Wednesday 28 August 2013

චැම්පියන්ස් ලීග් තරගාවලියේදී සංගා හයිද්‍රාබාද් පිලටද? කඳුරට මෙරෑන්ස් පිලටද?


කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු වෙත තීරණාත්මක තවත් අවස්ථාවක් උදා වී ඇත. එක්තරා අතකට සංගාට මෙය තීරණාත්මක නොවනු ඇත්තේ ඔහු පවසන පරිදි රට වෙුනවෙන් ඔහු ක්‍රීඩා කිරීමට බැඳී ඇති බව පවසන හෙයිනි. මේ බව පසුගිය ඉරිදා සංගා “රිවිර”ට පවසා තිබුණි.
එළැඹෙන සැප්. 17 දා ඉන්දියාවේ ඇරඹීමට නියමිත චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කුමාර් සංගක්කාරට කඳුරට මේරෑන්ස් පිල හා සන්රයිස් හයිද්‍රබාද් පිලට තරඟ කිරීමේ අවස්ථාව උදා වී ඇති අතර එක් ක්‍රීඩකයෙකුට කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කිරීමට නොහැකි නිසා සංගාට කුමන කණ්ඩායමට ක්‍රීඩා කරයිද යන්න තීරණය කර ගත යුතුව ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‍ලේකම් නිශාන්ත රණතුංග “රිවිර”ට පැවසුවේ සංගා සමග චැම්පියන්ස් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරිමේදී කුමන තීරණයක් ගනීද යන්න පිළිබඳව තමත් කිසිදු නිල මට්ටමේ සාකච්ඡාවක් පවත්වා නැති බවයි.  කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් පදනමේ වැඩිම වරප්‍රසාද ගනිමින් සියලු පහසුකම්වලින් පරිපූර්ණව ක්‍රීඩා කරන අපේ සුපිරි ක්‍රීඩකයෙක්. මේ නිසා සංගාට අනිවාර්යෙන් මෙම තරඟාවලියට යෑමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනයට යන්න වේවි. කොහොමත් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිටත් සංගා කඳුරට මෙරෑන්ස් පිල නියෝජනයට යා යුතුය යන තීරණය ගෙන ඉන්නේ. කොහොටත් සංගක්කාර බුද්ධිමත් ක්‍රීඩකයෙක්. ඔහු එය නිවැරදිව තීරණය කරාවි යැයි ‍ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.
කුමාර් සංගක්කාර අයි.පී.එල්. ගිවිසුම් ගෙන සිටින අතර ඔහුට ඒ අනුව සන්රයිස් හයිද්‍රාබාද් පිලට ක්‍රීඩා කිරීමට හැකිය. එහෙත් එය අනිවාර්යය නැත. අයි.පී.එල්. ගිවිසුම අනුව හයිද්‍රාබාද් පිලට ඔහු ක්‍රීඩා නොකළහොත් දැනට ඔහු පවුම් 700,000 (පවුම් හත් ලක්ෂයක්) වාර්ෂික ගිවිසුමෙන් පවුම් 1,40,000 නොලැබෙනු ඇත.
කෙසේ වුවත් චැම්පියන්ස් ලීග් තරගාවලියේ නීතියට අනුව ක්‍රීඩකයෙකුට කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණහොත් රට නියෝජනය කරන කණ්ඩායමට ක්‍රීඩා කිරීමේදී එම පිලට පවුම් 1,50,000 ක මුදලක් ලැබෙන නිසා එම මුදල කෙළින්ම කඳුරට පිළ මෙවර ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙනු ඇත.
තවත් කණ්ඩායමකට චැම්පියන්ස් ලීග් සඳහා ශ්‍රී ලංකාව සහභාගි වීමට ඉල්ලුවද එය ලැබි නැති බවද වාර්තා වේ.
කෙසේ වුවත් චැම්පියන්ස් ලීග් තරගාවලියේ නීති රීති අනුව ක්‍රීඩකයෙකුට තමන් කැමති කණ්ඩායමක් නියේජනයට අවස්ථාව ඇති බව වාර්තා වේ. චැම්පියන්ස් ලීග් තරගාවලි වෙළඳ හා නීති කටයුතු ප්‍රධානී ඩීන් කීනෝ මේ බව අවධාරණය කොට ඇත.
මේ අතර නුවන් කුලසේකරද කඳුරට මෙරූන්ස් පිලට හා අයිපීඑල් හි චෙන්නායි සුපර් කිංග්ස් පිලට සුදුසුකම් ලබා ඇති වුවද චෙන්නායි පිලට නුවන් කුලසේකර බොහෝ විට නොගනු ඇතැයි වාර්තා වේ. නුවන්ට පසුගිය අයිපීඑල් අවස්ථාව අහිමි වූයේ චෙන්නායි නුවරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෙන්වීමේ තහනම් නියෝගය පනවා තිබූ බැවිනි. කෙසේ වුවත් ඊයේ (27) වන විටත් කුමාර් සංගක්කාර කැරිබියන් ලීග් තරගාවලියට කොදෙව් දූපත් බලා ගොස් නැවත පැමිණ නොසිටි නිසා ඔහුගේ තීරණය දැන ගැනීමට නොහැකි විය.
චැම්පියන්ස් ලීග් තරගාවලියේ දී ක්‍රීඩකයන් 14 දෙනෙකුට කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා තිබිම කැපී පෙනෙන අතර මෙම ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩක දෙපළ සංගා හා නුවන් කුලසේකරට අමතරව මයිකල් හසී (ඔස්ට්‍රේලියා), නේතන් මැකලම් (නවසීලන්තය), ඩ්වේන් බ්‍රාවෝ (කොදෙව් දූපත්), කිරාන් ‍පොලාඩ් (කොදෙව් දූපත්), බ්‍රැඩ් හොජ් (ඔස්ට්‍රේලියාව), ක්‍රිස් ලීන් (ඔස්ට්‍රේලියාව), ක්වින්ටන් ද කොක් (දකුණු අප්‍රිකාව), ක්‍රිස් මොරිස් (දකුණු අප්‍රිකාව), ආබි මෝකල් (දකුණු අප්‍රිකාව), නාදන් කෝල්ටර් (ඔස්ට්‍රේලියාව), සැමුවෙල් බද්රි (කොදෙව් දූපත්), කෙවින් කූපර් (කොදෙව් දූපත්) වේ.

No comments:

Post a Comment