Thursday 29 August 2013

අවසන් දැනුම්දීමට රනිල්, සජිත් කැඳවයි


Ranil sajith 410pxපසුගිය දින කිහිපයෙහි කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති එජාප රැස්වීම කිහිපයක් ඇමතු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කර ඇති බවටත්, ආණ්ඩුව විවේචනය කිරීම පසෙකලා එජාපයේ අභ්‍යන්තර අර්බුද පිළිබඳව කතා කරමින් පාක්ෂිකයින් දුර්මුඛ කර ඇති බවටත් එම දිස්ත්‍රීක්කයට තරඟ කරන අපේක්ෂකයින් කිහිපදෙනෙකුම රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
වයඹ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොකරවන්නැයි එම අපේක්ෂකයින් ඉල්ලා තිබේ.
මෙවර පළාත්සභා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාව කුරුණෑගල දිස්ත්‍රීක්කය බාරව නම් කලද, ඔහු ටික දිනක් විදේශගතවන බව බැවින් ආසන කිහිපයක් පමණක් බාරගැනීමට එකඟත්වය පළකර තිබේ. ඒ අනුව, තමාගේ අඹන්පොල වත්තේ සිට මැතිවරණ කටයුතු මෙහෙයවිය හැකි වන පරිදි , නිකවැරටිය, යාපහුව, ගල්ගමුව හා වාරියපොළ ආසන 4 තමන්ට වෙන් කර දෙන ලෙස ඔහු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා තිබේ. එජාප මැතිවරණ මෙහෙටුම් කමිටුව ඊට එකගත්වය පළකර ඇත.
ඒ අනුව කුරුණෑගල, පොල්ගහවෙල, මාවතගම, හිරියාල හා දොඩන්ගස්ලන්ද ආසන 5 හි මැතිවරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට පවරා ඇති එජාප මැතිවරණ මෙහෙයුම් කමිටුව, බිංගිරිය, කුලියාපිටිය, දඹදෙණිය, කටුගම්පල හා පඬුවස්නුවර ආසන 5 එජාප මන්ත්‍රී අකිල විරාජි කාරියවසම් මහතා වෙත පවරා තිබේ.
රට යනවා යයි කිවූ ප්‍රේමදාස මහතා, තමන්වෙත පවරා ගත් ආසන පසෙකලා, අකිල විරාජි කාරියවසම් මන්ත්‍රීවරයාට පැවරු ආසන වල රැස්වීම වලට කඩා පනිමින් එම රැස්වීම අවුල් කරන බවටද චෝදනා එල්ලවී ඇත.
මේ අතර, දයාසිරි ජයසේකර මහතා විවේචනය නොකරන ලෙස බදුලු දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාට බලපෑම් කිරීමද, සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ඇති චෝදනාවකි.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන, සජිත් ප්‍රේමදාස මහතා වහාම හෙට කැඳවා කරුණු විමසීමටත්, ඔහුට අවසන් අවවාදය ලබාදීමටත් එජාප නායකයා තීරණය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment