Thursday, 3 October 2013

තවත් කළු කොටියෙක් දෙනියාය දී දඩයම් වෙයි

සිංරාජය වනාන්තරයේ සිටි එකම දුර්ලභ කළු කොටියා පසුගියදා මරා දමා තිබේ. මෙම මලසිරුරත් සමග මෙය ලංකාවෙන් වාර්තාවූ තෙවැනි කළු කොටි මරණයයි.

දිගින් අඩි 7 අඟල් 5ක් වූ එම කළු කොටියා මියගොස් තිබුනේ දඩයක්කරුවකුගේ මන්දකට හසුවීමෙන් අනතුරුවය.

දෙනියාය නගරයට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි තෙත් සදාහරිත වනරොදක තිබියදී හමුවූ කොටි මළසිරුරේ බෙල්ල ප්‍රදේශයේ මස් හා ඉදිරි ගාත්‍රා දෙකද මුඛයේ පිහිටි උල් දත් හතර ද ගලවාගෙන ගොස් තිබුණි.


2009 වසරේ සිංහරාජ අඩවියේ දෙණියාය මාඋල්දෙණිය ප්‍රදේශයේදී මද්දකටහසුව මියගිය දුර්ලභ කලු කොටියා අප රටේ වනජීවී පර්යේෂණ කටයුතු නව මඟකට ගෙන යාමටත්, වනජීවී පර්යේෂණ නව පිබිදීමකට ලක්‌ කිරීමටත් මෙයට වසර කිහිපයකට පෙර හේතුවක්‌ වුණා.

මෙම කළු කොටියා ලෝකයේම අතිශය දුර්ලභ සතෙකු ලෙස හදුන්වන අතර ලංකාවේද දැනට ජීවත් ඉන්නේ ඇඟිලි වලින් ගැනිය හැකි ආකාරයේ සුළු පිරිසකි.

2009 වසරේ කළු කොටියා මිය යාමට ප්‍රථම ද එම ප්‍රදේශයේම තවත් කලුකොටියෙකු මියගොස් තිබු බවට එකල සාක්ෂි ලැබී තිබුණි.

2009 වසරේදී මියගිය කලු කොටියාගේ උල් දත් හතරක් (ගිනි දත්) එම දඩයක්කරුවන් විසින් ගෙනගොස් තිබු අතර පසුව පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. එසේ ලෝකයේ අතිශය දුර්ලභ සතකු ලෙස සැලකෙන තවත් කළු කොටියකුගේ මළ සිරුරක් සොයා ගැනීමට පසුගිය මස තිස්වනදා රාත්‍රියේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකි වී ඇත.

සාමන්‍යයෙන් දඩයක්කරුවන් විසින් කොටින් සඳහා විශේෂයෙන් දඩයම් උපක්‍රම භාවිතා නොකරන අතර ඌරන් සඳහා අටවන ලද මදු වල අතුරු ප්‍රතිඵලයක් ලෙස මෙලෙස කොටින් දඩයම් වෙනු ලැබේ.

මෙහිදී දඩයක්කරුවන් විසින් මදු ගැසීම සඳහා යොදාගනු ලබන්නේ මෝටර් සයිකල්වල බ්‍රේක්‌ කේබල් එක වේ. කේබල් එකේ එක කෙළවරක්‌ මද්දටභාවිතා කොට අනෙක්‌ කෙළවර මදක් සිහින් නැවෙනසුලු ගසක ගැට ගසනු ලැබේ. කොටියා මේ මද්දට හසුවුවහොත් ඌ වේගයෙන් එය ඇදීමට පටන් ගනී.

එවිට ගස නැවී ඇදෙනවා මිස කදියාමට ලක්වන්නේ නැත. ගසේ බැඳ ඇති කේබලය කැඩී නොයාම හේතුවෙන් කොටියා තවත් මැද්දට හිරවීම සිදුවෙනු ලැබෙනු අතර එවිට කොටියාගේ බඩ ප්‍රදේශය , බෙල්ල ප්‍රදේශය හසුවුවහොත් කැපුම් තුවාල වලින්ම කොටියා මියයන අතර , කකුලක් හසුවුවහොත් එය වඩාත් තදින් මැද්දට හසුවේ.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා තුරුලතා ආඥා පනතට අනුව කොටියා ආරක්‍ෂිත සත්ත්වයෙකි. එම පනතේ 30 වැනි වගන්තිය අනුව කොටියකු මරණයට පත් කිරීමට තැත් කිරීම, ඒ සඳහා උගුල් ඇටවීම, මැරූ සතා ගේ ශරීර කොටස්‌ ළඟ තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදකි.

මෙසේ වරදකරුවකු වන අයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රුපියල් 30000 සිට 1,00,000 දක්‌වා වූ දඩයකට යටත් කිරීම හෝ වසර 2කට නො අඩු වසර 6කට නො වැඩි සිර දඬුවමක්‌ නියම කිරීම සහ මේ දඬුවම් දෙක ම හෝ නියම කළ හැකි ය.

2009 වසරේ මියගිය කළු කොටියා ගිරිතලේ පුහුණු කේන්ද්‍රයේ කෞතුකාගාරයේ සරක්ෂණය කොට තැන්පත්කොට ඇත. අනාගතයේ ශ්‍රීලාංකික අපට වන්නේ පුළුන් පිරවූ කළු කොටින් පෙන්වා මෙවන් සතෙකු අතීතයේ ලංකාවේ සිටි බව කීමට පමණි.


Read more:

කළු දිවියෙක් දෙණියායෙන් සොයා ගැනේ  
www.dinanadakuna.blogspot.com

No comments:

Post a Comment