Monday 26 August 2013

කැති මන්නා හමුදාවක් !


MM house 410px 24-08-13පසුගිය සෙනසුරාදා (24) අලූයම සන්ඬේ ලීඩර් පුවත්පතේ සම කර්තෘ සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිනී මන්දනා ස්මයිල් අබේවික‍්‍රම මහත්මියගේ නිවසට පැමිණියේ අවි ආයුධ රැගත් පිරිසක් නොව, කැති මන්න රැගෙන පැමිණි පිරිසක් බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කලද,  මෙම කැති පොලු හමුදාව ආණ්ඩුවේ අලුත්ම මැර කල්ලිය බව පැහැදිලි යයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
කොළඹ - රාජගිරිය ජාතික වතුකම්කරු සංගම් ශාලාවේ අද (26) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා එබව සඳහන් කළේය.

'' ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කළේත් තියුණු ආයුධයකින් ඇණීමෙන් බව පසුව හෙළි වුණා. ඝාතනයන් සම්බන්ධව අලූත් උපක‍්‍රමය එය විය හැකි අතර, පොලිසිය එම අවස්ථාවේදී කි‍්‍රයාත්මක නොවුණේ නම් ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය වැනි අසුබදායී දෙයක් එම අවස්ථාවේදී සිදු වීමටද ඉඩ තිබුණා. එහිදී ක්‍ෂණිකව කි‍්‍රයා කිරීම ගැන අප පොලිසියට ස්තූතිවන්ත වනවා. '' යයිද අත්තනායක මහතා පැවසිය.

 මන්දනා ස්මයිල් මහත්මිය වැනි ගවේෂණාත්මක වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමට ආණ්ඩුව කි‍්‍රයා කළ යුතු බවද ඔහු  අවධාරණය කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

''  පසුගිය සෙනසුරාදා (24) අලූයම සන්ඬේ ලීඩර් පුවත්පතේ සම කර්තෘ සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිනී මන්දනා ස්මයිල් අබේවික‍්‍රම මහත්මියගේ නිවසට පිරිසක් ඇතුළු වීම සම්බන්ධව මේ වන විට සියලූ දෙනා දැනුවත් වී සිටිනවා. ඒ ස්ථානය බැලීමට මමත් ගියා. එම සිදුවීමත් සමග ආණ්ඩුව බොහෝ සෙයින් කලබලයට පත්වී ඒ පිළිබඳ අර්ථකථන ලබා දුන්න ද අප ඒ සම්බන්ධයෙන් පූර්ණ නිගමනයන්ට එළැඹීමට කි‍්‍රයා කරන්නේ නැහැ.

මන්දනා ස්මයිල් මහත්මියගේ නිවසට ඇතුළු වූයේ කොල්ලකරුවන් පිරිසක් බව ඒත්තු ගැන්වීමට ආණ්ඩුව ප‍්‍රබල උත්සාහයක නිරතව සිටිනවා.

අලූයම 2.30 සිට අලූයම 4.30 හෝ 5.00 දක්වා මෙම පිරිස තම නිවෙස් රැඳී සිටි බව මන්දනා ස්මයිල් අබේවික‍්‍රම මහත්මිය ප‍්‍රකාශ කර තිබෙනවා. මංකොල්ලකෑමකට හෝ වෙනත් අනර්ථයක් සිදු කිරීමකට පැමිණි අයෙක් එතරම් වෙලාවක් බම්බලපිටිය වැනි අධිආරක්‍ෂිත කලාපයට සමීප ස්ථානයක රැඳී සිටින්නේ දැයි යන බරපතළ ප‍්‍රශ්නය මතු වනවා.

තමන් පැමිණියේ කිසියම් කොන්ත‍්‍රාත්තුවක් ඉටු කිරීමට බව එම පිරිසේ කතාබහෙන් තමාට හැඟුණු බව මන්දනා ස්මයිල් මහත්මිය ප‍්‍රකාශ කොට තිබෙනවා. ඝාතනයක් කිරීමට අවශ්‍ය වී තිබුණේ නම් එය සිදු කොට පැන යාමේ හැකියාව ඔවුන්ට තිබුණා. එමෙන්ම, මංකොල්ලකෑමට අවශ්‍යතාවක් තිබුණේ නම් එයද සිදු කොට පැන යාමට හැකියාවක් තිබුණා. එහෙත් පැය දෙකහමාරක් එක් ස්ථානයක රැඳී සිටිමින් කිසිදු කොල්ලකරුවෙකු මෙහෙයුමක් සිදු කළ බවක්, ලංකා ඉතිහාසයේ අප අසා නැහැ. එම නිසා මෙය ඉතාමත් බරපතළ ප‍්‍රශ්නයක් බව කිව යුතුයි.

ඒ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු අවසන් වීමටත් පෙර මංකොල්ලකෑමක් යැයි හුවා දැක්වීමට ආණ්ඩුව උත්සාහ කිරීම ගැටලූවක් බව කිව යුතුයි. එසේ උත්සාහ කරන්නේ ආණ්ඩුවට බරපතළ සැකයක් තිබෙන නිසයි. සාමාන්‍ය සිදුවීමක් බවට පරිවර්ථනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ එම බරපතළ සැකය නිසයි. මේ සිදුවීමට අදාළව වෙබ් අඩවියක පළ වූ ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කලබල වූ ආණ්ඩුව ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් ද නිකුත් කොට තිබෙනවා.

මෙම ස්ථානයට පැමිණි පුද්ගලයින් මංකොල්ලකරුවන්, ඝාතකයින් හෝ වෙනත් පරමාර්ථයකින් පැමිණි පිරිසක් විය හැකි වුවත්, ඔවුන් අතරින් දෙදෙනෙකු හමුදා සේවය කළ අය බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කරනවා. එක් අයෙකු හමුදාවෙන් පැන ගිය අයෙකු බවත්, අනෙක් පුද්ගලයා හමුදාවෙන් පැන ගොස් නැවත සකී‍්‍රය සේවයට වාර්තා කොට හෙට අනිද්දාම ඉවත් කිරීමට සිටි අයෙක් බවද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කොට තිබෙනවා.

 එනම්, එක් පුද්ගලයෙකු හමුදාවේ සකී‍්‍රය සේවයේ සිටින පුද්ගලයෙක් බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පිළිගෙන තිබෙනවා. ඒ අනුව මෙය හමුදාවේ සක‍්‍රීය සේවයේ යෙදී සිටින පුද්ගලයෙකු සම්බන්ධ සිදුවීමක් නම් මේ පිළිබඳව ඇඟිල්ල දිගු වන්නේ කාටදැයි බරපතළ ප‍්‍රශ්නයක් තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් සේවය එම අවස්ථාවේදී කි‍්‍රයා කළ ආකාරය පිළිබඳව අප සතුටු වනවා. එම පොලිස් නිලධාරීන් එම අවස්ථාවේදී එවැනි කි‍්‍රයාමාර්ගයක් නොගත්තේ නම් මන්දනා ස්මයිල් මහත්මියට අත්වන්නට තිබූ ඉරණම සිතා ගැනීමට පුළුවන්.

No comments:

Post a Comment