකොට ඇති මෙම සමාගම කුඩු කන්ටේනරය ලබා ගැනීම සඳහාය. එහෙත් කන්ටේනරය මෙරටට ළගා වීමෙන් පසු මේ සාමගම ලියාපදිංචිකොට තිබේ. ඉකුත් ජුනි 17 වැනිදා කරච්චියෙන් ‘‘නොදර්න් පවර්’’ නැවෙන් නැව්ගත කෙරුණු කන්ටේනරය මෙරටට ළඟාවුණ් ජුනි 22 දාය. නව සමාගම ලියාපදිංචි කර ඇත්තේ ජුලි 3 දාය. කන්ටේනරය නිරුපද්‍රිතව මෙරටට ළඟා වන්නේදැයි බලා සිට සමාගම ලියාපදිංචි කළ බව එයින්පෙනේ.
එමෙන්ම කරච්චියේ ෂා ඉන්ඩස්ටි‍්‍රස් මගින් අදාළ කන්ටේනරය නැව් ගතකොට ඇත්තේ නැව් ගාස්තු නොගෙවා දින 60ක් තුළ ගෙවන පොරොන්දුව මතය. දින 60ක් තුළ මේ කුඩු මුදල් බවට පත් කරගෙන මුදල් ගෙවීම ජාවාරම්කරුවන්ගේ අදහස වන්නට ඇත.
පකිස්තානු ජාතික ජමීල් මේ ජාවාරම්කරු යැයි කෙනකු සිතනු ඇත. එහෙත් සත්‍යය එය නොවේ. ලොව සසල කළ හැකි පාතාල සංවිධාන මෙවැනි ජාවාරම් පසු පස ඇත. දැනට සැක කෙරෙන්නේ පකිස්ථානයේ ඩාවුඞ් ඊබ‍්‍රහිම් සංවිධානය මෙහි මහ මොළකරු වන බවය.
ඩාවුඞ් ඊබ‍්‍රහිම් යනු පකිස්ථානු සම්භවයක් ඇති ඉන්දියානුවෙකි. මිනී මැරුම්, මංකොල්ලවලින් ඇරැඹි ඔහුගේ පාතාල ජීවිතය අද ලොව පුරා කෙරෙන පාතාල ගනුදෙනු දක්වා වර්ධනය වී තිබේ.
ලෝකයේ රටවල් බොහොමයක සබඳතා තිබූ එල්.ටී.ටී.ඊ ය ජාලගතව කළ කුඩු ජාවාරමම පමණක් දෙවැනි වනසේ ඔවුහු අද කුඩු ජාචාරම් කරති. එල්.ටී.ටී.ඊ යේ හිදැස පුරවන ඩාවුඞ් ඊබ‍්‍රහිම් සංවිධානය අල් කයිඩා සංවිධානය සමඟ පවා සබඳතා පවත්වන බව කියැවේ.
ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් ලෙස සැලකෙන පකිස්ථානය ඔවුන් බොහෝ විට සිය ජාවාරම්වලට කේන්ද්‍ර කර ගනී. එහෙත් යුරෝපීය රටවල් පකිස්ථානය වැනි රටවලින් ආනයනය කෙරෙන භාණ්ඩ දෙස විමසිල්ලෙන් බලන බව මෙන්ම සැක කරන බව ද ජාවාරම්කරුවෝ දනිති.
ඒ නිසාම කළබලවලින් තොර සාමකාමී රටවල් හරහා ඔවුන්ගේ ජාවාරම්වල බඩු යැවීමට විවිධ ක‍්‍රම අනුගමනය කරන්නට කටයුතු යොදති. මේ කුඩු තොගයද එවැනි ජාවාරමක් සඳහා එව්වේද යන සැකය ඔස්සේද පරීක්‍ෂණ මෙහෙයවති.
මහව කමිල් නමට කුඩු එව්වේ මහව දී තේකොළ හෝ වෙනත් එවැනි ආනයනික භාණ්ඩ අසුරනයන්හි අසුරා ආනයනය කෙරෙන භාණ්ඩ අතරේ යුරෝපයට යැවීමට දැයි සැකයක් පවතී.
ඒවා තවමත් සැකයක් පමණි. තහවුරු කළ හැකි සාක්ෂි නැත. කෙසේ වෙතත් ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන ඇතැයි යන්න බැහැර කළ නොහැකි මතයකි.
මෙවැනි කන්ටේනර් මීටපෙර කොළඹ වරායට පැමිණියේ නැතැයි කිසිවකුටත් කිව නොහැක. එමෙන්ම මෙකී ජාවාරම්කරුවන්ට ප‍්‍රබලයන්ගෙන්, විශේෂයෙන් දේශපාලඥයින්ගෙන් සහය ලැබෙන බවද අමතක කළ නොහැකි කරුණකි. එසේ සබඳතා නැතිනම් මෙසේ නිභයව කුඩු කන්ටේනරයක්ම රට තුළට ගෙන එන්නට ජාවාරම්කරුවන් පසුබාන බව අමුතුවෙන් කිව යුතු නැත.
මීට මාස කීපයකට ඉහත කොළඹ වරායට ළගාවී, සුරාබදු නිලධාරීන් අත් අඩංගුවට ගත් ඊතයිල් ඇල්කොහොල් තොගය 2010 වසරේ මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් විසින් ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු කිලෝ 100කට ආසන්න ප‍්‍රමාණය මෙහි ආවේ ඉහළ රැකවරණ නැතිව නොවේ.
අද මේ මොහොතේත් තවත් විවිධ ක‍්‍රම වලින් කුඩු පමණක් නොව තවත් නීතිවිරෝධී බොහෝ දේ රට තුළට එනු ඇත. 2010 වසරේ දී කොළඹ 2 රාමනායක මාවත ආසන්නයේදී වත්තකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කුඩු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත්තේය.
පකිස්ථානයේ සිට අධිවේගී තැපෑලෙන් තුවා හයක් පාර්සලයක් කොළඹ 2, රාමනායක මාවතේ පදිංචිකරුවකු නමට එවා තිබිණි. රුපියල් හයදහසක පමණ වෙළෙඳපොළ වටිනාකමින් තිබූ එකී තුවා හය එවීමට පමණක් රුපියල් 13000කට අධික තැපැල් ගාස්තු අයකොට තිබිණි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ අවධානය යොමුවුනේ ඒ කෙරෙහිය.
සැබැවින්ම එම තුවා එවා තිබුණේ කුඩු දිය කළ දියරයක ඔබා වියළා සකස්කරය එම කුඩු යළි තුවා වලින් වෙන් කර ගැනීමේ කලාව දන්නා පකිස්ථානුවාද  පැමිණ සිටි නමුත් තුවා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු පැන ගියේය.
මෙරටට ගෙන්වා වරායේම කුණු වෙන්නට දී විනාශ කිරීම සඳහා ගෙන යන අල කන්ටේනර් හෝ එවැනි තවත් බොහෝ දෑ හෙට ජාවාරම්කරුවන්ගේ  ගොදුරු විය හැකිය.
ගුවන් තැපෑලෙන් මෑතකදී මෙරටට එවා රේගුවෙන් නිදහස් කරගෙන යද්දී පොලිසිය විසින් මධ්‍යම තැපැල් හුවමාරුවේදීම අත්අඩංගුවට ගන්නා ලද දුරකථන තොගය මෙහිදී අමතක කළ යුතු නැත. අධිවේගී ගුවන් තැපෑල මෙවැනි ජාවාරම්කරුවන් විසින් අත්හදා නොබලනු ඇතැයි කෙසේ නම් සිතන්නද?
මෙරට වසරකට කුඩු කිලෝග්?ම් 2500ක් පමණ පරිහරණය වෙයි. දිනකට කුඩු කිලෝවක් පමණ විකුණන පුද්ගලයෝ සිටිති. එවැන්නෙක් වසරකදී කුඩු කිලෝ 300 ඉක්මවා විකුණති. එසේ නම් මේ ගෙන්වා ඇති කුඩු කන්ටේනරය එක කුඩු බෙදා හරින්නකුම වසරකදී විකුණා අවසන් කළ හැකි ප‍්‍රමාණයක් පමණකි. පරීක්‍ෂණ කණ්ඩායම්වල අවධානය ඒ කෙරෙහිද යොමුව තිබේ.
කුඩු කන්ටේනරය වෙනුවෙන් අත්අඩංගුවට ගෙන සිටින තිදෙනා ඊයේ (7) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මෙම පරීක්‍ෂණ ඔස්සේ, මෙතෙක් හෙළි නොවුණු බරපතල කථා රැසක් ජාවාරම්කරුවන්ගේ මෙන්ම ඔවුන්ට සහය දුන් ප‍්‍රබලයින්ගේද නම් ගම් සහිතව හෙළි වනු ඇත.

No comments:

Post a Comment