Wednesday 21 August 2013

විදුලි ගාස්තු ඉහළ යාමේ අවදානමක්





රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් නැවතත් විදුලි ගාස්තු ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය අනතුරු අඟවයි. මේ වනවිට ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 130 දක්වා ඉහළ යෑම හේතුවෙන්ද ඇතැම් ජල විදුලි බලාගාර හා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අක්‍රීය කිරීම හේතුවෙන්ද ලංකා විදුලිබල මණ්ඩලයට පෞද්ගලික බලාගාරයන්ගෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවීමේ අනාගත අවදානම මත විදුලි ගාස්තු ඉහළ දැමිය හැකි බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා 'මව්බිම'ට පැවැසීය.

ඔහු අවධාරණය කරන පරිදි රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් හා ඇතැම් බලාගාර වැසීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඩීසල් බලාගාර වෙත යොමු වුවහොත් නිසැකවම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැවිතෙල් මිලදී ගැනීමට සිදුවන අතර පෞද්ගලික විදුලි බලාගාරයන්ගෙන් ගැනීමට සිදුවන විදුලියෙහි මිලද ඉහළ නඟිනු ඇත.

මේ වනවිට උත්පාදනය කර ඇති ජල විදුලිය රාත්‍රි කාලය සඳහා අධිකව වැය වන අතර ඉක්මනින්ම ජල විදුලිය හිඟවීමේ ප්‍රවණාවක් ඇති බවද චන්ද්‍රසේකර මහතා පවසයි. එහෙයින් බලාගාරයන්ගේ නඩත්තු කටයුතු හැකි ඉක්මනින් සිදුකරන ලෙස ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය ලංකා විදුලිබල මණ්ඩලයට අවධාරණය කරයි.
මේ වනවිට බෝවතැන්න, කකුලේ ගඟ ජල විදුලි බලාගාරද නොරොන්චෝලේ ගල් අඟුරු බලාගාරයද ක්‍රියා විරහිත කොට තිබෙන අතර නුදුරේදී නැවතත් වික්ටෝරියා ජල විදුලි බලාගාරයද ක්‍රියා විරහිත කෙරෙන බව ආරංචිමාර්ග පවසයි.

No comments:

Post a Comment