Saturday 10 August 2013

මම දැන් පෙම්වතියක් - රංසි රණසිංහ


චතුර කථිකත්වයක් තිබූ පමණින් නිවේදකයෙකු බිහි වන්නේ නැත. හොඳ සන්නිවේදකයා සන්නිවේදනයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. කොළඹ සරසවියෙන් සන්නිවේදන උපාධියත් කැලණි සරසවියෙන් සන්නිවේදන පශ්චාත් උපාධියත් සම්පූර්ණ කළ රංසි රණසිංහ නිවේදිකාවකටත් වඩා හොඳ සන්නිවේදිකාවක වීමේ අරමුණින් නිවැරැදි පියවර තබන්නියක්. මේ දිනවල ඇගේ ජීවිතයේ සිදුවන්නට යන අලුත් වෙනසක ඉඟියත් හිතේ තබාගෙනම මෙවර අපි ඇගේ හඬට සමීප වූණෙමු.


රංසි මේ දවස්වල කාර්යබහුලයි වගේ.
ඔව්නේ. මගේ වෙඩින් එකට සූදානම් වන නිසා ටිකක් විතර කාර්යබහුලයි.


• විවාහය දක්වාම දුරදිග ගිය ඒ සම්බන්ධතාව මොකක්ද කියලා අපටත් කියනවද........?
ඇයි නැත්තේ. එයා අපේ පවුලේ කට්ටිය දන්න කෙනෙක්. මගේ අයියා කෙනෙක්ගේ හොඳම යාළුවෙක් තමයි එයාගේ අයියා. ඉතිං කොහොම හරි අන්තිමට එයා මට කතා කළා. ඒ වෙලාවේ අපි ගැළපෙනවා කියලා හිතුණා.


•තවම වටේ යනවා විතරයිනේ. එයා කවුද කියලා කෙලින් කියන්න අකැමැතියි වගේ.........
ම්.... මෙහෙමයි එයාගේ නම රජිත. තොරතුරු සන්නිවේදන ක්‍ෂේත්‍රයේ (ධ්ඊ) රැකියාව කරන්නේ. මගේ ක්‍ෂේත්‍රයට සම්පූර්ණයෙන්ම වෙනස් වෘත්තියක නිරතවෙලා ඉන්නේ. ඒ වුණාට අපි අදහස්වලින් හොඳින්ම ගැළපෙවා. ඒකයි මම ඔහුට කැමැතිවුණේ.


• විවාහයෙන් පස්සේ රංසිට සීමා පැනවෙයිද?
අනේ නෑ...... කොහොමටත් මම දැනටත් කටයුතු කරන්නේ නිදහස් නිවේදිකාවක් විදියටනේ. ඒ නිසා මට ඕනතරම් නිදහස තියෙනවා. විවාහයෙන් පස්සෙත් ගෙදර වැඩ කරගෙන ඉන්න මට නිදහස තියෙනවා. ඒ නැතත් ඔහු එහෙම නීති පනවන කෙනෙක් නෙවෙයි.


• නිවේදිකාවක් වීම ඔයාට දැනෙන්නේ කොහොමද.......?
නිවේදනය කියන්නේ පුංචි කාලේ ඉඳලම මම ආසාවෙන් හිටපු දේ. මට අවශ්‍යවෙලා තිබුණ දේත් ඒක. ඉස්කෝලේ දහයේ පන්තියේ තමයි මම උපාධියට ජනසන්නිවේදනය හදාරනවා කියලා තීරණය කළේ. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේදී ජනසන්නිවේදන උපාධිය හැදෑරුවා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදන පශ්චාත් උපාධිය හැදෑරුවා. ඉතින් නිවේදිකාව කියන තැනට ආවේ පියවරෙන් පියවර උත්සාහ අරගෙන. මට ඕන වුණේ නිවේදිකාවක් වෙනවටත් වඩා හොඳ සන්නිවේදකයෙක් වෙන්න.


• දැන් ඒ හොඳ සන්නිවේදකයා බිහිවෙලාද?
සන්නිවේදකයා කියන කෙනාට දැන් මම ඔක්කොම කරලා ඉවරයි කියලා ඉන්න බෑ. මේක දුර ගමනක්. මම ඒ ගමනට අවශ්‍ය දේවල් ටික ටික එකතුකරගෙන ආවා. මම මට පුළුවන් කාලයක් ඉදිරියටත් ඒ ගමන යනවා.


• රූපවාහිනි තිරය ඉදිරියේ නිවේදිකාවක් වෙන්න ලැබුණේ කොහොමද.......?
මම කැම්පස් ඉදිද්දි මාධ්‍ය ඒකකයේ හිටපු යාළුවෙක් ස්වර්ණවාහිනියට සම්බන්ධ වෙලා හිටියා. එයා තමයි කිව්වේ ස්වර්ණවාහිනියට නිවේදිකාවන් ගන්නවා කියලා. ඉතිං මම සම්මුඛ පරීක්‍ෂණයට ගිහින් ඒකෙන් සමත් වුණා. මාව තෝරාගත්තේ හේම නලීන් කරුණාරත්න සහ කැලුම් පාලිත මහීරත්න කියන මහත්වරුන්.


• රංසි හිතාගෙන ඉන්නේ ඔයා ලංකාවේ අංක එකේ නිවේදිකාවක් කියලද........?
මට මං ගැන බොහොම පැහැදිලි දැක්මක් තියෙනවා. මම ඇයි මේ ක්‍ෂේත්‍රයට ආවේ. මොකක්ද මම කරමින් ඉන්නේ කියලා මම දන්නවා. මිනිස්සු ආමන්ත්‍රණය කරනවා කියන්නේ භාරදූර වැඩක් කියලත් මම දන්නවා. මම ඒ අවබෝධයෙන් තමයි මේ වෘත්තියේ නිරත වෙලා ඉන්නේ. මට වසරේ හොඳම නිවේදිකාවට හිමි සම්මානය පවා ලැබිලා තිබෙනවා. සම්මාන ගන්න බලාගෙන නිවේදන කරන්නේ නෑ. ඒත් මං කරන වැඩේ හොඳට කරන්න නම් උත්සාහ ගන්නවා.


• සුමති සම්මාන උළෙලේ හොඳම නිවේදිකාව බිහි කළේ ස්වර්ණවාහිනිය. දැන් ඒ නිවේදිකාව ජාතික රූපවාහිනියේ. ඇයි මේ මුල අමතක කළේ........?
මම ඒ ඉඳපු තැන අවතක්සේරු කිරීමක් කළේ නෑ. මම හොඳටම දන්නවා මම අද මෙතැන ඉන්න වගේම නමක් හදාගන්න අවකාශය දුන්නෙත් ස්වර්ණවාහිනිය. ඒ පිළිබඳ සම්පූර්ණ ගෞරවය හැමදාටම මගේ හිතේ තියෙනවා.


• ස්වර්ණවාහිනියෙන් යන්න තීරණය කළේ ඇයි.........?
මට නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරන්න අවශ්‍ය වුණා. ඒත් ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ එහෙම ඉන්න බෑ. ඉතිං මම හිතුවා වඩාත්ම සුදුසු දේ එතැනින් ඉවත්වෙන එක කියලා. ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයට නිදහස් නිවේදිකාවන්් සම්බන්ධ කරගන්න නිසා මම ඒ ආයතනයත් සමඟ සම්බන්ධ වුණා. ඒ ඇරෙන්න මගේ කිසිම තරහක් නෑ. මම ස්වර්ණවාහිනිය එපාවෙලා දමලාගහලා ආවා නෙවෙයි.


• ස්වර්ණවාහිනියේ රංසිට ජාතික රූපවාහිනියට හැඩගැසෙන්න පහසු වුණාද........?
මේ නාළිකා දෙකේ ආකෘති වෙනස් වුණාට මම සන්නිවේදකයානේ. මගේ භූමිකාව සන්නිවේදනය කිරීම. එතකොට මම දැනගන්න ඕන රෝමෙට ගියාම රෝමන් කෙනෙක් වගේ ඉන්න. බැලූ බැල්මට ආකෘති වෙනස් වුණාට ස්වර්ණවාහිනියේ හිටියෙත් බොහොම වගකීමෙන් වැඩකරන නිවේදිකාවක්. ජාතික රූපවාහිනියේ ඉන්නෙත් එහෙම කෙනෙක්. වෙනසක් වුණා නම් ඒ බාහිරින් විතරයි.


• රංසි ජාතික රූපවාහිනියට ආවට පස්සේ ප්‍රවෘත්ති නිවේදනයට විතරක් කොටුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?
මුලින්ම ජාතික රූපවාහිනියේ නිවේදිකාවක වීම භාග්‍යයක් විධියට මම දකිනවා. නමුත් පෞද්ගලිකව මම වඩාත් කැමැති වැඩසටහන් ඉදිරිපත් කරන්න. මම හිතනවා මම වැඩිපුරම දක්‍ෂත් ඒකට කියලා. මට කැමැත්තෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වැඩසටහනක් ලැබුණොත් මම භාරගන්නවා. එහෙම නැතුව ලැබෙන ඕනම වැඩසටහනක් භාරගන්න මම කැමති නෑ.


• විවාහයෙන් පස්සේ රංසිගේ ජීවිතයේ බලාපොරොත්තු අලුත්වෙන්නේ කොහොමද.......?
හැමෝම වගේ මගේ සැමියත් එක්ක සතුටින් ජීවත්වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම සුළුවට ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඒ සියලු කටයුතු එක්ක මගේ නිවේදන වෘත්තියත් උපරිමයෙන්ම සාර්ථක කරගන්නවා.



වාසනා සුරංගිකා විතානගේ
ඡායා - අසන්ත ගමආරච්චි

No comments:

Post a Comment