Thursday 22 August 2013

හොඳින් හෝ නරකින් ජනතාව මර්දනය කරන නිසා මේ රට දැන් ආසියාවේ වධකාගාරය බවට පත්වෙලා - හම්බන්තොට දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රි සජිත් ප්‍රේමදාස

ආණ්ඩුව හැමවිටම කියන්නේ ශ්‍රී  ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කරන බවයි. රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවෙන වැඩපිළිවෙළක් නැතිව, පැහැදිලි ආර්ථික දැක්මක්, සැලසුම් සහගත වැඩපිළිවෙළක් නැතිව එසේ කරනවායි කීම විහිළුවක්. ආසියාවේ ආශ්චර්යය කෙසේ වෙතත් අද ශ්‍රී  ලංකාව ආසියාවේ වධකාගාරය බවට පත් කර හමාරයි. ජනතාවට වධ බන්ධන පැමිණවීම, ඔවුන් දිගින් දිගටම අසහනයට පත් කිරීම අතින් නම් වත්මන් ආණ්ඩුව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ‘හොඳින් හෝ නරකින් ජනතාව මර්දනය කිරීම’ වත්මන් ආණ්ඩුවේ පිළිවෙත වී ඇති බව බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසයේ සිටිනාමළුව ප්‍රදේශයේ දී පැවැති ජනහමුවකදී හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ ද කීය
ශ්‍රී  ලංකාවට අද අත්වී තිබෙන ඉරණම ඉතා ශෝචනීයයි. අද මේ රටේ බහුතර ජනතාව ජීවත් වන්නේ ඔරොත්තු නොදෙන මට්ටමේ දරුණු මානසික අසහනයකින්. ඔවුන්ට රැකියා මාර්ග, ප්‍රමාණවත් ආදායම් මාර්ග, පෝෂ්‍යදායක ආහාර, සෞඛ්‍ය මෙන්ම දරුවන්ට අධ්‍යාපන පහසුකම් නොලැබෙනවා පමණක් නොවෙයි, තවත් බොහෝ ප්‍රාථමික අවශ්‍යතා සහමුලින්ම අහිමියි. පවුල් ලක්‍ෂ 15 කට නිවාස නැහැ. පාලකයන්ගේ වගකීමෙන් තොර ක්‍රියා කලාපය නිසා රට පුරා භයානක පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. පරිසරයට, මහ පොළොවට, ජල මූලාශ්‍රවලට දරුණු හා මාරාන්තික වස විස එක් වෙමින් පවතිනවා.

ආණ්ඩුවක වගකීම රටවැසියන්ගේ මූලික ප්‍රශ්න විසදා ඔවුන් තෘප්තිමත් ජනතාවක් බවට පත් කරලීමයි. ඔවුන්ගේ සුබසාධනය තහවුරු කිරීමයි. සමාජයේ විවිධ ජන කොටස් අතර ඇති නැති පරතරය තුරන් කිරීමයි. එදා එක්සත් ජාතික පක්‍ෂ රජය කටයුතු කළේ ඒ බව හොඳින් සිහියේ තබාගෙනයි. ජනතාවට තමන්ගේම යැයි කිව හැකි නිවාස, පාසල් දරු - දැරියන්ට නොමිලයේ පෙළ පොත්, පාසල් නිල ඇඳුම්, නොමිලයේ දිවා ආහාරය මෙන්ම උසස් අධ්‍යාපනයට ‘මහපොළ’ ශිෂ්‍යත්ව පිරිනැමුවේ එක්සත් ජාතික පක්‍ෂ රජයන් යටතේදීයි.

No comments:

Post a Comment