Tuesday 1 October 2013

අග්‍රාමාත්‍ය ධුරය ගම්‍පොළට ලැබුණා සේම මහාමාත්‍ය ධුරය ගම්‍පොළට මෙවරත් ලැබෙයි. - එ.ජා.ප

මෙවර මධ්‍යම පළාත් සභාවට ඉදිරිපත් වී වැඩිම මනාප ගත් නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහතාට පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය ලැබිය යුතු යැයි ගම්‍පොළ නගර සභා මාසික රැස්වීමේදී නාගරික මන්ත්‍රී ගො.වි. ජයසේන (එ.ජ.නි.ස.)කළ යෝජනාවට එජාප නාගරික මන්ත්‍රී වරුන්ගේ සහයෝගය හිමිවී තිබේ.

ගම්‍පොළ නගර සභා සභාපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි. මෙම අවස්ථවකට එක් වූ ගො.වි.ජයසේන මහතා තව දුරටත් සඳහන් කළේ පළාත් සභා ඡන්දය අවසන් වීමෙන් පසු වයඹට හා උතුරටත් වැඩිම මනාප ගත් දෙදෙනා මහ ඇමැති තනතුරු වලටද නම් වී සිටියත් මධ්‍යම පළාතට මේ වනතුරුත් ඒ පිළිබඳව නිශ්චිත අදහසක් නොමැති බවයි.

කෙසේ වුවත් පෙර පැවැති ඡන්ද වල පුර්වාදර්ශය රැගෙන මෙම තනතුරට අනුරාධ ලංකා ජයරත්න මහතා පත් කිරීම එක් අතකින් තරුණ පිරිස රටේ අනාගතය සඳහා සුදානම් කිරීමක් බවද හේ පෙන්වා දුන්නේය.

මෙහිදි මෙවර මධ්‍යම පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ගම්‍පොළ නාගරික මන්ත්‍රී සමන්ත අරුණ කුමාර මහතාද අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ අනුරාධ ලංකා ජයරත්න මහතාට මහාමාත්‍යධුරය ලැබෙන්නේ නම් එයින් ගම්‍පොළ ජනතාවට යහපතක් සිදුවන්නේ යැයි තමා සිතන බවය.

කෙසේ වෙතත් මෙවර මැතිවරණය සමස්තයක් ලෙස ගත් කළ ඉතා සාධාරණ මැතිවරණයක් වුවත් මහනුවර මහා දිසාපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව දැඩි අප්‍රසාදය පළකරන බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ දිනයේදී දිසාපතිවරයා තෝරාගත් අපේක්ෂකයන් පිරිසකට වැඩි සැලකිල්ලක් දැක් වූ බවත් සමහර අපේක්ෂකයන්ට කච්ච්ෙරිය තුළට යෑමට ඉඩනුදුන් බවත් පවසන මන්ත්‍රීවරයා මේ තත්ත්වය ඡන්දයේ අවසන් ප්‍රතිඵලයට බලපෑ බවද සඳහන් කළේය. ඒ අනුව මහනුවර මහ දිසාපති ඇතුළු කාර්ය මණ්ඩලය පක්ෂග්‍රාහීව වැඩ කිරීම පිළිබඳව කනගාටුව පළකරන බවද ප්‍රකාශ කළේය. පක්ෂයේ තීරණය මත ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇති බවද සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ ඉරුක වීරරත්න (එ.ජා.ප.) මහතා අග්‍රාමාත්‍ය ධුරය ගම්‍පොළට ලැබුණා සේම පළාත් සභා ක්‍රමය ආරම්භයේදී ප්‍රථම මහාමාත්‍ය ධුරය ගම්‍පොළට ලැබුණාසේ මෙවරත් මහාමාත්‍ය ධුරය ගම්‍පොළට ලැබෙයි කියා සිතන බව පැවැසීය.

No comments:

Post a Comment