Thursday 1 August 2013

හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පි‍්‍රශාන්ත ජයකොඩි ටමරණීය තර්ජනය ,රටහැර යයි

prishantha jayakody 410pxහිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා සේවය අතහැර ගිය අයෙකු ලෙස සලකන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් එවැනි ලිඛිත කිසිදු ලියවිල්ලක් ඔහුගේ නිවසට මෙතෙක් ලැබී නැතැයි වාර්තාවේ.
ඒ මහතා විසින් භාවිත කළ නිල මෝටර් රථය ද මේ වන විට පොලිස් මූලස්ථානය භාරයට ගෙන ඇති බව 'ශ්‍රී ලංකා මිරර්' ඊයේ (31) වාර්තා කළේය.
රත්නපුර දිස්ත‍්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කල ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා, ඉකුත් ජුනි 29 වෙනිදා පෞද්ගලික සංචාරයක් සඳහා ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් තිබිණ.

ජුලි මස 10 වෙනිදායින් ඔහුගේ නිවාඩු කාලය අවසන් වු නමුත්, මේ වන තෙක් සේවයට වාර්තා කර නොමැත.

එස්.එස්.පී. ප්‍රිශාන්ත ජයකොඩි මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත් කරන ලද්දේ මේ වසරේ පෙබරවාරි 13 දා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් හේතුවෙනි.

එම මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද්දේ, එවකට ඌව පළාත බාර නියෝජ්‍ය පොලිස්පති එම් කේ ලතීෆ් මහතාට රාජකාරිය ඉටු කිරීමට යෑමේදී ආණ්ඩුවේ  ප්‍රාදේශීය දේශපාලනඥයින්  විසින් ඊට එල්ල කරන ලද බාධා සම්බන්ධයෙන් පොලිසියේ ස්ථාවරය පැහැදිලි කිරීමට ය.

මොණරාගල ප්‍රාදේශීය සභාපතිවරයාගේ සොයුරා ගංජා ප්‍රවාහනය කළ ත්‍රීවීල් රථයක් නැවැත්වීමට අණ කිරීම නිසා එම මැර සොයුරා විසින් පොලිස් නිලධාරීන් දෙදෙනකුට ලේ ගලන තුරු පහර දුන්නේය. ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නැයි ආණ්ඩුවේ ප්‍රධානියකු  විසින් නීති විරෝධී ලෙස අණකර තිබුනද,   ලතීෆ් මහතා එය නොසලකා පහර දුන් ප්‍රාදේශීය සභාපතිගේ සොයුරා අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය.

 ඉන්පසු ලතීෆ් මහතාට එරෙහිව දේශපාලන හස්තය ක්‍රියාත්මක වෙද්දී පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා විසින් ආන්දෝලනාත්මක 13 දා නිවේදනය නිකුත් කර තිබිණ.

එම නිවේදනයේ තිබූ පහත දැක්වෙන ප්‍රකාශ ආණඩුවේ  බලවත් කෝපයට හේතුවි තිබිණ.

'' මෙහි සැකකරුවන් බවට පත් වුයේ මොණරාගල ප්‍රදේශයේ දේශපාලන සබදතා ඇති පුද්ගලයින් වූ අතර ඔවුන් මුදා ගැනීම සදහා ප්‍රබල බලපෑම් එල්ල වූ බවට කරුණු වාර්තා වී ඇත. කෙසේ වුවද කිසිදු බලපෑමකට යටත් නොවී පොලිස් නිළධාරීන් විසින් නිවැරදිව නීතිය ක්‍රියාත්මක කර ඇත....
'' මොණරාගල දිස්ත්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා හරහා මෙම සැකකරුවන්ට එරෙහිව නීතිය ඉටු නොකිරීමට ගත් උත්සාහ ව්‍යර්ථ වී ඇත.... ......කෙසේ වූවද රටෙහි පවත්නා ව්‍යවස්ථාපිත නීතිය කඩ කරනු ලබන අවස්ථාවක එම පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිස් නිළධාරීන්ගේ වගකීමකි. මෙම අවස්ථාවේදීද පොලිස් නිළධාරීන් තම වගකීම් නිවැරදිව හා අපක‍ෂපාතීව ඉටු කර ඇති බව අවධාරණය කරමි.''

මෙම නිවේදනයෙන් පසුව මාධ්‍ය ප්‍රකාශක එස්.එස්.පී. ප්‍රිශාන්ත ජයකොඩි මහතා තනතුරින් ඉවත් කර, රත්නපුර දිස්ත්‍රික්කයට ස්ථාන මාරුවක් දෙනු ලැබිය .

ඉන්පසු ඔහුගේ දුරකථනයට ඇමතූ පුද්ගලයෙකු විසින් මරණීය තර්ජන එල්ල කර තිබු  අතර,  ඉන් බිරිඳ සහ දරුවන් ගැනද සඳහන් කරමින් ජීවිතයට ඇති ආශාව ඉවත් කර ගන්නැයිද අවධාරණය කර තිබී ඇත.
එම ඇමතුම පැමිණි දුරකථන අංකය වන 0712 126126 නම් දුරකථන අංකය සෝදිසි කිරීමේදී දැන ගැනීමට ලැබී ඇත්තේ, එම අංකය මොබිටෙල් සමාගම විසින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිකුත් කරන ලද අංකයක් බවයි.
ඉන්පසු ජයකොඩි මහතා රත්නපුරයේ සේවය කරද්දී, රත්නපුර නගර මධ්‍යයේ ඉතාමත් ප්‍රසිද්ධියේ ආණ්ඩුවේ ආශිර්වාදය මත වසර 9 ක් පුරා නිදහසේ නීති විරෝධීව පවත්වාගෙන ගිය කැසිනෝ පොලක් අප්‍රේල් 22 දා වැටලීම හේතුවෙන් යළි මරණ තර්ජන එල්ලවිය.
''උඹට කොච්චර කතා කළත් උඹ ගණන් ගත්තේ නෑනේ. එහෙමනං උඹටයි ගෑණිටයි දරුවන්ටයි මිනීපෙට්ටි ලෑස්ති කරගනින්''  කියා මරණීය තර්ජනය කළ පුද්ගලයා කොතරම් බලවත් වීද යත්,  ඔහු ගාල්ලේ සිට කතා කරන බව කීවේය. පසුව එම දුරකථන අංකය සොයා ඔහු අල්ලා ගැනීමට යෑමේදී  එම පරීක්ෂන නවතා දමන ලෙසට බලපෑම් එල්ලවී තිබිණ.

ඉන් අනතුරුව,ජයකොඩි මහතාට දේශපාලන බලපෑම් එල්ලවූයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති, චන්ඩි මල්ලී ගේ පුත් එම්.කේ අමිල නමැත්තා පනාමුරේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ටී-56 අවියකින් වෙඩි තැබීමට තැත් කොට පසුව එම අවියෙන් පහර දීමේ සිද්ධියේදී ප්‍රදේශය බාර එස්.එස්.පී. වරයා වූ ප්‍රිශාන්ත ජයකොඩි මහතා අමිල රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ සිද්ධියයි.

 එහිදී පහර කෑ එක් පොලිස් නිලධාරියෙක් දින 11 ක් රෝහල් ගත වී සිටි අතර අමිල දේශපාලන රැකවරණ මත සැඟවී සිටියේය. අමිල රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකරන්නැයි ආණ්ඩුවේ ප්‍රබලයින් ගෙන් බලපෑම් ආවද, එය නොතැකූ ජයකොඩි මහතාට දිගින් දිගටම තර්ජන එල්ලවී තිබිණ.

රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ඇප මත නිදහස් වී පැමිණ සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා  ජයකොඩි මහතා අමතා මරණීය තර්ජනය කල බවද මාධ්‍ය වාර්තා කර තිබිණ.

ඒ සමගම එස්.එස්.පී ජයකොඩිට නීතියෙන් ලබා දිය යුතු ආරක්ෂක නිලධාරීන් ඉවත් කර තිබී ඇත.

මෙම තත්වය යටතේ, ජයකොඩි මහතා විදේශ ගත වීමෙන් පසුව ඔහුගේ නවාතැන වෙත පැමිණි නාඳුනන පිරිසක් ඔහු සතුව තිබූ ලිපි ලේඛන අවුස්සා යම් යම් ලේඛන රැගෙන ගොස් තිබේ.

No comments:

Post a Comment