Tuesday 8 October 2013

වසර තුනහමාරකට පසු හෙළි වූ හර්ෂගේ මරණය

wasara3දිනය 2010 පෙබරවාරි මස 04 වැනිදා ය. නිදහස් දිනයේ අරුණාලෝකයෙන් දසත එළිය කළ හිරු බටහිර අහසේ කෙමෙන් කෙමෙන් සැඟවිණි. දිවා කාලයේ තම මිතුරන් සමඟ රඹුක්කන නගරයේ ගතකළ “හර්ෂ” දළුග්ගල පිහිටි තම නිවෙසට පැමිණියේ ය. තම බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ මොහොතක් ගත කළ ඔහු යළි තමාගේ ලොරියට ගොඩවූයේ නිවෙසින් පිටවීම සඳහා ය. ඒ තම දිවිමගේ අවසන් ගමන බව ඔහු දැන නොසිටින්නට ඇත. තමා සමඟ සිටි මිතුරන් නිවෙස්වලට ගියේ දැයි සොයා බලා යළි පැමිණෙන බව ඔහු තම බිරිඳටත් දරුවන්ටත් කීවේ ය. නමුත් ඒ වනවිටත් මාරයා ඔහුව ලුහු බඳීමින් සිටියේ ය.
රාත්‍රී හත - අට ට පමණ නිවෙසින් පිටවූ හර්ෂ රාත්‍රි දහය පසුවනතුරුත් නිවෙසට නොපැමිණියේ ය. ඒ අතරතුර ඔහුගේ නිවෙසට ලැබුණේ කිසිවකු නොසිතූ නොපැතූ අන්දමේ දුරකථන ඇමතුමකි. දුරකථනයට පිළිතුරු දුන්නේ හර්ෂගේ දියණිය යි.
“අම්මේ..., තාත්තගේ ඔළුව තුවාලවෙලා ඉස්පිරිතාලෙට ගෙනාවා කියලා හස්ථිපුර ඇන්ටි කීවා. අපිට ඉක්මනට ඉස්පිරිතාලෙට එන්න කියලත් කීවා” හර්ෂගේ බිරිඳ පද්මිණී තම දියණියත් සමඟින් රඹුක්කන රෝහලට දිව ගියේ ඉන් අනතුරුව ය. එහි දී ඔවුන්ට දැකගත හැකිවූයේ ට්‍රොලියක දමා සිටි හර්ෂගේ හිසට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පිරිසකි. තුවාලලත් හර්ෂ වහාම කෑගල්ල රෝහලට යොමු කරන්නට වෛද්‍යවරු තීරණය කළහ.
රෝහලේ දී හමුවූ ඥාති සොහොයුරකු හර්ෂගේ ලොරිය විමසිලිමත්ව පරීක්ෂා කරන අයුරු පද්මිණී දුටුවා ය. ඇය ද වහා ලොරිය අසලට ගියේ හර්ෂට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමේ අටියෙනි. මැදගොඩැල්ල ප්‍රදේශයේ දී හර්ෂගේ හිසට වෙඩි තබා ඇති බව කවුරුන් හෝ කියනු ඇයට ඇසුණා ය.
ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් ගොස් එමින් සිටි ඥාතියා හර්ෂගේ ලොරිය මාර්ගය අයිනේ නවතා තිබූ අයුරු දුටුවේ ය. රියැදුරු අසුන මත හර්ෂ වාඩිවී සිටි අතර, හිස සුක්කානම මත තිබෙනු දුටු ඔහු පාරේ නිදි මොකදැයි විමසීමට හර්ෂගේ මුහුණ අල්ලද්දී මුහුණ පුරා ලේ තැවරී තිබෙනු දුටු ඔහු තිගැස්සී ගියේ ය. කිහිපවතාවක්ම හර්ෂ අවදිකරන්නට උත්සාහ කළ ද එය නොහැකි වූ තැන රියැදුරු අසුනෙන් හර්ෂ පසෙකට කළ ඔහු හැකි තරම් වේගයෙන් රෝහලට ලොරිය ගෙන ආවේ ය. කවුරුන් හෝ ලොරිය තුළ සිටි හර්ෂට වෙඩි තබා ඇති බව කාටත් වැටහුණේ ඉන් පසුව ය.
කෑගල්ල මහ රෝහලට ගෙන ආ හර්ෂ වහාම මහනුවර මහ රෝහලට මාරුකර යැවිණි. සැත්කමක් සිදුකළ ද හර්ෂගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවූයේ නැත. අවසානයේ බිරියත් දරුවනුත් තනිකර දමා ඊට දින දෙකකට පසු කිසිත් කතා නොකරම හර්ෂ මෙලොවින් සමුගත්තේ ය.
මියයනවිට වයස අවුරුදු හතළිස් දෙකක් වූ හර්ෂ හෙට්ටිආරච්චි ජීවිතය ආරම්භ කළේ පොල් ලී ව්‍යාපාරිකයකු ලෙසිනි. 1994 වර්ෂයේ දී පොදුජන එක්සත් පෙරමුණ රජයක් බිහිකිරීමට කැපවීමෙන් ක්‍රියාකළ ඔහු, එම රජයේ ජයග්‍රහණයත් සමඟම වැලි අලෙවිය හා මාළු අලෙවියට ද එක්වි ය. පසු කාලීනව රඹුක්කන පොළ බදුගන්නා ඔහු රජයේ කොන්ත්‍රාත්කරුවකු බවට ද පත්විය. කෑගල්ල - රඹුක්කන පෞද්ගලික බස් රථයක හිමිකම ද ඔහු ලබාගත්තේ ය. පුජ්‍ය පක්ෂයටත්, රණවිරුවන්ටත්, පාසල් සිසුන්ටත් එම බස් රථයේ නොමිලයේ ගමන් කිරීමේ අවස්ථාව ඔහු ලබා දුන්නේ ය. සෑම වෙසක් පෝය දිනකම රඹුක්කන නගරයේ සිට වට්ටාරම විහාරස්ථානය දක්වා වන්දනාකරුවන් නොමිලයේ ප්‍රවාහනය කිරීමට ද ඔහු කටයුතු කළේ ය.
රඹුක්කන දළුග්ගල සුජාතා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පාසල් ගමන නිමා කළේ ය. එම විද්‍යාලයේ ම ඉගෙනුම ලැබූ පද්මිණී සමඟ පෙමින් බැෙඳන ඔහු රහසේම ඇය විවාහ කර ගත්තේ ය. හර්ෂටත් පද්මිණීටත් දියණියන් තිදෙනකුගේම මාපියන් වන්නට වැඩි කාලයක් ගත නොවිණි. හර්ෂ තම දියණියන්ට බෙහෙවින් ආදරය කළ අතර ව්‍යාපාරික කටයුතුවලට යන එනවිට ඔවුන් ද වාහනයේ එහා මෙහා ගෙනයාමට පුරුදුව සිටියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස වයස අවුරුදු දහ හතරක් පමණ වනවිට ඔහුගේ වැඩිමල් දියණිය හර්ෂගේ ලොරි හා බස් රථ ධාවනයට හුරු තැනැත්තියක් වූවා ය.
සෑම වසරකම ගමේ පිරිස කතරගම වන්දනාවේ රැගෙන යන හර්ෂ ඒ ගමනේ දී සරම් හා චීත්ත රෙදි සියය බැගින් හමුවන යාචකයන්ට බෙදා දුන්නේ ය. මරණයට ගෙනයන ගවයකු දුටුවිට බේරාගැනීමේ පුරුද්දක් ද කලක සිට ඔහුට තිබිණි. ප්‍රදේශයේ පැවැත්වෙන සෑම අවුරුදු උත්සවයකම පාහේ “ලිස්සන ගහ” තරගයේ ජයග්‍රහකයන්ට දෙන තෑගි බාරගත්තේ හර්ෂ ය. මෙවැනි කටයුතුවල යෙදෙමින් ප්‍රදේශයේ දේශපාලනඥයන් සමීපව ඇසුරු කළ ද ඔහු ඡායාරූප සඳහා පෙනී සිටීමට බලවත් සේ අකමැති විය.
රඹුක්කන නගරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවර හෝ රැළියක රතිඤ්ඤා හා මල්වෙඩි සඳහා අනුග්‍රහය ලබා දුන්නේ ඔහු ය. එවැනි රැස්වීමකට මල්වෙඩි හා රතිඤ්ඤා ලොරියක් ඔහු ගෙන එන්නේ බලවත් සතුටිනි. මියයාමට පෙර පැවැති ආසන බල මණ්ඩලයේ රැස්වීමට පැමිණි දහසකට පමණ ඔහු තම වියදමෙන් දිවා ආහාරය ලබා දුන්නේ ය. සැරසිලි හා ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ද අත දිගහැර වියදම් කළේ ය. ඔහුගේ ව්‍යාපාරවලට සම්බන්ධව සිටි පවුල්වල දරු දැරියන්ට ද, වැඩිහිටියන්ට ද ඔහු නිතර පොත්පත් හා ආහාර ද්‍රව්‍ය ලබා දීමට ක්‍රියා කළේ ය.
හර්ෂ කුඩා කාලයේදී ම ඔහුගේ පියා මියගොස් ඇත. දරුවන් සය දෙනකුගෙන් යුත් පවුලේ හතරවැනියා ඔහු ය. ව්‍යාපාරිකයකු ලෙසින් ස්ථාවරවීමත්, දේශපාලනඥයන් ගේ දැන හැඳුනුම්කමත් මත ඔහු වටා දිනෙන් දින තරුණ පිරිස ද ඒකරාශි වූහ. ඒ සමඟම යම් වරදක් දුටු කළ එම වරද කළ පුද්ගලයාට දඬුවම් ලෙසින් පහර දීමට පවා ඔහු පෙළඹුණේ ය. ඔහුගේ බස්රථයේ පූජ්‍ය පක්ෂය, රණවිරුවන් හා පාසල් සිසුන් නොමිලයේ ප්‍රවාහනය කළයුතු බවට ඔහු පනවා තිබූ නියෝග කඩකරමින් පාසල් සිසුන් මහමඟ දමා ගිය රියැදුරුට හා කොන්දොස්තරට ඔහු බැන වැදී පහර දුන්නේ ය. ඔහු බදු ගෙන තිබූ එලවළු පොළේ පොළකාසි නියමිත පරිදි නොගෙවූවකුට පහර දුන්නේ ය. එසේ පහර කෑමට ලක්වූවකුට යළි කෑම බීම රැගෙන දී හොඳීන් කතාබස් කිරීම ද ඔහුගේ පුරුද්දක් විය.
දවසේ කෙතරම් රාජකාරි කටයුතුවල යෙදී සිටිය ද දිනකට දෙවරක්වත් තම නිවෙසට ගොස් බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ කතාබහ කර පැමිණීමට ඔහු අමතක නොකළේ ය. තම දරුවන්ට මෙන් තමාගේ ව්‍යාපාරවලට සම්බන්ධ අයගේ දරු දැරියන්ට ද ඔහුගෙන් තෑගි බෝග ලැබුණු වාර ගණන අපමණ ය. හර්ෂ වෙඩි වැදී මියගිය බව දැනගත්විට දුම්රියට පැන එක් දැරියක දිවිනසා ගත්තේ ද ඒ නිසා බව ප්‍රදේශවාසීහු කියති.
රඹුක්කන නගරයේ පෞද්ගලික පංතියට පැමිණෙන ගැහැනු ළමුන්ට අනවශ්‍ය විහිළු තහළු කරන ත්‍රිරෝද රථ රියැදුරකු ගැන හර්ෂට දැන ගන්නට ලැබිණි. එසේ නොකරන ලෙස ඔහු මෙම රියැදුරාට අවවාද කළේ ය. එහෙත් යළි යළිත් එවැනි හිරිහැර වන බව එම දැරියගේ මව හර්ෂ හමුවේ හඬමින් පැවසුවා ය. එදින හර්ෂ එම රියැදුරාට ද පහර දුන්නේ ය.
සෑම චරිතයක්ම සම්පූර්ණයෙන්ම සුදු හෝ කළු චරිත නොවෙති. මුදල් යහමින් අත ගැවසෙන විට හර්ෂ ද සෙල්ලක්කාර ජීවිතයකට හුරුවී තිබේ. තම බිරියට අමතරව තවත් කාන්තාවක ඇසුරු කිරීමට ද ඔහු පෙළැඹී ඇති අතර, එය ඔහුගේ සතුරන්ට ඔහුගෙන් පළිගැනීමට අවස්ථාව උදා කළේ ය. හර්ෂ විසින් පහරදුන්, ත්‍රිරෝද රථ රියැදුරු හර්ෂගෙන් පළිගැනීමට මාන බැලුවේ ඔය අතර ය.
හර්ෂගේ ඝාතනය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේ ය. සිද්ධිය වූ ස්ථානයට ගිය නිලධාරීන්ට සොයා ගත හැකි වූයේ වැටී තිබූ නයින් එම්. එම්. (උණ්ඩයක්) පමණ ය. ඒ හැරෙන්නට කිසිදු හෝඩුවාවක් පොලිසියට හමුනොවී ය. හර්ෂට වෙඩි තබන්නට ඇත්තේ ඒ අවට ලඳු කැලෑවේ සැඟව සිට බව පොලිසියට ඒත්තු ගියේ ය.
හර්ෂගේ ගමන් බිමන් ගැන දත් අයකු ඔහු ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කළේ ය. වෙඩි තැබීම කවුරුන් විසින් සිදුකළේ ද යන්න පොලිසිය පැති කිහිපයක් ඔස්සේම පරීක්ෂණ කටයුතු ආරම්භ කළේ ය.
මියගිය ව්‍යාපාරිකයා ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල පෙරමුණ ගෙන කටයුතු කළ අයෙක් නිසාත් ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු ළඟින්ම ඇසුරු කළ නිසාත් මෙම වෙඩි තැබීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇතැයි සමහරු කීහ.
ඊට අමතරව ව්‍යාපාර ගණනාවක ද හිමිකරුවකු නිසා මෙය කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බවට ද චෝදනා එල්ල විය. පොලිසිය පැති කිහිපකයක් ඔස්සේ පරීක්ෂණ කළ ද හර්ෂගේ ඝාතකයා කවුද යන්න සොයා ගැනීමට නොහැකි විය.
කාලය මෙසේ වසරින් වසර වසර තුනමහාරක්ම ගෙවී ගියේ ය. කෑගල්ල නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති යටවර මහතාට වසර තුනහමාරකට කලියෙන් මරා දැමූ හර්ෂගේ ඝාතනය සම්බන්ධව හෝඩුවාවක් ලැබෙන්නේ ඔය අතර ය. ඒ බීමත්ව සිටි පුද්ගලයකු වෙරි මතින් කළ ප්‍රකාශයක් නිසා ය. ලැබුණු හෝඩුවාව ඔහු බැහැර නොකළේ ය. වහා මේ බව කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරයාටත් සහකාර පොලිස් අධිකාරිවරයාටත් දැනුම්වත් කළ යටවර මහතා ඔවුන්ගේ උපදෙස් මත හර්ෂගේ ඝාතනයට සම්බන්ධ බව සැකකළ පුද්ගලයා පසුපස පන්නන්නට විය. ඔහු කෑගල්ලේම වෙළෙඳසැලක වැඩකළ බවුසර් රියැදුරෙක් විය. සිවිල් ඇඳුමින් සැරසී පොලිස් නිලධාරීන් ලෙස හඳුනාගත නොහැකි පරිදි සැකකාර රියැදුරා සමඟ කතාබහට පවා වැටුණු යටවර මහතා එකවරම ඔහු කුදලාගත්තේ නැත. මසකට ආසන්න කාලයක් ඔහු පිටුපස පැන්නූ නිලධාරීන් අවසානයේ බවුසර් රියැදුරා අත්අඩංගුවට ගත්තේ ය.
ප්‍රශ්න කිරීම ඇරඹුණේ ඉන්පසුව ය. ඔහුගේ ප්‍රකාශ මත “කිරිසුද්දා” නමැත්තකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය. ඔහු නාරම්බැද්ද ප්‍රදේශයේ බරවාහන රියැදුරකු විය. හර්ෂගේ ගෙදර සිට කිලෝමීටර් පහක පමණ දුරින් ඔහු පදිංචිව සිටියේ ය. ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරද්දී අනුර නමැත්තකු පිළිබඳ කරුණු කාරණා හෙළිවිය. බොහෝ දෙනා ඔහුව හඳුන්වනු ලැබුවේ “අම්මා ගායි” කියමින් ය. ඔහු රඹුක්කන නගරයේ ත්‍රීවිලර් රියැදුරකු විය. ත්‍රීවිලරයේ ඉදිරිපස සඳහන් කර ඇත්තේ ද “අම්මා ගායි” යනුවෙන් ය. තිදෙනාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙතෙක් කල් කාලයාගේ වැලිතලාවෙන් වැළලී තිබූ හර්ෂ ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීමට නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයට හැකි විය.
පොලිස් නිලධාරීන් කියන අන්දමට ‘අම්මා ගායි’ හා හර්ෂ අතර කිසියම් පුද්ගල ආරවුලක් තිබී ඇත. හර්ෂ ඔහුට මරණ තර්ජන එල්ල කර ඇතැයි ද කියයි. ඒ නිසා ඊට කලියෙන් හර්ෂව මරා දැමිය යුතුයැයි තීරණය කළ ‘අම්මා ගායි’ සිය මිතුරකු වූ “කිරි සුද්දාට” මේ බව පවසා ඇත. සුද්දා ද ඊට එකඟව ඇති අතර බවුසර් රියැදුරා මොවුනට එකතු වී ඇත්තේ ඉන් පසුව ය.
“ඔය තුන්දෙනා තමයි හර්ෂට වැඩේ දෙන්න කතා කරගත්තේ. ඒකට එකතු කරගත්තා ආමි එකේ කොල්ලෙකුත්. වැඩේට තුවක්කුවකුත් ඕන නිසා රුපියල් 18,000කට පොරොන්දුවෙලා තුවක්කුවකුයි බෝම්බයකුයි ගෙන්න ගෙන තියෙනවා.”
“ඉන්පස්සේ තමයි මෙයාලා හර්ෂගේ ගමන් බිමන් ගැන හෙව්වේ. හැමදාම හර්ෂ ගෙදර එනකොට අතරමඟ ලොරිය නතර කරලා පුරුද්දක් වශයෙන් කෝල් එකක් ගන්නවා. විනාඩි පහක් දහයක් හර්ෂ වාහනය නතරකරගෙන මෙතැන ඉන්නවා. මෙයාලා මේක දැනගත්තා. එතැනදී වැඩේ කරන්න ඕන කියලා එයාලා තීරණය කළා.”
“එදා මෙයාලා හතර දෙනා රෑ අටට විතර පයින්ම ආවා. ඇවිත් හස්තිපුර හන්දියට පැත්තකින් තියෙන වෙල ඉස්මත්තේ කැලෑවට වෙලා හැංගිලා හිටියා කොයි වෙලාවේ හරි හර්ෂ එනවා කියලා එයාලා දන්නවා.”
“රෑ නවයයි හතළිස් පහට විතර හර්ෂ ලොරියෙන් ආවා. ඇවිත් හන්දියේ නතර කරලා ලොරිය ඇතුළේ ලයිට් එකත් දාගෙන හර්ෂ අර පුරුදු කෝල් එක ගත්තා.”
“හර්ෂට මෙයාලව නොපෙනුණාට ලොරිය ඇතුළේ ලයිට් දාලා තිබුණ නිසා මෙයාලාට හර්ෂව හොඳට පෙනුණා. ආමි එකේ මෑන් ලොරිය ළඟටම ඇවිත් හර්ෂට වෙඩි තිබ්බා. කිරි සුද්දා බෝම්බයකින් ගැහුවා. හර්ෂට කිසිදෙයක් කර ගන්න බැරි වුණා. වන්ෂොට් එකෙන්ම හර්ෂ ඉවරයි. පස්සේ මෙයාලා යන්න ගියා.”
“හර්ෂ” මරා දමන්න ආව හතරදෙනාගෙන් තුන්දෙනෙක්ම අපි දැන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ.
ඒකකයේ නිලධාරියෙක් හර්ෂ ඝාතනය කළ ආකාරය විස්තර කළේ ය.
එහෙත් සිද්ධිය වූ ස්ථානයේ නයින් එම්. එම්. වර්ගයේ පිස්තෝලයක උණ්ඩ තිබුණ ද හර්ෂට වෙඩි තැබුවේ රිපිටර් වර්ගයේ තුවක්කුවකින් බව පොලිසිය කියයි.
“අපි ඒ බව දැනගත්තේ මොවුන්ගෙන් ප්‍රශ්න කරලා. ඔවුන් තුන්දෙනාම කිව්වේ රිපිටර් එකකින් වෙඩි තිබ්බා කියලා. රිපිටර් එකට උණ්ඩ දාන හැටි, පාවිච්චි කරන විදිහ, ලෝඩ් කරන විදිහ, ශබ්දය සේරම එයාලා කිවුවා. ඒ තුවක්කුව තවම තියෙන්නේ හැංගිලා ඉන්න යුද හමුදා සෙබළා ළඟ. එයා අල්ලගත්තට පස්සේ ඉතිරි සේරම දැනගන්න පුළුවන්.”
කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණවල දී හෙළිවී ඇත්තේ ඝාතනය සිදු කරන්නට පෙර ‘අම්මා ගායි’ නමැති සැකකරු ඊට කලින් දිනක දී ද හර්ෂට පහර දීමට තැත්කර ඇති බව ය. දෙන්නා අතර ඇති වූ ආරවුලෙන් කෙනකු ඉක්මන් වීම නිසා හර්ෂට කලින්ම මියදෙන්නට සිදුවිය. මෙතෙක් කල් දේශපාලන පළිගැනීමක් මත ඒ මේ අත වැනෙමින් තිබූ හර්ෂ ගේ ඝාතනය පිළිබඳ අබිරහස හෙළිවූයේ ඊට සම්බන්ධ පුද්ගලයන් අල්ලා ගැනීමෙන් අනතුරුව ය. එකකුට කලියෙන් තවකෙක් ඉක්මන්වීම නිසා මෙම ඝාතනය සිදුවූයේ කිසිවකුත් හීනෙකින්වත් නොසිතූ අයුරින් ය. වැළලී යමින් තිබූ හර්ෂ ඝාතනයේ සුලමුල මෙසේ අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිවූයේ වසර තුනහමාරකට පසුව ය.
කෑගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි පි‍්‍රයලාල් දසනායක, සහකාර පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස් යන මහත්වරුන්ගේ උපදෙස් මත නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අයි.එම්.ආර්.බී. යටවර ප්‍රමුඛ සැරයන්වරුන් වූ දිසානායක (22980), විජේරත්න (27322) හා නිමලසිරි (47166) යන නිලධාරීහු මීට දායක වූහ.

No comments:

Post a Comment