Thursday 3 October 2013

ගමගේ - කපුකොටුව - තිස්‌ස අලියා පිටින් බිමට බසිති.පක්‌ෂයේ සිටියත් පදවිවල නැහැ





එක්‌සත් ජාතික පක්‍ෂයේ ඉහළ තනතුරු හොබවන ප්‍රධානීන් රැසක්‌ පක්‌ෂයේම සිටිමින් ඔවුන් හෙබවූ තනතුරුවලින් පමණක්‌ ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත. මේ අනුව ජාතික සංවිධායක දයා ගමගේ, භාණ්‌ඩාගාරික සෙනරත් කපුකොටුව යන මහත්වරුන් මේ වන විටත් සිය ධුරවලින් ඉවත් වන බව පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

මේ අතර එ.ජා.ප. මහලේකම් සහ කුණ්‌ඩසාලේ ආසන සංවිධායක වන තිස්‌ස අත්තනායක මහතා මැතිවරණ පරාජය භාරගනිමින් කුණ්‌ඩසාල එම සංවිධායක ධුරයෙන් පෙරේදා (2 දා) ඉල්ලා අස්‌විය.

එහෙත් ඔහුගේ ඉල්ලා අස්‌වීම පක්‍ෂ නායකත්වය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. කිසිසේත් එම සංවිධායක ධුරය තමන් යළි ලබානොගන්නා බව අත්තනායක මහතා පැවසීය.

පසුගිය පළාත් සභා මැතිවරණයේ පරාජය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙතම පවරනවා වෙනුවට තමන් ද පක්‍ෂයේ මහ ලේකම්වරයා වශයෙන් එම වගකීම භාරගැනීම සඳහා එලෙස ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්‌වූ බවද හෙතෙම කීය.

දයා ගමගේ සහ සෙනරත් කපුකොටුව යන මහත්වරුන් සිය ධුරවලින් ඉල්ලා අස්‌වී ඇත්තේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට ඉඩ සැලසීමට බව එ.ජා.ප. ප්‍රකාශකයෙක්‌ 'දිවයින'ට පැවසීය.

සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර මෙම තනතුරු කඩිනමින් පිරවීම සඳහා පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂය මෙහෙයවීම සඳහා පත් කිරීමට යෝජිත උපදේශක මණ්‌ඩලයට නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් කර නැත.

උපදේශක මණ්‌ඩලයේ කටයුතු කිසිදු බලපෑමකින් තොරව ස්‌වාධීනව සිදුකිරීමට ඉඩ සලසා දීම මෙහි අරමුණ බව එ.ජා.ප. ප්‍රකාශකයා පැවසීය.

පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන යනු ලබන සියලු තීන්දු තීරණ කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම උපදේශක මණ්‌ඩලය මගින් ගැනීමට නියමිතය.

No comments:

Post a Comment