Monday, 2 September 2013

පාර්ලිමේන්තුව සමතලා කරයි.


රටේ නායකත්වයට පත් වූ පසු බොහෝ අයට මුල අමතක වන රෝගයක් වැලඳෙයි. එය රෝගයක් බව උපදේශකයෝ පහදා දුන්නද පිළිනොගන්නා තරමට "මහන්තත්වය" රජයන්නට පටන් ගන්නේය. තමා හරිය, තමා පමණක්ය, තමන්ගේ දරු පරපුර හෝ ඥාති වර්ගයා පමණක් යැයි යන සිතිවිල්ල පිළිකාවක් මෙන් වර්ධනය වී ඔඩුදුව ගොස් ලොව බොහෝ පාලකයන් විපතට පත්කරවූ පුවත් බොහෝය.
 මෙරට නායකත්වයට පත් බණ්ඩාරනායක මහතා ඒ ගැන වහෙන් ඔරෝවෙන්ද, ඍජුවමද බොහෝ තැන්වල කීවේය. ඔහු පිළිබඳව විවේචන තිබුණද පුද්ගලයකු වශයෙන් ඔහු සිතැඟි වටහාගත්, ජන සමූහයක ප්‍රාර්ථනා කලක් අවදි කළ යුගයක්ද විය. රාජ්‍ය පාලකයාත් රාජ්‍ය සේවකයාත් දෙදෙනකුද, එක් කෙනකුද යන්න පවා බණ්ඩාරනායක දැක්ම අනුව මුල් යුගයේදීම හෙතෙම විග්‍රහ කළේය.
 1931 ජුලි 28දා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ජන නායකයකුගෙන් ජනතාව බලාපොරොත්තු වන දේ ගැන ඔහු සිතැඟි අවදිකොට තිබුණේ මෙසේය.
"1924දී අපි ඒ ගොල්ලන් කවුන්සලේට යැව්වා. අපිට මොනවද කළේ? ඒ ගොල්ලන්ට පඩි නියම කරගත්තා. මේ පාර තවත් පඩි වැඩි කර ගනීවි.
 රටේ සාමාන්‍ය හැඟීම අන්න ඒකයි. අපි මෙහේ පෙනී සිටින්නේ මහජන නියෝජිතයන් වශයෙන් බව මතක තබාගත යුතුයි. අපි මෙහේ සිටින්නේ 75%කට දෙවේලක් නොව එක වේලාවක්වත් හොඳට කන්න නැති කොටසක්ද ඇතුළු මහජනතාව වෙනුවෙන්. ගම්වල මිනිසුන් දස දහස් ගණනින් ඇවිත් මේ ගොඩනැඟිල්ල (අද පාර්ලිමේන්තුව) සමතලා කරන දවසක් එතැයි මට සිතෙනවා. මගේ මිත්‍රයන්ගේ කනට මිහිරක් වූ මුහුදේ හඬ, සිය අසරණ දරුවන් වෙනුවෙන් වැලපෙන කාන්තාවන්ගේ සුසුම් විදියට මට ඇහුණා. මොන තීරණයකට බැස්සත් මට ලැබෙන මුදලින් වැඩි කොටසක් මහජන වැඩට වියදම් වෙනවා. වෙන කිසිවක් නැති නම් චරකය ප්‍රචාරය කිරීමට මම ඒ මුදල් වියදම් කරනවා. මේ සභාවේ කෙරෙන වැඩ ගැන බලාපොරොත්තු තබාගෙන සිටින දස දහස් ගණනකගේ බලාපොරොත්තු සුන් නොකර සිටිමු."
1956 ඔහු මහජන එක්සත් පෙරමුණ හරහා කුමන උපක්‍රම භාවිත කොට වුවද ඡන්ද පදනමක් සකසාගෙන බලයට පත්වූ පසුත් ජනප්‍රිය සටන් පාඨ බැහැර කරමින් සිතට එකඟව කතා කළ අවස්ථාද තිබුණේය. රාජ්‍ය සේවයේ එවකට පැවැති දූෂිත බවත්, විශේෂයෙන් ගැමි ජනතාව රාජ්‍ය සේවකයන් වෙතට යද්දී අත්විඳි අනේක විධ දුක්ඛ දෝමනස්සයන් හකුළුවා දක්වමින් ඔහු කතා කොට තිබුණේය.
බණ්ඩාරනායක මහතා ඝාතනය වන්නට වසරකට පෙර 1958 සැප්තැම්බර් 14දා ශ්‍රී ලංකා තැපැල් ස්ථානාධිපති සංගම් රැස්වීමේදී මෙසේ කියා තිබුණේය.
"නිදහස් සමාජයක ආණ්ඩුවේ සේවකයකුගේ තත්ත්වය මොකක්ද? මගේ කල්පනාවේ හැටියට ආණ්ඩුවේ සේවකයකුගෙන් යුතුකම් තුනක් බලාපොරොත්තු වෙනවා. ඉන් පළමුවැන්න නම් මහජනයා වෙත පක්ෂපාතී වීමයි. අප කවුරුත් මහජන සේවකයෝ. අන්තිමට අගමැති වූ මමත් අද මේ තත්ත්වය උසුලන්නේ තමන්ගේ නිදහස් ඡන්ද බලයෙන් අප බලයට පත්කළ මෙරට ජනතාව නිසයි. ඔබට වැටුප් ලැබෙන්නෙත් මේ රටේ ජනතාවගේ ආදායමෙන්. ඒ නිසා මගේ වගේම ඔබේද යුතුකම වෙන්න ඕනෑ... මේ රටේ ජනයාට සේවය කිරීමයි."
 ඔහු එසේ කීවේ ඇයිද යන්නට හේතුද එම කතාව තුළම ගැබ්ව ඇතැයි දැනෙයි. බණ්ඩාරනායක මහතා ගැඹුරින් කතා නොකළාට ඔහු සිතූවක් සරලව කියන්නට උත්සාහ කළේය.


No comments:

Post a Comment