Wednesday 21 August 2013

ජේ.ආර්. එදා ප්‍රේමදාසට, ලලිත්ලාට තැන දුන්නා වගේ ජනතාව ඉල්ලන චරිත දැන් වහා පෙරට ගත යුතුයි. - පුත්තලම දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා




එක්සත් ජාතික පක්‍ෂය නැවත ගොඩනැඟිය හැක්කේ ජනතාව ඉල්ලන චරිතවලට ඉදිරියට ඒමට පක්‍ෂයෙන් අවස්ථාව ලබාදුනහොත් පමණක් බව පුත්තලම දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ එ.ජා.ප.යේ පැවැත්ම ඇත්තේ ජනතා විශ්වාසය මත බවයි. එම විශ්වාසය ගොඩනඟා ගැනීමට නම් ජනතාව ආදරය කරන චරිත ඉදිරියට ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් පක්‍ෂය මීටත් වඩා දරුණු අගාධයකට වැටෙනු ඇති බවත් රංගේ බණ්ඩාර මහතා පැවැසුවේය.
රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

ජේ.ආර්. ජනාධිපතිතුමාගේ යුගයේ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි වගේ ජනතාව ආදරය කරන චරිත ටික අතදීලා ඉස්සරහට අරගත්තා. ඒ ඇවිල්ලා ඔවුන් ජනතාවට ලොකු හඬක් දුන්නා.
ඒ වගේම සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ වගේ හැම ජාතියේම චරිත ඒ කාලේ ඉදිරියට ගත්තා. එහෙම ආපුහාම හැම දෙයින්ම පරිපූර්ණ ටීම් එකකුයි එ.ජා.ප.යේ හිටියේ. ඉතින් මෙතැනත් දැන් අඩුපාඩු බලලා ඒවා සකස් කරලා හොද කථිකත්වයක් වීරත්වයක් තියෙන අයට අවස්ථාව දීලා ආසන මට්ටමින් ක්‍රියාත්මක වුණොත් අපටත් එ.ජා.ප. ආණ්ඩුවක් බිහිකරගන්න අමාරුවෙන්නෙ නැහැ.

අපේ රටේ දැන් තියෙන ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් නෙවේ. තනිකර තුවක්කුවෙන් ප්‍රශ්න යටපත් කරන්න හදන ආණ්ඩුවක් මේක. ජනතාව තමන්ගේ ප්‍රශ්න කෑගහලා කියනකොට ඒකට විසඳුම් දෙන්නෙ නැහැ. රතුපස්වල වතුර ඉල්ලුවම ආණ්ඩුව ජනතාවට දුන්නේ උණ්ඩ. හලාවත ධීවරයෝ ඉන්ධන ඉල්ලුවමත් ආණ්ඩුව දුන්නේ උණ්ඩ. ඒ වගේම වෙළෙඳ කලාපයේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත ගැන කතා කරපුහාම ඒකටත් ආණ්ඩුව දුන්නේ උණ්ඩ. මෙන්න මේ වගේ මුරණ්ඩු ආණ්ඩුවක් තමයි තියෙන්නේ දැන්.

මේ හිතුවක්කාරකම, මුරණ්ඩුකම දැන් මට්ටුකරන්න පුළුවන් ජනතාවට විතරයි. ඒක දැන් විපක්‍ෂයට කරන්න බැහැ. මොකද විපක්‍ෂය දැන් තියෙන්නේ සීසීකඩ. විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය තමන්ගේ සියලු කණ්ඩායම් ඒකරාශී කරගන්න ඕන. ඒ වගේම ජනතාවත් මේ මැරකම් මුරණ්ඩුකමින් යන ආණ්ඩුවට හොඳ පණිවුඩයක් දැන්වත් දෙන්න. ආණ්ඩුවට ජනතාව රතු ලයිට් එක දෙන්න ඕන වෙලාවක් මේක.


No comments:

Post a Comment