Friday 19 July 2013

ඕස්ට්‍රේලියානු බෞද්ධ ක්‍රීඩක ඈශ්ටන් ?


ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අලුතින්ම තෝරා ගන්නා ලද යොවුන් ක්‍රීඩක ඈශ්ටන් ඒගාර් සිය ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳව ආඩම්බර වන බව ඔහුගේ මව පවසන්නීය.
තමන් ශ්‍රී ලංකාවෙන් පිට වී බොහෝ කලක් වන නමුත් සිය පවුලේ සාමාජිකයන් සියලු දෙනාම
තවමත් ශ්‍රී ලාංකීය චාරිත්‍ර වාරිත්‍ර පිලි පදින බවයි, සෝනියා ඒගාර් බීබීසී යට කියා සිටියේ.
සිය දෙටු පුතා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තේරීමත් සමගම යළිත් වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකි වනු ඇතැයි සෝනියා විශ්වාසය පළ කරන්නීය. (සෝනියා සහ ජෝන් ඒගාර් ග්ලෙන් මැක්ග්‍රාත් සමඟ)
එංගලන්තයේ පැවැත්වෙන අළු බඳුන කුසලානයේ සමාරම්භක තරඟයේදී ටෙස්ට් පිටියේ අලුත් වාර්තා දෙකක් බිහි කරද්දී ඈශ්ටන් ඒගාර් පිරිත් නූලක් බැඳගෙන ඒ තරඟයට සහභාගි වූයේ සිය මුත්තනුවන් ගේ ආභාෂය හේතුවෙන්.

ශ්‍රී ලාංකික මවකට සහ ඕස්ට්‍රේලියානු පියෙකුට දාව උපත ලැබූ ඈශ්ටන් පළමු වරට ටෙස්ට් තරඟයකට සහභාගි වූයේ මෙවර අළු බඳුන තරඟාවලියේදී.

තමාගේ පුතුන් තිදෙනා කතෝලිකයන් වුවත් ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳව ඔවුන් ආඩම්බර වන බව සංදේශයට කියා සිටි සෝනියා ඒගාර්, අළු බඳුන තරඟාවලියට ඈශ්ටන් තෝරා ගනු ලැබීමෙන් අනතුරුව, මෙල්බර්න් නුවර බෞද්ධ විහාරයට ගිය තමා විජිත හිමියන් ගෙන් පිරිත් නූලක් රැගෙන විත් එය ඈශ්ටන්ට දුන් බව ද සඳහන් කළාය.

1974 දී ශ්‍රී ලංකාව හැර ගිය ඔහුගේ මව, සෝනියා හේවාවිස්ස, එදා මෙදා තුර යලි ශ්‍රී ලංකාවට පා තබා නැහැ.
ඩේව් වට්මෝර් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කළ ජෝන්, ඈශ්ටන් ඒගාර් ගේ ක්‍රිකට් දිවියට දිරි දුන් ප්‍රධානම චරිතය බව මව පවසන්නීය
සිවු දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවට පා තබා නැතත්, ශ්‍රී ලංකාවේ ගත කළ බාල විය පිළිබඳව තමන්ට තවමත් සුන්දර මතකයක් තිබෙන බව පවසන සෝනියා, දරුවන් සමඟ තමන් තවමත් සිංහල, දෙමළ අලුත් අවුරුද්ද සමරන බව ද පවසන්නීය.

සිය නිවසේ පැවැත්වෙන සාදයන් හිදී ආප්ප බුදිමින් පවුලේ සියලු දෙනා ප්‍රීතිවන බව පවසන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයාගේ මව, ශ්‍රී ලංකාවේ තරම් මිරිස් රස නැතත් සියලු දෙනාම ලාංකීය කෑම වේල රස විඳින බව ද සඳහන් කරන්නීය.




No comments:

Post a Comment