Wednesday 21 August 2013

පාර්ලිමේන්තු සභා ගර්භයට ජීව උණ්ඩයක්


එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් ඊයේ (21) පාර්ලිමේන්තු සභා ගර්භයට ජීව උණ්ඩයක් රැගෙන ඒම නිසා සභාව උණුසුම් විය.
රතුපස්වල සිද්ධිය පිළිබඳව පැවැති විවාදයේ දී මාන්නප්පෙරුම  මන්ත්‍රීවරයා “රතුපස්වල ජනතාව ඉල්ලුවේ වතුර ලැබුණේ උණ්ඩය. මේ උණ්ඩය වැලිවේරිය පල්ලිය භූමියේ තිබිලා අහුලාගත්ත එකක්.” කියමින් එය ප්‍රදර්ශනය කරමින් අදහස් දක්වන්නට විය.

මේ අවස්ථාවේ නැගී සිටි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ඒ.එච්.එම්. අස්වර් මහතා සභාවට ජීව උණ්ඩ ගෙන ඒම සෙසු මන්ත්‍රීවරුන්ට තර්ජනයක් බැවින් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි මූලාසනයෙන් ඉල්ලා සිටියහ.ඒ අවස්ථාවේ මූලාසනයේ සිටි ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය මේ පිළිබඳ වහාම පරීක්ෂණ කර බලන ලෙස වේත්‍රධාරිවරයාට නියෝග කළේය.

අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු උණුසුම් වීම හේතුවෙන් නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා මූලාසනයට පැමිණියේය.ඉන් පසු ඒ.එච්.එම්. අස්වර් මන්ත්‍රීවරයා යළිත් වරක් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් මෙම තත්ත්වය නියෝජ්‍ය කථානායකවරයාගේ අවධානයට ලක් කළේය.

නියෝජ්‍ය කථානායකවරයා
“මන්ත්‍රීතුමා ඔබතුමා ළඟ කොපුවක් තියෙනවනේ. එය වේත්‍රධාරිවරයා වෙත භාර දෙන ලෙස ඉල්ලා සිටිනවා. වේත්‍රධාරියා විසින් එය කොපුවක් ද එසේ නැත්නම් වෙන යම් දෙයක් ද යන්න පරීක්ෂා කරාවි. කතාව අවසන් වූ වහාම එය භාර දෙන්න.”
මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගේ කතාව අවසන් වූ වහාම සහකාර වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පැමිණ අදාළ උණ්ඩය ලබා දෙන ලෙස මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කළ ද මන්ත්‍රීවරයා එය ලබා නොදී සභා ගැබෙන් ඉවතට ගිය අයුරු අප නෙත ගැටුණි.
විවාදය අවසන් කිරීමට ආසන්නව තිබියදී නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශයක් කරමින් පැවසුවේ, අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා විසින් සභා ගැබේ ප්‍රදර්ශනය කළේ පෑන් කොපුවක් බවට මන්ත්‍රීවරයා විසින් වේත්‍රධාරිවරයාට ප්‍රකාශයක් කොට ඇති බවයි.
රුචිර දිලාන් මධුසංඛ/සුරේඛා නිල්මිණි ඉලංගකෝන්

No comments:

Post a Comment