Thursday 22 August 2013

සන්ධාන ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝනය කරනවා. - දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන් මහතා

උතුරු පළාත් සභා මැතිවරණයේදී සන්ධාන ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් උතුරු පළාත් සභා මැතිවරණ ඡන්ද ප්‍රචාරක කටයුතු සිදු කරන බැව් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි. හෙතෙම පැවැසුවේ රජයේ අමාත්‍යංශයන්ට අයත් රාජ්‍ය දේපළ හා වාහන යොදා ගනිමින් ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් පවා උතුරු පළාතේ ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින බවයි.

  මැතිවරණයට ඉදිරිපත්වන දෙමළ ජාතික සන්ධාන අපේක්‍ෂකයන්ට ආරක්‍ෂක අංශ යොදා ගනිමින් බලපෑම් සිදු කරන අතර, උතුරු පළාත් සභාව හා මධ්‍යම ආණ්ඩුව යටතේ පසුගිය මාස තුනක පමණ කාලය තුළ උතුරු පළාතේ රාජ්‍ය සේවයට බඳවාගත් නිලධාරීන් යොදවා ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බැව්ද අඩෙක්කලනාදන් මහතා පැවැසීය. ආණ්ඩුව සිය සම්පූර්ණ බලය යොදා ගනිමින් රාජ්‍ය දේපළ හා වාහන යොදා ගනිමින්, රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගනිමින්, විරුද්ධ පාක්‍ෂිකයන්ට රාජ්‍ය ආරක්‍ෂක අංශ යොදාගෙන බලපෑම් සිදු කරමින් දියත් කරනු ලබන මැතිවරණ ප්‍රචාරක කටයුතු වහාම නවතා දැමිය යුතු බැව්ද හෙතෙම පැවැසීය.

උතුරු පළාතේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩුව කටයුතු කරන බැව් මැතිවරණ කොමසාරිස්වරයාට දෙමළ ජාතික සන්ධානය මඟින් පැමිණිලි කොට ඇති නමුත් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට සන්ධාන ආණ්ඩුව කටයුතු නොකරන බැව්ද මන්ත්‍රිවරයා පැවැසීය.

No comments:

Post a Comment