Thursday 22 August 2013

'එකම චෝදනාවට දෙවරක්‌ දඬුවම් කිරීමට සූදානම් වුණොත් ජිනීවා යනවා' - මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති

 ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයාට එරෙහි චෝදනාවන්ට එක්‌ වරක්‌ පරීක්‍ෂණ පවත්වා දඬුවම් පමුණුවා තිබියදී නැවතත් එවැනිම පරීක්‍ෂණ පවත්වා දඬුවම් දීමට සෞඛ්‍ය බලධාරීන් සූදානම් වන්නේ නම් එයට එරෙහිව ජිනීවාහි ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය කියා සිටී.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්. ජී. උපුල් රෝහණ මහතා ඊයේ (22 දා) පෙරවරුවේ හිඟුරක්‌ගොඩදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.

අත්දැකීම් රහිත වෛද්‍යවරුන් ඉතාමත් සුළු පිරිසක්‌ පොලොන්නරුවේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට සූදානම් වූ බවත් එය 2011 වසරේ මෙම දිස්‌ත්‍රික්‌කයේ පවත්වන ලද ඩෙංගු මර්දන වැඩසටහනකදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සඳහා ලබාදිය යුතු ගමන් වියදම් දීමනාවක්‌ එක්‌තරා වෛද්‍යවරයකු විසින් වංචා කිරීම පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් උරණ වී කරන ලද්දක්‌ බවද සභාපතිවරයා කීය.

මෙම සියලු වියදම්වල අරමුණ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා ගෙදර යෑවීම බවත්, එවැන්නකට සංගමය ඉඩ නොතබන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්‌ඩාර, පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ශාඛාවේ සභාපති ජයන්ත චන්ද්‍රසිරි, ලේකම් නිමල්සිරි මාතරආරච්චි යන මහත්වරු ද එක්‌ව සිටියහ.

No comments:

Post a Comment