Friday 15 November 2013

ලාල් කාන්ත ජේ.වී.පි අවසන් කරයිද?

ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති අංශයේ නායක කේ.ඩී. ලාල්කාන්තට අනුරාධපුරයේ සිට කොළඹට මාරුවීමක් ලබා දෙමින් බස්නාහිර පළාත් මැතිවරණ සටනේ කණ්ඩායම් නායකයා බවට පත්කොට ඇත.

පළාත් සභා පිළිබද ආඩාපාලි ටොන් ගණනින් ඇද බාන ජ.වි.පෙ.ය ධනේෂ්වර පක්ෂවලටත් වඩා ඉදිරියට පනිමින් තවමත් විසුරුවා නොමැති පළාත් සභාවක් වෙනුවෙන් මහ ඇමැති අපේක්ෂකයින් පත් කිරීමටත් කණ්ඩායම් නායකත්වයක් පත් කිරීමටත් උත්සුක වීම කවර නම් වාම නැඹුරුවක්ද යන්න අපැහැදිලිය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් හැම තැනම තොල් මතුරන පරිදි සියල්ලට කලින් වැඩ තේරීමට තම පක්ෂය දක්ෂය යන්න මේ අවස්ථාවේද ඔවුන්ට කීමට හැකි කවියකි.  කෙසේ නමුත් කොළඹට ලාල් ගෙන්වීම යන්න මහා විප්ලවයක පෙර නිමිති යැයි කිසිවෙකු හෝ කල්පනා කරන්නේ නම් ඒ තරම් මෝඩකමක් තවත් නොවන්නේය යන්න ලියා තැබිය යුතුමය. ඒ ධනේෂ්වර ක්‍රමයේ කැහි සොටු එහා මෙහා කිරීම තුළින් උපදින විප්ලවයක් හෝ එකී විප්ලවයට මග හසරක් නොවන්නා බැවිනි.
ජනතා විමුක්ති පෙරමුණට නැවත වතාවක් වැරදී ඇති බව නම් ඉදුරාම කිව යුතුය. ඔවුන් සිතනවා වන්නට ඇත්තේ කම්කරු නායකයෙකු පත් කිරීම තුළින්  වෘත්තීය සමිතිවල ඡන්දය ලබාගත හැකිය යන්න නම් ජ.වි.පෙ වෘත්තීය සමිති ගනන හා ඒවායෙහි සාමාජිකයින් ගණන ගණන් කළ යුතුය. එවැනි ගණන් බැලීම් වලින්  නම් ජ.වි.පෙට වෘත්තීය සමිති 336  ක් ඇති බව පසුගියදා අනාවරණය කළේය.  මේ සම්බන්ධයෙන් පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා පවසා සිටියේ බස්නාහිර ට ලාල් කාන්ත දැමීම විසින් වෘත්තිය සමිතිවල ඡන්ද ද පක්ෂයට හිමිකර ගැනීමට හැකියාව ඇති බවයි. එහෙත්  ලේකම් තුමා කල්පනා නොකළ එක් දෙයක් ඇත. වෘත්තිය සමිති 336 කොළඹ කේන්ද්‍ර කරගෙන ගොඩනැගී ඇතැයි උපකල්පනය කළත් එහි සාමාජිකයන් කොපමණ ප්‍රමාණයක් බස්නාහිර පළාතේ හෝ කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද හිමියන්ද යන්න පිළිබදවය.
හුදෙක් ඡන්ද පදනම්වල හෝ මහා පෙරලි සිදුකිරීමට යැයි පවසා ඒ නායකයා මෙතනටත් මේ නායකයා එතනටත් දැමීමේ කලාවක් සෝමවංස අමරසිංහ පවසන අලුත් වන පක්ෂයකට කොතරම් උචිතද යන්න ගැටලුවකි. තරුණයන්ට තැන දෙනවා නම් එන්න එන්න තරුණ වන පක්ෂයක් යැයි කියා ගන්නවා නම් එසේත් නැතිනම් ධනේෂ්වර හුදු පක්ෂවලින් තොර වූ ප්‍රතිපත්තිමය  රාමුවක පිහිටන්නේ නම්  දේශපාලනිකව නාකි වූ හම්පඩයන් ඉත්තන් ලෙස මාරු නොකර තරුණ නායකයෙකුට තැන දිය යුතුව තිබිණි.
එහෙත් අල්ලාප සල්ලාපයේදී පමණක් සෝමවංසලාගේ අලුත්වන කතා භාවිතාවට නැගීමේදී අපහසු වන්නේ එතන ඇත්තේ බල කේන්ද්‍ර ගත කුලල් කෑමක් විනා අන් යමක් නොවන බැවිනි.  ලාල්ම පවසන පරිදි ඔහුට අරහෙන්ද කතා කරයි. මෙහෙන්ද කතා කරයි ආණ්ඩුවෙන් නිතර නිතර කතා කරයි. යන්නය. මෙවන් පසුබිමක් තුළ  ලාල්ව පරිස්සම් කිරීමට ජ.වි.පෙ බොක්කේ තබාගෙන තිබෙන දෙය හෝ දෙන්නට වීම සෝමවංසලාගේ අවුලක් නිසා නොව ජනතා විමුක්ති පෙරමුණ වැටී ඇති මජර ආස්ථානයන්ගේ පව්කාර කමය.
ඉතිහාසය විසින් පාඩම් උගෙන ගොඩනැගීමක් අපේක්ෂා කරන ශුද්‍ර ජීවියෙකු හෝ ජ.වි.පෙ තුළ සිටීනම් මෙතෙක් සිදුකළ ප්‍රතිසංස්කණ වූ කලී ජ.වි.පෙ වමෙන් අතුගා දැමීමට සිදුකළ ඒවා බවත් එකී මඩ ගොඩේ යළි යළිත් පෙරළි පෙරලී රමණයේ යෙදීම නැවැත්විය යුතු බවත් උගත යුතුමය. ඒ සදහා වන පාඩම් මෑත කාලීන සාමාජිකයින් කැඩී යාම් හා ඈත කාලයේ සාමාජිකයන් බිදී යාම්ද නිදසුන් වශයෙන් ගත යුතුමය.
එබැවින් හුදෙක් ලාල් කොළඹට ගෙනා පමණින්  බස්නාහිරින් එකදු මන්ත්‍රී ධුරයක් හෝ පැමිණේද යන්න මුවින් නොකියූවත් ජ.වි.පෙ ඉහල නායකයින් ඉදුරාම දන්නා කරුණකි. ඒ සදහා පසුගිය පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල ලේඛනය දිගහැර බැලීම ප්‍රමාණවත්ය. කොළඹ දී ජ.වි.පෙ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 21 787 වූ අතර එහි ප්‍රතිශතය 2.37% විය. ආසන 01 ක් හිමිවිය. ගම්පහදී 21491 ඡන්ද හිමිකර ගත්අතර එහි ප්‍රතිශතය 2.38% විය.  ආසන 01ක් හිමිවිය. කඵතර දී 13106 ඡන්ද හිමි වූ අතර ප්‍රතිශතය 2.60 විය.  ලැබුනු ආසන සංඛ්‍යාව 01 කි. ඒ අනුව බස්නාහිර පළාතටම ලැබුනු ආසන සංඛ්‍යාව 03කි. ඒවාද වැඩිම ශේෂයට (කොටේට) හිමි වූ ඒවා වේ. මේ ප්‍රතිඵලයන් ප්‍රකාශ වන්නේ තෙවන පාර්ශවයක් දේශපාලන පොර පිටියේ නොමැති තත්ත්වයක් තුළය. එහෙත් වයඹදී මෙන්ම මධ්‍යමදී නොසිතූ ප්‍රතිඵලයක් වාර්තා කළ සරත් ෆෝන්සේකාගේ නැගිටීම බස්නාහිර දීත් ජනතාව තෝරා ගැනීම අනිවාර්යය. ඒ සදහා මනෝ මූලික කරුණු ජයග්‍රාහී  වටපිටාවක් තුළින් ගොඩනගා ගැනීම මිනිසුන්ගේ පුරුද්දය.
එබැවින් අතර මැදි ඡන්ද දායකයා එ.ජා.පයට නොදෙන එහෙත් විකල්ප ඡන්දය භාවිතා කරනුයේ සරත් ෆොන්සේකාට වීම අනිවාර්යය.  එබැවින් ජනතා විමුක්ති පෙරමුණ නඩත්තු වූ විකල්ප ඡන්ද ප්‍රමාණය වෙනත් පාරක ගොස් ඇත. මෙවන් පසුබිමකට පාර කැපූවෝ කවුද ? ලාල් කාන්ත පවසන පරිදි ජ.වි.පෙ වැරදි වලට අපිම තමයි වග කියන්න ඕන යන කියමන ලාල් පමණක් නොව සෑම නායකයෙකුම නිතර දෙවේලේ ගායනා කළ යුතුමය. එසේ නොවන්නට සරත් ෆොන්සේකලා ගිනිසිළු අරගෙන පේමන්ට එකේ ඩප්පි දේශපාලනයට ඒම ම , තම තමන් විසින් දේශපාලනිකව නිශ්චය කරගත යුතු බිම් වල් බිහිකර ගත්තේය යන්න පිළිගත යුතුමය.  
අයි. ප්‍රියංගනී 

No comments:

Post a Comment