Monday, 2 September 2013

නිදහස් ස්වර්ණ ජයන්තියේදී වත් තමා හැදූ සෙංකෝලය නොදුටු නිර්මාණකරුවා
එස්.පී.චාර්ල්ස්

පාරම්පරික සිංහල කලා හා මෝස්තර පිළිබඳ මෙරට සිටි ඉහළම විද්වතා එස්.පී. චාර්ල්ස් යැයි අවිවාදිතය. ඔහු ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පියකු, පාරම්පරික බිතුසිතුවම් පිටපත් කළ සංරක්ෂකයකු ලෙස හඳුන්වා දෙත හැකිය.

පාර්ලිමේන්තුවේ සෙංකෝලයේ සැලසුම්කරු වූ ඔහු දැනට භාවිත මෙරට ජාතික කොඩියේ නිර්මාතෘවරයා ද වූයේය.

1919 ඔක්තෝබර් මස 6 වැනිදා වැලිගම උපන් එස්.(සිමෙන්නෙරු) පී. (පතිරණගේ) චාර්ල්ස් මූලික අධ්‍යාපනය ලැබුවේ වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයෙනි. චිත‍්‍ර ශිල්පය කෙරෙහි මොහුගේ අවධානය මුල්වරට යොමුවී ඇත්තේ වැලිගම අග‍්‍රබෝධි විහාරයේ බිතුසිතුවම් දැකීමෙන් බව පැවැසේ.

වෘත්තියෙන් ගුරුවරයකු වූ චාර්ල්ස් 1944 දී චිත‍්‍ර කලාව ඉගැන්වීම පිළිබඳ ගුරු සහතිකයක් ද ලබාගෙන තිබිණි. ඔහු චිත‍්‍ර කලාව පිළිබඳ පුහුණුවක් ලද්දේ කොක්මාදූවේ ඒ. නානායක්කාර වෙතින් බව සඳහන් ය.

1944 දී කාර්මික විද්‍යාලයට බැඳුණු චාර්ල්ස් ඉතා ඉක්මනින්ම එහි දක්ෂතම සිසුවා බවට පත්වූයේය. එය මැනවින් ප‍්‍රත්‍යක්ෂ වන්නේ 1945 හා 1946 යන දෙවර්ෂයෙහි ම චිත‍්‍ර ශිල්පය උදෙසා පිරිනැමෙන ශිෂ්‍යත්වය ද ඔහු දිනාගැනීමෙනි.

එසේම 1947 දී ඔහුට කාර්මික විද්‍යාලයේම බාහිර කථිකාචාර්ය ධූරයක් ලැබිණි.

ඒ වනවිට කාර්මික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදුවූයේ ඉංගිරිසි භාෂා මාධ්‍යයෙනි. එය සිංහල භාෂාවෙන් සිදුකිරීමේ ගෞරවය මුළුමනින්ම එස්.පී.චාර්ල්ස්ට හිමිවිය යුතුය.

1947 දී සිංහල ගුරුවරුන් සඳහා විශේෂ චිත‍්‍ර කලා පංතියක් චාර්ල්ස්ගේ මෙහෙයවීම මත ආරම්භ වූයේය. ඔහු එකල මෙසේ සඳහන් කර ඇත. “මහත්තයෝ මෙහි සිංහලකමට තැනක් නැත. සිංහලයකුට තැනක් නැත.

ඔක්කොම ඉංගි‍්‍රසියෙන් ඕනෑ හැටියටයි. අප සිංහල ගුරුවරුන් වශයෙන් එකතු වෙන්න ඕනෑ.

තව තවත් දන්න දන්න අය එක්කරගෙන එන්න” (එම්.එල්.ඒ.තිමොතියස් සකස් කළ කලා සූරී ඇස්.පී.චාර්ල්ස්) නම් වූ පොත් පිංච – පිටුව 2)

මෙහිදී කාලිංග ඔබේවංශ දක්වා ඇති අදහස කෙරෙහි ද අපේ සැලකිල්ල හිමි විය යුතු ය.

එවක කාර්මික විද්‍යාලයේ ඉගැන්වීම කරන ලද්දේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් බවත් නිදහස් අධ්‍යාපන වරම් ලැබීමෙන් පසු සිංහල ජ්‍යෙෂ්ඨ විභාගයෙන් සමත් වී කිසිවක් කරකියාගත නොහැකිවී සිටි ළමයින් බඳවාගෙන පෙරේරා මහතාගේ (ජේ.ඩී.ඒ.පෙරේරා) උපදෙස් පිට චිත‍්‍ර පංතියක් ආරම්භ කොට සිංහල භාෂාවෙන් ඉගැන්වීම පටන්ගන්නා ලද්දේ චාර්ල්ස් බව ඔහු කියා ඇත. (චිත‍්‍ර කලා ගුරු එස්.පී.චාර්ල්ස් දිනමිණ 1990 ජූනි 2)

දැනට භාවිතා වන ජාතික කොඩිය ද චාර්ල්ස් ගේ නිර්මාණයකි. ඔහු එය සැලසුම් කළේ 1950 දීය. රාජ්‍ය ලාංජනය මෙන්ම බුද්ධ ජයන්ති කොඩිය ද චාර්ල්ස් ගේ තවත් අගනා නිර්මාණ දෙකකි.

1949 දී (ජනවාරි 11) පාර්ලිමේන්තුවට ගෙන ආ කතානායකවරයාගේ් බලතල මූර්තිමත් කෙරෙන්නා වූ සෙංකෝලය සැලසුම් කළේ චාර්ල්ස්ය.

එවක කතානායක වූයේ සර් ෆ‍්‍රැන්සිස් මොලමුරේ ය. එහෙත් එදින චාර්ල්ස්ට සෙංකෝලය ළඟට ගොස් එය දැක ගැනීමට ඉඩ ප‍්‍රස්ථාවක් නොලැබිණි. (චාර්ල්ස් මහත්තයාට තවමත් සෙංකෝලය දැකගන්න ලැබුණේ නැත – ලක්බිම 1999 ජූලි 4 පිටුව 11)

මෙහි වඩාත්ම කනගාටුදායක කාරණය වූයේ 1998 දී පැවැති නිදහස් ස්වර්ණ ජයන්ති උත්සවයට සහභාගිවන්ට චාර්ල්ස්ට ආරාධනාවක් වත් නොලැබීමයි.

අල්ලස් චෝදනා, දූෂණ චෝදනා ලැබූවන් ද සුවපහසු අසුන් අරාගෙන සිටිනු තමාට දැකගන්ට ලැබුණු බවත් එහෙත් එස්.පී.චාර්ල්ස් ගේ රුව එතැන තමා නොදුටු බවත් ප‍්‍රවීණ පුවත්පත් විශේෂාංග ලේඛක මහින්ද ඉලේපෙරුම ලියා තිබිණි. (ඉහත සඳහන් ලිපිය)

චාර්ල්ස්ට සෙංකෝලය දැකගන්ට ලැබුණේ නිදහස් ස්වර්ණ ජයන්ති සමරා තවත් අවුරුදු 6 ක් ගතවූ පසුය. ඒ අවස්ථාව ඔහුට පෑදුණේ කතානායක වි.ජ.මු.ලොකු බණ්ඩාර මහතාගේත් වේත‍්‍රධාරි විජය පල්ලියගුරු මහතාගේත් කාරුණික මැදිහත් වීම මතය.

1950 දී චාර්ල්ස් කාර්මික විද්‍යාලයේ චිත‍්‍රාචාර්ය ධූරයට පත්වූයේය.

1952 දී රජයේ ලලිත කලායතනය (හේවුඩ්) බවට පත්වූයේ කාර්මික විද්‍යාලයේ චිත‍්‍රකලා අංශයයි.

“ටෙක්නිකල් කොලිජියේ ඉගැන්වූවේ ඉංග‍්‍රිසියෙන්. සිංහල මාධ්‍යයෙන් චිත‍්‍ර උගන්වන්න සහ සිංහල මාධ්‍ය චිත‍්‍ර ගුරුවරු බිහිකරන්නයි හේවුඩ් ආයතනය පටන්ගත්තේ” යනුවෙන් චාර්ල්ස් පවසා ඇත. (රිවිර 2006 සැප්තැම්බර් 3 පිටුව 19) ඔහු එහි ‘චිත‍්‍ර ශිල්පය’ පිළිබඳ කථිකාචාර්ය ධූරයට පත්වූයේය.

චාර්ල්ස් විශ‍්‍රාම ගියේ 1974 දීය. ඒ වනවිට රජයේ ලලිත කලායතනය කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය බවට පත්ව තිබිණි. ඔහු විශ‍්‍රාම යනවිට එහි පාරම්පරික සිංහල කලා හා මෝස්තර පිළිබඳ අධ්‍යයන අංශ ප‍්‍රධානයාව සිටියේය.

1963 දී රජයේ ලලිත කලායතනයේ අධ්‍යක්ෂ බවට පත් ආචාර්ය ගාමිණී විජයවර්ධන කලායතනයේ කටයුතු සමකාලීන හා පාරම්පරික යනාදී වශයෙන් අංශ දෙකකට බෙදූ බවත් සමකාලීන අංශයේ ප‍්‍රධානයා ලෙස ප‍්‍රවීණ චිත‍්‍රශිල්පී ස්ටැන්ලි අභයසිංහ ද පාරම්පරික අංශයේ ප‍්‍රධානයා ලෙස චාර්ල්ස් ද පත්කළ බවත් කිව යුතුය.

මාවනැල්ලේ අයගම සිංගාර ගුරුන්නාන්සේ වැනි පාරම්පරික සිත්තරුන් මෙහි බාහිර කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගැනුණේ චාර්ල්ස්ගේ මැදිහත්වීම මතය.

මංජු ශ‍්‍රී ගත් මඟ ඔස්සේ යමින් මෙරට පාරම්පරික විහාර බිතුසිතුවම් පිටපත් කිරීමෙන් හා ඒවා සංරක්ෂණය කිරීමෙන් චාර්ල්ස්ගෙන් ඉටුවූ සේවය උත්කෘෂ්ඨය.

ඔහු කලක් යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ති‍්‍රකෝණ මහනුවර ව්‍යාපෘතියේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා වශයෙන් ද කටයුතු කළේය. ඒ යටතේ ඔහු අවුරුදු ගණනාවක් තිස්සේ මහනුවර ගංගාරාමයේ බිතුසිතුවම් තුන්සිය ගණනක් පිටපත් කර ඇත.

ඒ හැරුණුකොට වැලිගම සුදර්ශනාරාමය, බෙලිගල පුරාණ විහාරය, සපුගස්කන්ද පුරාණ විහාරය, වැලිගම තෙල්වත්ත පුරාණ විහාරය, දික්වැල්ලේ බතීගම විහාරය, මාතර වේරගම්පිට පුරාණ විහාරය, ගලේවෙල බුදුගේහින්න ශ‍්‍රී නාග විහාරය, බලපිටිය සුභද්‍රාරාමය, බඹරගල රජමහා විහාරය, අම්බලන්ගොඩ සුභද්‍රාරාමය, උඩුවේ පුරාණ විහාරය, රත්නපුරේ නැදුන් විහාරය, යනාදී වශයෙන් විහාරස්ථාන ගණනාවකම පාරම්පරික බිතුසිතුවම් ඔහු විසින් පිටපත් කරනු ලැබ ඇත.

මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ චිත‍්‍රයත් කැණීම්වලදී සොයාගත් මහියංගණයේ ධාතු ගර්භයේ චිත‍්‍රයත් පිටපත් කළේ ඔහුය.

1979 දී චාර්ල්ස් සංවිධානය කළ පැරැණි බිතු සිතුවම් පිටපත් ප‍්‍රදර්ශනයක් කොළඹ කෞතුකාගාර ප‍්‍රදර්ශනාගාරයේදී පවත්වන ලදී.

චාර්ල්ස් පිටපත් කළ කැලණි විහාරයේ වෙස්සන්තර ජාතකයේ සිතුවමක් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ නිත්‍ය ප‍්‍රදර්ශනයට තබා ඇති බවත් එහි ඇති පෙරදිග චිත‍්‍ර තුනෙන් එකක් වන්නේ එම සිතුවම බවත් සඳහන් වන්නේය.

බිතුසිතුවම් පිටපත් කිරීම සම්බන්ධයෙන් චාර්ල්ස් කලෙක දක්වන්ට යෙදුණු අදහසක් මෙපරිදිය. “1947 ඉඳන් මමත් මගේ ගෝලයනුත් සමඟ එක්වී විශාල බිතුසිතුවම් ප‍්‍රමාණයක් පිටපත් කරගෙන තිබෙනවා.

මේවා ජාතික වස්තූන්. අද විනාශයට පත්ව ඇතත් වසර 100කට වඩා පැරැණි මේ විහාර චිත‍්‍ර අද මා සුරකින්නේ මතු පරපුර වෙනුවෙන්. මගේ කලා ජීවිතයේ එකම අරමුණ මේ නැතිවූ කලා උරුම මතු පරපුරට බලා ගැනීමට, අධ්‍යයනය කිරීමට හා පර්යේෂණ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමයි. (බිතු සිතුවම් විශාරද ‘නවයුගය’ 1980 ඔක්තෝබර් 12 පිටුව 3)

විහාර බිතුසිතුවම් පිටපත් කිරීම ලලිත කලායතනයේ පාඨමාලාවන්ට ඇතුළත් කිරීමට පුළුවන් වූයේ චාර්ල්ස්ගේ උද්යෝගය නිසා බව කාලිංග ඔබේවංශ කියා සිටී. (චිත‍්‍ර කලා ගුරු එස්.පී.චාර්ල්ස් දිනමිණ 1990 ජූනි 2)

1985 දී ද චාර්ල්ස්ගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් මෙරටදී පවත්වා ඇත. 1992 දී යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ති‍්‍රකෝණය වෙනුවෙන් ප‍්‍රංශයේ පැරිස් නුවර දී බිතුසිතුවම් ප‍්‍රදර්ශනයක් ද පවත්වා තිබේ.

චාර්ල්ස් නැටුම් හා වේදිකා නාට්‍ය කලාවේ ද කුසලතා ප‍්‍රකට කළේය. ඔහු පන්තේරු නැටුම් හා උඩරට නැටුම් උගත්තේ ඌරාපොළ බණ්ඩා ගුරුන්නාන්සේගෙනි.

චාර්ල්ස් ලංකා ගාන්ධර්ව සභාවේ ආරම්භ හා මධ්‍ය සහතිකලාභියෙකි. ජේ.ඩී.ඒ.පෙරේරා නිෂ්පාදනය කළ ‘වෙස්සන්තර’ නාටකයේ වේදිකා සැරසිලි චාර්ල්ස්ගෙනි. චාර්ල්ස් නළුවකු ලෙස ද ප‍්‍රතිභාවක් පෑවේය. ඒ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘හස්තිකාන්ත මන්තරේ’ නාට්‍යයේ චණ්ඩපජ්ජෝත රජුගේ චරිතය රඟපෑමෙනි.

එස්.පී.චාර්ල්ස් චිත‍්‍ර කලාව අළලා පොත් ගණනාවක් ලියා ඇති ලේඛකයෙකි. ‘සීගිරි බිතුසිතුවම්’, ‘පාරම්පරික සිංහල බිතුසිතුවම්’, ‘වර්ණ අධ්‍යයනය’, ‘වර්ණ සෞන්දර්යය’, ‘ලංකාවේ පාරම්පරික චිත‍්‍ර ශිල්පි පරපුර’, ‘පොළොන්නරුවේ විහාර බිතු සිතුවම් හා බදාම’ වැනි පොත් ඉන් කීපයකි.

ඒ හැරුණුකොට චිත‍්‍ර කලාව සම්බන්ධයෙන් ඉතා වැදගත් ලිපි රැසක් විවිධ පුවත්පත් - සඟාවලට ද ලියා ඇත. 1985 දී පමණ ඔහු ‘දිනමිණ’ පුවත්පතට ‘චිත‍්‍ර කලාවේ පුරෝගාමියෝ’ යන මැයෙන් ලියූ ලිපි පෙළ ඉන් විශේෂය.

‘බෞද්ධ චිත‍්‍ර කලාවේ සිංහල උරුමය’ (1978 දිනමිණ වෙසක් කලාපය) ‘නුවර යුගයේ බිතු සිතුවම්’ (දිනමිණ 1982) මහනුවර යුගයේ විහාර බිතු සිතුවම් හා පාරම්පරික සිත්තරුන් (බෞද්ධ සංස්කෘතික ලේඛන 1998) ඔහුගේ වටිනා ශාස්තී‍්‍රය ලිපි අතර වෙයි.

චාර්ල්ස් අවසාන කාලයේ කොළඹ ජාතික කෞතුකාගාරයේ පාරම්පරික චිත‍්‍රකලා පංතියක් පවත්වාගෙන ගියේය.

2006 ඔක්තෝබර් මස 16 වැනි දින එස්.පී. චාර්ල්ස් කලාකරුවා අපෙන් සදහටම සමුගත්තේය.

සුනිල් මිහිඳුකුල

No comments:

Post a Comment