Wednesday 21 August 2013

මෙනකා මධුවන්ති බීමත්ව රංගනයේ යෙදුණා...........?

තමන්ගේ සහජ නර්තන හැකියාව ප්‍රයෝජනයට ගෙන කලා ලෝකයට පිවිසි ඈ දැන් දක්ෂ නිළියක්. මතකද ඔබට සිටු මැදුර, සිටු මැදුරේ නපුරු ක්‍රිෂාණි. අද ආලින්දයට හැඩගන්වන්න ඇවිත් සිටින්නේ ඇයයි. ඇය  නමින් මේනකා මධුවන්ති.
  • මේනකා ඉතින් කොහොමද ජීවිතේ ?
    ජීවිතේ හොඳයි ඒත් මේ දවස්වල ටිකක් කාර්යය බහුලයි.
  • නපුරු ක්‍රිෂාණි කියපු ගමන් මූණ පොඩ්ඩක් විතර රතු වුණා. මේනකා ඒ චරිතයට සමානද එහෙම නැතිනම් මොන වගේද?
    මං හිතන විදියට ක්‍රිෂාණි චරිතය වුණත් නපුරු වෙන්නේ තමන්ගේ කියලා දෙයක් නැති වුණාම.ඒ නිසා  මං හිතනවා ඕනම කෙනෙක්ට වේදනාවක් දැනෙනවා කියලා .ඉතින් ඒ වේදනාවත් එක්කම එයාගේ සිදුවන  වෙනස්කම් නිසා  තමයි එයා නපුරුයි කියලා මිනිසුන් අතරට යන්නේ.
  • මේනකාට මේ කලා ක්ෂේත්‍රය තුළ වේදනා සහ පුංචි හිත් රිදීම් තියනවාද? එහෙම නැතිනම් කොහොමද මේ ආපූ ගමන ගැන මේනකා දකින්නේ?
    දැනට ආපූ ගමන ගැන සෑහීමකට පත්වෙනවා ,ඉතින් ඕනෑම ක්ෂේත්‍රයක ඉන්නකොට පසුතැවීම් ,හිත් රීදීම් වැනි දේවල් වෙනවා.
  • මේනකාට ඒ අතරින් වැඩිපුරම සිදුවෙලා තියෙන්නේ මොනවාද?
    මං හිතනවා දෙකම සමබරව වෙලා තියනවා කියලා.මොකද මම ගොඩාක් දේවල් වල වැඩ කරනවා මේ දවස් වල. ඉතින් ඒක නිසා හොඳ දේවල් වගේම නරක දේවල් වලත් අනිවාර්යයෙන්ම අත්දැකීම් තියනවා. එක නිසා ඒ දෙකම සතුටින් භාරගෙන ඉන්නවා.
  • මේනකා මේ දවස් වල කාර්යය බහුලයි කිව්වා මොනවද මේ දවස්වල නියැලෙන වැඩ කටයුතු?
    ඇත්තම කියනවානම් මේ දවස්වල ටෙලි නාට්‍ය 5ක පමණ රූගත කිරීම් වල නිරත වෙනවා.ඒ වාගේම ඉතා දැවැන්ත රියැලටි වැඩසටහනක නිරත වෙලා ඉන්නාවා. මොකද රංගනයට වැඩියෙන් මං නර්තනයට ජීවිතයේදී මං ආදරය කරන දෙයක්.මොකද මගේ ජීවිතයේ ආදරය කියන්නේ නර්තනය.  එක නිසා නර්තනයට විශේෂ තැනක් දෙනවා මේ දවස් වල.
  • කෙහොමද රංගනයට මුලික අඩිතාලම වැටුණේ ?
    ඉස්සල්ලාම මම ක්ෂේත්‍රයට ආවේ නර්තන ශීල්පිණියක් විදියට වෙනත් රියැලටි වැඩසටහනක් හරහා එකෙන් පස්සේ මට රංගන ක්ෂේත්‍රයට ආරාධනා ලැබුණා. රවින්ද්‍ර විජෙරත්න මහත්මයාගේ රුවන් මාලිගා  ටෙලි නාට්‍යයට. එකේ මම සෙසු චරිතයක් රඟපෑවේ.ඊට පස්සේ ඉගෙනීමේ කටයුතු එක්ක පොඩ්ඩක්  ඒ පැත්තට යොමු වීමේ අවස්ථාව අඩු වුණා. අවුරුදු ගණනාවකට පස්සේ තමයි සිටු මැදුරට සහභාගී වෙන්න අවස්ථාවක් හිමි වුණේ.ඉතින් ඒ ලැබුණු අවස්ථාවත් එක්කම ජීවිතේ එතැන් පටන් රංගනයට පිවිසිලා ඉන්නවා.
  • ඇයි තීරණයක් ගත්තේ මම රංගනය පැත්තෙන් ටිකක් ඉදිරියට යනවා නර්තනය පැත්තට නැතුව?
    එහෙම තීරණයක් ගත්තේ නැහැ.   මම වෙනත් රටක ගිහින් නර්තනයෙන් උපරීම ජයග්‍රහණය ලබා ගත්තා. මට ඒක දිගටම පවත්වාගන්න බැරි වුණේ මගේ මේ අතේ ආබාදයක් තියනවා. මට වෛද්‍යවරුන් කියලා තියෙන්නේ නර්තනය කරන්නත් එපා කියලා.මම නර්තනය කළේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතිව.ඉතින් අභියෝග ජයගෙන මම ගොඩාක් දේවල් කරන්න කැමතියි.හැබැයි හිතේ පොඩි දුකක් තියනවා ගොඩාක් දේවල් කරන්න බැරි වුණු එක ගැන. මොකද මට මගේ අතේ තියන අමාරුකම නිසයි එහෙම වෙලා තියෙන්නේ.
  • තාවකාලිකව නර්තනයෙන් ඉවත් වෙන්නේ නැතැව සාමාන්‍යයෙන් ඉදිරියට යන්න පුලුවන් තත්ත්වයක් නැද්ද මේ තියන සෞඛ්‍ය තත්ත්වයත් එක්ක?
    මගේ අත ශල්‍යකර්මයක් කරන්න කියලා තියෙන්නේ. ඒත් මට මේ තියන තත්ත්වය අනුව ඒ වගකීම භාරගන්න බෑ.මගේ අදහසක් තියනවා ඉන්දියාවේ පාසලකට ගිහින් නර්තනය හදාරන්න ඒත් මේ වෙලා තියන තත්ත්වය අනුව ඒ දේට යොමු වෙන්නේ නැතිව පසු බසින්න වෙලා තියනවා.
  • එතකොට රංගනය වෘත්තීය විදියට කරගෙන යනවද?  කොහොමද ඉදිරි බලාපොරොත්තු රංගන ක්ෂේත්‍රයේ?
    ඔව් දැනට වෘත්තීය වශයෙන් තමයි රංගනය කරගෙන යන්නේ.මේ ක්ෂේත්‍ර යේ ඉදිරියටම ගිහින් හොඳ වැඩ කටයුතු වලට සහභාගී වෙලා ආදරණීය ප්‍රෙක්ෂකයන් අතරේ හොඳ නමක් දිනාගෙන ප්‍රෙක්ෂකයන්ගේ හදවත් තුළ ගොඩාක් කාලයක් රැදිලා ඉන්නයි මට ඕන.
  • දැන් තියන සෞඛ්‍ය තත්ත්වයත් එක්ක නර්තනයට වඩා රංගනයට මූලිකත්වය දෙන්න වෙලා තියනවා. ඒ නිසා යම්කිසි ආකාරයකට රංගනය පිළිබඳව හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද ? ඒ සම්බන්ධයෙන්  තියන සුදානම මොකක්ද?
    මට ගොඩාක් වෙලාවට රඟපාන්න වෙලා තියෙන්නේ ප්‍රවීණයන් එක්ක. ඒ කියන්නේ ගොඩාක් හොඳ ප්‍රවිණයන් එක්ක මගේ අතින් වැරැද්දක් වුණත් එයාලා ඒක දැකලා මට කියලා දෙනවා. ඉතින් ඒක මට ලොකු දෙයක්.මාත් එක්ක වැඩ කරන ඕනම කෙනෙක් කිව්වොත් මේ දේවල් මේහෙම වෙන්න ඕන කියලා මමනම් ඒවා පිළිගන්නවා.මොකද මාව බලන් ඉන්නේ වෙනම කොට්ඨාශයක්. මම ඒක වැරදියට කළොත් මට හිතෙන විදියට මාව ආදරයෙන් බාලගෙන ඉන්න ප්‍රෙක්ෂකයන්ට කරන අසාධාරණයක්.
  • කොහොම වුණත් මේ ආපු ගමන ගැන මේනකා මධුවන්තිට ප්‍රවීණයන්ගෙන්  මොනවාගේ     සහයෝගය ලැබෙන්නේ? විශේෂයෙන් මතක් කරන්න නම් කිහිපයක් තියනවාද?
    විශේෂයෙන් කියන්නේ මාත් එක්ක  වැඩ කරන හැම කෙනෙක්ගෙන්ම හොඳ සහයෝගයක් මට ලැබෙනවා, ප්‍රවීණයන් ඇත්තටම ගොඩාක් හොඳයි කියලයි මටනම් හිතෙන්නේ. මගේ ජීවිතයේදී නම් ගොඩක් ප්‍රශ්න වෙලා  තියෙන්නේ නවකයන්ගෙන්. ඒ කට්ටියත් එක්ක ටිකක් වැඩ කරන්න අමාරුයි.ඒ දේවල් ඉතින් වැඩිය ගණන් ගන්නේ නැහැ මං.
  • ඒ නවකයින් රංගන ශිල්පිණියක් කියන එක ටිකක් ඔලුව උඩින්ද තියාගෙන ඉන්නේ?
    අනිවාර්යයෙන් අලුතින් එන රංගන ශිල්පිණියක් අපිත් එක්කම ඉඳලා එක පාරටම ඉහලට යන්න පුළුවන්. එක ඇවිල්ලා එක එක්කෙනාගේ තියන වාසනා ගුණය අනුව ඉහලට යන්න පුළුවන්.  ඉතින් අපි ඒවාට ඉරිසියා නොකර අපේ පාඩුවේ අපි ඉන්නවා. නමුත් එහෙම ඉහලට ගිය ශීල්පිණියන් මහ ලොකු මවාපෑම් කරනවනම් ටිකක් හිතට අමාරුයි.
  • ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් බැනුම් අහපු අවස්ථා තියනවාද?
    බැනුම් අහපු අවස්ථානම් නැහැ. එහෙම හැල හැප්පීම් වෙන්න තරම් දෙයක් වෙලා නැහැ. මොනවා හරි තියනවානම් සුහදව කතා බහ කරලා බේර ගන්නවා.
  • මේනකා  රංගනයට වඩා නර්තනය සම්බන්ධයෙන් වඩා කැමැත්තක් දක්වනවා .මේ දවස්වල දෙරණ සිටි ඔෆ් ඩානස් නර්තන ප්‍රසංගය සම්බන්ධයෙන් අත්දැකීම් මොනවගේද ?
    ඇත්තටම මම මුලින්ම ස්තූතවන්ත වෙනවා දෙරණ නාලිකාවට.මේ වගේ වැඩසටහනකට සංවිධානය කිරීම ගැන.මුලින්ම කියන්න ඕන මෙකේ කෙටි පණිවිඩ නැහැ .තමන්ගේ දක්ෂතාවය මත අලුත් දෙයක් කරන්න පුළුවන් නිසා මම මේ වැඩසටහනට සහභාගී වුණා.ඉතින් ගොඩාක් හොඳ රියැලිටි වැඩසටහනක්.තමන්ට දක්ෂතාවයක් තියනවානම්  අනිවාරයෙන් ඉදිරියට යන්න පුළුවන්.දැනට ගොඩාක් හොඳ දෙවල් කරලා හොඳ තත්ත්වයක ඉන්නවා කියලා මට හිතනවා.
  • එතකොට දෙරණ සිටි ඔෆ් ඩාන්ස් කිරුළ මේනකා මධුවන්තිට හිමිවෙයිද? මොනවද ඒ සම්බන්ධයෙන් හිතන්නේ?
    ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් නැතුවාම කිව්වෝත් වැරදියි. මොකද  අපේ ජීවිතයේ මොනවාහරි දෙයක අධිෂ්ඨානයක් සහ අපි දෙයක් ලබා ගන්නවා කියන එක තියෙන්න ඕන.එහෙම දෙයක් තිබුණේ නැතිනම් අපිට ඒ ළඟටවත් යන්න වෙන්නේ නැහැ. චූටි හරි හිතේ බලාපොරොත්තුවක් තිබුණෝත් විතරයි ඒ ළඟටවත් යන්න පුළුවන් වෙන්නේ .මට ඕන බලන් ඉන්න ප්‍රෙක්ෂකයන්ට උපරීම දෙයක් දෙන්න.මං හෙට තරඟයෙන් එළියට ගියත් කමක් නැ හොඳ දෙයක් කරලා මතකයේ රැදෙන දෙයක් කරලා.
  • දැන් මේ කිරුළට ළඟා වෙන්න ඔබ මොනවගේ දේවල්ද සැලසුම් කරලා තියෙන්නේ ?
    මං දැනටනම් ගොඩාක් දේවල් කරලා තියනවා.ගොඩාක් දේවල් කරන්න හිතේ තියාගෙනත් ඉන්නවා. මට ඕන කරන්නේ, මං වේදිකාවට ගිය ගමන්   විනිශ්ච මණ්ඩලයට හිතෙන්න ඕන මං කරපු පසුගිය දේවල් ගැන.එතකොට මේනකා අද මොකක්ද කරන්න එන්නේ කියන ඒ කුතුහලය විනිශ්චය මණ්ඩලයටයි ප්‍රෙක්ෂකයන්ටයි ඇති කරන්නෙ ඕනෑ.අභියෝගයක් දෙන්න පුළුවන් වෙනස් දෙයක් කරන්න තමයි මම කැමති.
  • රංගනයේදී තමන්ට සරිලන හොඳ මිලක් ලැබෙනවාද?
    ඒක අවස්ථාණුකූලව වෙනස් වෙනවා.අපි කරන නිර්මාණ හරහා ඒක ගොඩක් වෙනස් වෙනවා.මං හිතෙන විදියට මාව අනිවාර්යයෙන්ම ඒ නිරිමාණයට අවශ්‍ය නම් මං කියන මිලට මාව අනිවාර්යයෙන් ගන්නවා.මගේ ශ්‍රමය මගේ හැකියාව අනුව මාව වුවමණා නම් ඒ කෙනා අනිවාර්යයෙන් ඒ නිරිමාණයට දායක කරගන්නවා.
  • සමහරක් නිර්මාණ තියනවා ගුණාත්මක භාවයෙන් යුතුයි නමුත් අඩු මුදලකට තමයි ඒ වැඩේ කරන්න වෙන්නේ එහෙම නිර්මාණ වලට ඔබ සහභාගී වෙනවාද  එහෙ නොමැතිනම් තමන්ගේ ස්ථාවරයේම ඉන්නවාද?
    අපි ඕනම කෙනෙක්ට වටිනා කමක් තියනවා.ඒ වටිනාකම කවදාවත් අඩු තක්සේරුවක් කරගන්න හොඳ නැහැ.නමුත් අපි ඉන්න ක්ෂේත්‍රය තුළ එහෙම හොඳ දෙයක් ලැබෙනවා නම්, මට හොඳ චරිතයක් ලැබෙනවානම් මම ඒ වෙනුවෙන් මගේ ජීවිතය කැප කරන්න වුනත් සුදානම්. මොකද අපි හැමවේලේම සල්ලි මත්තෙම නැහෙන්න ඕන කියලා නැහැ.
  • මේනකා වේදිකා නාට්‍යවල රඟපාන්න කැමැත්තක් නැද්ද ?
    ඇත්තටය වේදිකා නාට්‍යවල රඟපාන්න ආසයි, ඒත් තවම  අවස්ථාවක් හම්බවෙලා නැහැ.
  • වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් යම්කිසි හැදෑරීමක් කරලා වේදිකා නාට්‍යවලට සම්බන්ධ වීමේ අවසථාවක් ලැබුණෝත් එයට දායකත්වය ලබා දෙනවද, ඒ සම්බන්ධයෙන් කාල වේලාවක්  තිබෙනවාද?
    ඔව් අනිවාර්යයෙන් ඒ සඳහා කාලය හදාගන්නවා.මොකද අනිවාර්යයෙන්ම වේදිකා නාට්‍ය තුළින් ක්ෂේත්‍රයට පැමිණියහම කලා ක්ෂේත්‍රය තුළ රදා පැවැත්ම වැඩියි.ඇත්තටම මම පාසල් යන කාලයේදීත් නාට්‍ය පැත්ත හැදෑරුවේ නැහැ. එකයි මං හිතන්නේ ඒ පැත්තට යන්න වේලාවක් තිබුණේ නැත්තේ.ඇත්තටම  වේදිකා නාට්‍ය වලින් රංඟනයට පැමිණියාම ප්‍රෙක්ෂකයෝ වුණත් බොහොම ගෞරවයකින් බලනවා.
  • මේනකා කැමති පුංචි තිරයටද එහෙම නැත්නම් සිනමාවටද?
    මං මුලින්ම ආවේ පුංචි තිරයෙන් නමුත් මං සිනමාවටත් ආදරෙයි. කැමතියි මං සිනමාවෙන් ඉදිරියට යන්න. මොකද කතාවක් තියනවානේ නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියලා.ඒක නිසා මං නිතරම දකින්න කැමති නැහැ.
  • මේනකා සාමාන්‍යයෙන් තෝරා බේරාගෙනද වැඩ කරන්නේ. එහෙමත් නැත්නම් ඕනෑම නිර්මාණයකට මුදල මත දායක වෙනවාද?
    අනිවාරයෙන් තෝරා බේරීමක් තියනවා.ඉස්සරහට එන්න තියෙන්නේ හාත්පසින්ම වෙනස් චරිත ටිකක්.මොකද මං ආසයි අභියෝගාත්මක වෙනස් චරිත කරන්න. හැම තිස්සේම කරන්න පුළුවන් චරිත කළාම වැඩක් නැහැ.
  • මේනකාට තියන කාර්යබහුල ජීවතයත් එක්ක විවේකයක් ලැබුණු විගස මොනවාගේ දේවල්ද කරන්නේ ?
    ඇත්තම කිව්වොත් මේ දවස්වල ගෙදර එනකොට පාන්දර දෙකයි තුනයි, නැවත ආයෙමත් උදේ හයට හතට විතර පිටත් වෙනවා.හැබැයි විවේක ලබන හැම වෙලාවකම කරන්නේ චිත්‍රපට නරඹන එක තමයි. නරඹන්න ගොඩක්ම මං කැමති හින්දි චිත්‍රපට .එවා බැලුවාම මනස නිරවුල් වෙනවා.
  • මෙනකා ඒ චිත්‍රපටි බලලා තමයි දෙරණ සිටි ඔෆ් ඩාන්ස් එකේ, එක එක අලුත්  නිරිමාණ කරන්නේ ?
    ඔව් ඔව් විවේකය හම්බ වුණ ගමන් ලෝකේ වටේ තියන අලුත් දේවල්  හොයලා බලනවා.
  • තමන් තුළ තිබෙන මේ දක්ෂතාවය ගැන මේනකා  සෑහීමකට පත්වෙනවාද?
    මට තියෙන දක්ෂතාවය ගැන සෑහීමකට පත්වෙනවා. දැනට කරලා තියෙන දෙවල් ගැනත් ගොඩාක් සෑහීමකට පත්වෙනවා.හෙමින් ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව.එතකොට ගොඩාක් දේවල් ලබාගන්න පුළුවන් කියලා මං හිතනවා.
  • ජනප්‍රිය වෙන්න වැදගත් වෙන්නේ දක්ෂතාවයද එසේත් නොමැතිනම් වාසනාවද?
    දක්ෂතාවය විතරක් මදි අනිවාර්යයෙන් වාසනාවත් තියෙන්න ඕන.
  • රංගන ක්ෂේත්‍රය තුළ තරඟකාරීත්වයක් තියනවා මේ තරඟකාරීත්වය ගැන මොකද හිතන්නේ?
    ඕනම ක්ෂේත්‍රයක් තුළ තරඟකාරීත්වයක් තියනවා.තරඟකාරීත්වයක් සහ අභියෝගයක් ජීවිතයට තියෙන්න ඕන.එහෙද තිබුණාම තමයි අපි ශක්තිමත් වෙලා අපේ  ජීවිතය හැඩ ගැසෙන්නේ.
  • ලෝකයේ වැඩියෙන්ම කාවද විශ්වාස කරන්නේ ?
    මට මගේ ගෙදර කට්ටිය විශ්වාසයි.
  • මේනකා ආදරය ගැන මොකද හිතන්නේ ?
    ආදරය සුන්දරයි, වේදනාවක් කරගන්නේ නැතිව වදයක් කරගන්නේ නැතිව හිටියොත් ආදරය සුන්දරයි.
  • මේනකා දැනට ආදරය විදිනවාද ? එහෙම නැත්නම් තාම ආදරය විදින්න බලාපොරොත්තුවක් නැද්ද?
    දැනට  මං ආදරය විදිමින් ඉන්නේ…
  • තොරාගෙන තියන සහකරු ළඟ මොනවාගේ ගුණාංගද තිබිය යුත්තේ?
    මං ඉන්න ක්ෂේත්‍රයත් තුළ මාව අනිවාර්යයෙන් තේරූම් ගැනීමේ හැකියාව තියෙන්න ඕන.
  • ඔහු මොන ක්ෂේත්‍රයේද කියලා ඇහුවොත්?
    දෙරණ ඊළඟ වැඩසටහන් වලට ආරාධනා කරයි අනිවාර්යයෙන්ම එතකොට අපි  ඒ ගැන කතා කරමු.
  • රූපගත කිරීමකදී අමතක නොවන සිදුවීම් තියනවාද?
    දැන් එහෙම එක පාරටම මතකයට එන්නේ නැහැ.
  • එක්තරා සඟරාවක මෙනකා මධුවන්ති එක්තරා ආකාරයේ රංගනයක් උදේසා බීමත්ව රංගනයේ යෙදුණා කියලා කතාවක් තියනවා ඒක ඇත්තක්ද?
    මගේ ජීවිතයේ මට තියන හැකියාව අනුව  මට එහෙම දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ.නමුත් චරිතයකට අනුව බීමත් අයරින් රඟපාන්න පුලුවන් එකට මත්පැන් පානය කරන්න ඕනම නැහැ. ඒකටයි නිළියක් කියන්නේ ඒ දේවල් ආරූඩ කරගන්න ඕන.
  • මේ දක්වා පැමිණි කාලය තුළ ලබලා තියන අකමැතිම අත්දැකීම මොකක්ද?
    ඇත්තම කිව්වොත් මං කැමති නැහැ වෙනස් වන පුද්ගලයින්ට. ඉතින් හරිම කණගාටුයි ඒ වගේ සිද්ධීන් වලට මුහුණ පෑමට සිද්ධ වෙන එන ගැන.
  • මෙනකා මධුවන්ති කියන්නේ මොනවගේ චරිතයක්ද?
    මට අසාධාරණය පෙන්නන්න බෑ. මට විතරක් නෙවෙයි කාට වුණත්  මොනවා හරි අසාධාරණයක් සිද්ධ වුණෝතින් මට ටිකක් කෙන්ති යනවා ඒ වගේම මං ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.
  • අනාගත සිහින බලාපොරොත්තු මොනවාද?
    දැනට තියෙන්නේ රියැලටි නර්තන තරඟයේදී  හොඳ තරඟයක් දීලා අලුත් දේවල්, වෙනස් ආකාරයේ දේවල් ඉදිරිපත් කරලා ගොඩාක් ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව.

No comments:

Post a Comment