Saturday 10 August 2013

ඕනවට වඩා ජනප්‍රියත්වය පස්සෙ ගියොත් පවුල අතහැරෙනව - අචලා අලස්


අචලා අලස්, කාලෙකට කලින් අපි නිතර දැකපු රුවැත්තියක්. දැන් නිතර නොදැක්කත් ඇගේ රුවනම් අඩු නැහැ කියලා කවුරුත් දන්නවා. මේ දවස්වල අචලා ගැන අලුත්ම ආරංචියකුත් දැනගන්න තියෙන නිසා අපි අචලට කතා කළා. ඇය අපට කීවේ මේ දවස්වල වැඩනම් ටිකක් වැඩියි කියලා. වැඩ වැඩි ඇයි කියලා වගේම පසුගිය තොරතුරුත් අචලා අපිත් එක්ක කතා කළා.
මොකක්ද මේ අලුත් ආරංචිය ?
මගේ දුව මේ මාසේ 14 වැනිදා විවාහ වෙනවා. ඒ නිසා ඒ වැඩවලට එහාට මෙහාට යනවා. මේ දවස්වල වෙනදටත් වඩා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නෙ ඒකයි.

අම්ම කෙනෙක් විදිහට දුවගේ වෙන්වීම ඔබට මොන විදිහට දැනේවිද?
මගේ දුවට වගේම පුතාටත් මම ගොඩක් ආදරෙයි. ඒගොල්ලන් ලොකු මහත් වුනාම අපෙන් වෙන්වෙලා වෙනම ජීවත් වෙනවා. ඉතින් අපි ඒ දේට හැඩගැහෙන්න ඕන. හිතේ දුකක් නැතුව නොවෙයි. ඒ දෙවියන්ගේ කැමැත්ත. මගේ දුව හැමදාම මගෙ ළඟ තියාගන්න බෑ. දුව විවාහවෙලා ගියත් අපෙන් වැඩි ඈතක යන්නැති නිසා ‍පොඩි සැනසීමක් තියෙනවා.

ඇයි අචලා එහෙම කියන්නේ?
දුව පදිංචි වෙන්නේ අපේ පාරට එහා පාරෙන්. කොහොමත් එයා අපේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා ඉන්න නිසා නිතර නිතර හමුවෙනවා.

ඇයි එකවරම ඔබ රංගනයෙන් ඈත් වෙලා ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වන්නේ?
මම රඟපෑවේ විනෝදාංශයක් විදිහට. රංගනයෙන් ඉවත් වෙන්න ප්‍රධානතම හේතුව වුණේ මගේ පවුල වෙනුවන් යුතුකම් නොපිරිහෙලා ඉටුකරන්න ඕන කියලා හිතුන නිසා.ගොඩක් අය හිතන්නේ රංගනයෙන් ලැබුණු ආදායම මදිවුණු නිසා මම ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වුණේ කියලා. ඇත්තටම සැමියට මගේ සහයෝගය අවශ්‍ය වුණ නිසයි ව්‍යාපාරවලට යොමු වුණේ.

රංගනයෙන් ඈත් වුණාට පස්සේ ඔබේ ජීවිතය වෙනස් වුණාද?
ඔව්. මට මගේ ළමයි වෙනුවෙන් ඒ අයත් එක්ක ගෙදර ඉන්න කාලය ලැබුණා. නිළියක් වුණා නම් ගෙදර යන්න ඉන්න වෙලාවක් නැහැනෙ. ඒ නිසා අද මම සතුටු වෙනවා  එදා ගත්ත තීරණය හරි කියලා.

රංගනයෙන් ඈත් වීම ගැන කවදාවත් අචලා පසුතැවිලි වුණේ නැද්ද?
‍පොඩ්ඩක්වත් නෑ. මට කවදාවත් එහෙම පසුතැවීමක් ඇති වෙලා නෑ. මොකද මම කළේ මට හරියි කියලා හිතුණු දේ.

සැමියා කවදාවත් ඔබේ රංගනයට විරුද්ධ වුණේ නැද්ද?
එයා කැමතියි මගේ රඟපෑම් දකින්න. විජිත මගේ කලා කටයුතුවලට ලොකු සහයෝගයක් ලබා දුන්නා. අදටත් මට එයා ලොකු නිදහසක් දීල තියෙනවා. ඒත් මගේ පුතා කැමති නෑ මම රඟපාන්න යනවට. එයා කැමති එයා ගාව මම හැමවෙ‍ලේම ඉන්නවට.

රංගනයෙන් ඈත් වුණාට පස්සේ නැවත රඟපෑමට ආරාධනා ලැබුණේ නැද්ද?
ගොඩක් ආරාධනා ලැබුණා. මේ අවුරුද්දෙත් චිත්‍රපටයකට කතා කළා. ඒත් ඒ හැමදේටම වඩා මට මගේ පවුල වටිනවා. දුව විවාහ වුණාට පස්සේ පුතාගේ වැඩ කටයුතුවලට සම්පූර්ණ කාලය යොදවන්න ඕන. විශේෂයෙන් එයාගේ අධ්‍යාපනය ගැන හොයලා බලන්න ඕන. මට ඇත්තට ලෝබයි මගේ පවුලෙන් ඈත්වෙලා රඟපාන්න යන්න.

 අචලා මෙච්චර පවුල වෙනුවෙන් කැප කිරීම් කරනවා. ඇයි අද රංගන ශිල්පීන්ට බැරි තමන්ගෙ  පවුල රැකගන්න?
හැමදේකටම දෙපැත්තක් තියෙනවා. දෙපැත්තම හොඳ නම් එක්කෙනාට එක්කෙනා තේරුම් අරන් තියෙනවා නම් ගොඩක් දුරට ‍ලේසියි පවුල් ජීවිතේ සාර්ථකව තියාගන්න. මමත් ජනප්‍රිය වෙන්න ඕන කියලා ඒ පස්සේම ගියානම් මගේ ජීවිතේ අසාර්ථක වෙන්න තිබුණා.

ඇත්තටම ජනප්‍රියත්වය නිසා පවුල් අවුල් වෙනවද?
ජනප්‍රිය වෙනකොට කාර්ය බහුල වෙනවා. තමන්ගේ පවුල වෙනුවෙන් ගත කරන කාලය අඩු වෙනවා. අපි හිතන්න ඕන ජනප්‍රියත්වය කියන දේ හැමදාම නෑ. තාවකාලික දෙයක් කියලා. කවදහරි තමන්ට ඉතිරිවෙන්නෙ තමන්ගෙ පවුල. ඒ නිසා ඕනවට වඩා ජනප්‍රියත්වය පස්සෙ ගියොත් තමන්ගෙ පවුල අතහැරෙනවා.

ඒ කාලෙත් මේ වගේ නිළියන්ට කටකතා හැදුනද?
ඔව්. එදා මේ තරම් මාධ්‍ය තිබුණේ නෑ. ඒ නිසා අද වගේ ලොකු ප්‍රසිද්ධියක් ලැබුණේ නෑ. එක අතට එය මේ ක්ෂේත්‍රයේ හැටි.

එදා ඔබත් එක්ක රඟපාපු අය තවමත් කතාබහ කරනවද?
විශේෂයෙන් එහෙම සම්බන්ධතාවක් නෑ. මගතොටේදී හමුවුණොත් කතා කරනවා ඇරෙන්න විශේෂ කතාබහක් නෑ.

අලුත් නළුනිළියන්ගේ දක්ෂතා ගැන මොකද හිතන්නෙ?
කා ගැනවත් විනිශ්චයක් කරන්න අයිතියක් නෑ මට. ඒ අයිතිය දෙවියන්ට විතරයි තියෙන්නේ. තවත්් කෙනෙක් උසස් කරන්නවත් පහළට දාන්නවත් මට බෑ.

ව්‍යාපාර වැඩවලට ඔබේ දක්ෂතාව මොනවගේද?
අපට ආරක්ෂක සේවා ආයතන දෙකක් තියෙනවා. ඒ වොච් ගාර්ඩ් සහ ගිල්බන් නමින්. මීට අමතරව “තොටුපළ, සහ ‘ඇල්ල ඇඩ්වෙන්චර් පාර්ක්’ නමින් සංචාරක හෝටල් දෙකක් තියෙනවා. මගේ සැමියා විජිත වැලිකල තමයි මේ සියල්ල කරගෙන යන්නේ. මමත් මේවාට දායකත්වය ලබා දෙනවා. අලුත් අදහස් දෙනවා. තරුණ නොවුනත් අපි ක්‍රියාශීලීව ඉන්න කැමතියි. ඒ ක්‍රියාශීලී බව අපි අපේ ව්‍යාපාරවලට යොදවන්නයි නිතරම උත්සාහ කරන්නේ.

මේ හැමදේම එක්ක කොහොමද ඔබ මේ තරම් ලස්සනට ඉන්නෙ?
මම කනබොන දේවල් ගැන ගොඩක් පරිස්සම් වෙනවා. හැමදාම පුරුද්දක් විදිහට මම ව්‍යායාම කරනවා. ඒ වගේම මම හිතනවා මගේ තරුණ පෙනුමේ රහස මනස නිරවුල්ව තියෙන නිසා කියලා. ඒ වගේම මානසික ආතතිය කියන දේ මට ඇත්තෙම නෑ. මේ හැමදේටම හේතුව මට ආදරණීය සැමියෙක් ඉන්න එක.

කවුරුත් කියලා නැද්ද අම්මයි දුවයි එක වගේ කියලා?
ගොඩක් අය එහෙම කියනවා.

ඔබේ ඉදිරි බලා‍පොරොත්තු?
ඉදිරියේදී හොඳ නිර්මාණයකට දායක වෙන්න බලා‍පොරොත්තු වෙනවා. හැබැයි පුතාගේ වැඩකටයුතු ඉවර වුනාම. ඒ වගේම තවදුරටත් දයාබර බිරිඳක් ලෙස වගේම යුතුකම් ඉටුකරන මවක් විදියට ජීවත් වෙන්න බලා‍පොරොත්තු වෙනවා.
තිළිණි මධුවන්ති
ඡායාරූප - චමිල කරුණාරත්න

No comments:

Post a Comment