Monday 7 October 2013

ආණ්ඩුවේ 59ක් එළියට බහින්න සාකච්ඡා කරලා තියෙන්නේ-එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ

ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් 59 දෙනෙකු එළියට බැසීමට සුදානම් බව පවසා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසයි.
ආණ්ඩුවට විරුද්ධ සන්ධානයක් ගොඩනැගීමට ඔවුන් කැමැත්ත පළ කර ඇතැයිද හෙතෙම කොළඹදී අද (06) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැර යාමට ඕනෑම අවස්ථාවක සුදානම් බවත් ඒ සඳහා සුදුස්සෙකු තවමත් නැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයිද එහිදී ඔහු පැවසීය.
මාතරදී ඊයේ ඇති වූ සිද්ධිය ගැන අදහස් දක්වමින් දයා ගමගේ මහතා කියා සිටියේ සාමකාමි පා ගමනකට පොලු මුගුරු ටී 56 අවශ්‍ය නැති බවයි.
තමාට දුරකථන ඇමතුම් දුන් කිහිප දෙනෙකුම මෙවැනි පා ගමනකට ඉඩ ලබාදුන්නේ මන්දැයි විමසා සිටි බවද දයා ගමගේ මහතා කීවේය.
ජනාධිපති උපදේශක මෛත්‍රී ගුණරත්න මහතාගේ පියා එජාප පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාට වෙඩි තබා ඇති බවද හෙතෙම පැවසීය.
මෛත්‍රීගේ පියා ආරක්ෂක ලේකම්වරයාට දුරකථන ඇමතුම් ගත් බවත් එය සාර්ථක නොවූ විට ජනාධිපතිවරයාට ද දුරකථන ඇමතුමක් ගත් බවත් එම ස්ථානයේ සිටි අයෙකු පැවසූ බව ඔහු සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා සමග පෞද්ගලික ආරවුලකට මැදිවී සිටින මාධ්‍ය ආයතනයක් මෙම විරෝධතා ව්‍යාපාරය පිටුපස සිටින බවත් ඒ නිසා ඔවුන් දිගින් දිගටම විපක්ෂනායකවරයා පිළිබඳ ප්‍රචාර ගෙන යන බවත් ඔහු කීවේය.
මංගල සමරවීර මහතා එදා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කටයුතු කළ ද අද ඔහු එදා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වැඩ කරන බවත් ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉටු නොකරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment