Monday 26 August 2013

චාල්ස් කුමාරයා බණ්ඩාරනායක වලව්වට කැමැත්ත දෙයි


ලබන නොවැම්බර් 15 සිට 17 දක්වා මෙරටදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ ප්‍රධානියා ලෙස සහභාගි වන එංගලන්තයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයා විශේෂිත හේතු මත කොළඹ 07 බණ්ඩාරනායක වලව්වේ නවාතැන් ගැනීමට තීරණය කර ඇති බව අනාවරණය වේ.
මේ සමුළුව සඳහා සහභාගි වන අනෙකුත් රාජ්‍ය නායකයන් නවාතැන් ගැනීමට නියමිතව ඇත්තේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේය.මීට සති දෙකකට පෙර චාර්ල්ස් පිලිප් ආතර් ජෝර්ජ් හෙවත් ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයාගේ විශේෂ ආරක්ෂකයන් ඇතුළු කණ්ඩායමක් මෙරටට පැමිණ චාර්ල්ස් කුමාරයාට සපයන ආරක්ෂාව, සමුළුව පැවැත්වෙන ස්ථාන සහ නවාතැන් ගැනීමට සුදුසු ස්ථානය කුමක්ද යන්න සම්බන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යයනය කර තිබේ.
එහිදී මේ කණ්ඩායම අනෙකුත් රාජ්‍ය නායකයන් නවාතැන් ගැනීමට නියමිත සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයද පුළුල් ලෙස නිරීක්ෂණය කර ඇති අතර අවසානයේදී ඔටුන්න හිමි කුමාරාගේද අනුමතය සහිත බණ්ඩාරනායක වලව්ව තෝරාගෙන ඇති බව හෙළිදරව් වේ. සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා විසින් තම පුත්‍රයා වූ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට වෛද්‍ය ලුසියන් ආර්නෝල්ඩ් එම්මානුවෙල් ද සිල්වාගෙන් මේ සුපිරි නිවෙස මිලදී ගෙන එය බණ්ඩාරනායක වලව්ව නමින් නම් කොට තෑගි කර තිබේ. ඊට පෙර බි්‍රතාන්‍ය රාජකීය හමුදාවේ ඉහළ නිලධාරීන් සහ සොල්දාදුවන් සිය දෙනකු පමණද වරින් වර මේ වලව්වේ නවාතැන් ගෙන ඇත. ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවේ බණ්ඩාරනායක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක යන බණ්ඩාරනායක පවුලේ සුවිශේෂී චරිත මේ වලව්වේ පදිංචි වී සිට ඇත. එසේම හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුණේ මේ නිවෙසේදීය. හිටපු ජනාධිපතිනිය පසුගිය කාලය පුරාම එංගලන්තයේ පදිංචිව සිටි අතර ඇයගේ පුත්‍රයා වන විමුක්ති කුමාරණතුංග සහ දියණිය වන යශෝධරා කුමාරණතුංගද පදිංචිව සිටින්නේ එංගලන්තයේය. බණ්ඩාරනායක වලව්ව මේ වන විට ටිටන්ජල් හෝටලය ලෙස පවත්වාගෙන යයි.

No comments:

Post a Comment