Saturday 10 August 2013

ලංකාව කියන්නේ පාරාදීසයක්...


මිහිකත පුරා විසිරී සිටින බිලියන 07කටත් වඩා වැඩි ජනගහනය අතුරින් 2012 වසරේදී සොබා දහමේ සොඳුරුම රුවැත්තිය තෝරාගනු ලැබුවා. ඇයව බිහි කරන්නට තරම් වාසනාවන්ත වුණේ මධ්‍යම යුරෝපයේ චෙක් කියන (Czech Republic) පුංචි සමූහාණ්ඩුව. බටහිරින් ජර්මනියටත්, දකුණින් ඕස්ටි්‍රයාවටත්, නැඟෙනහිරින් ස්ලොවැකියාවටත් උතුරින් පෝලන්තයටත් මැදිව පිහිටි චෙක් සමූහාණ්ඩුවේ 1,05,13,203ක් තරම් වූ ජනගහනයෙන් මේ කිරුළ අයිති වුණේ තෙරේසාට (Tereza fajksova).
32162_10.jpg

රන්පාට හිසකෙස්, සිහින් උස සිරුර, නිල්පාටට දිලිසෙන ඇස් සැබවින්ම ඇය සොබාදහමේ අපූරුම නිමැවුමක්. පසුගිය දවසක ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටි ඇය දුටු බොහෝ ශ්‍රී ලාංකිකයන්ටත් ඒ බව හොඳින්ම තහවුරු වී තිබුණා. මධ්‍යම යුරෝපයේ, මුහුද අයිතිවත් නැති රටක ඉඳලා ඉන්දියන් සාගරයේ මුතුඇටය හොයාගෙන සත්සමුදුර තරණය කරපු තෙරේසා මේ පොළොවට ගොඩක් ඇලුම් කළා. දෙරණ රූපවාහිනියේ සුවිශේෂී ආරාධනාවකට ලංකාවට ආපු ඇය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රකාශක සහ තානාපතිනිය බවත් අමතක කර තිබුණේ නෑ. ඒ නිසාම පසුගිය මාසේ 29 වැනිදා උදේ 8.30ට තෙරේසා ශ්‍රී ලාංකික පුරවැසියන් සමඟ හරිත පාගමනකටත් සම්බන්ධ වුණා. මේ සොඳුරු රුවැත්තිය අපේ රටේ ගහකොළට, දේශගුණයට, වටපිටාවට මෙතරම් ඇලුම් කරන්නේ ඇයි...? මේ හැම පැනයකටම පිළිතුරු දෙන්න නිහතමානීව ඉදිරිපත් වුණේ මිහිකත රූ රැජින කිරුළ හිමි තෙරේසාමයි.


චෙක් සමූහාණ්ඩුවෙන් ලංකාවේ වෙරළට ගොඩ බැහැපු පුංචි මුතුකැටය තෙරේසා ෆැජ්ක්සෝවා අපිට හමුවුණේ ආයෙත් තමන්ගේ මවු රටට යන්න මිනිත්තු කීපයකට කලින්.


"මිස් අර්ත් වෙන්න ලැබීම මට ආඩම්බරයක්. ඒ වගේම ඒ කිරුළ මට ගෞරවයක්. මිස් අර්ත් කියන කිරුළ පැලඳූ මොහොතේ ඉඳලම මට ඒ ජයග්‍රහණයේ ලොකු වගකීමක් දැනෙනවා. ඉතිං මම ඒ වගකීම වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී ඉන්නවා. පරිසරය සුරැකීම සම්බන්ධයෙන් ළමයින්ව, තරුණයන්ව, වැඩිහිටියන්ව දැනුම්වත් කරන්න මම සූදානම්. මගේ රටේදී වගේම ලෝකේ ඕනෑම තැනකදී පරිසරය සුරැකීම වෙනුවෙන් මම පෙනී සිටිනවා. එතැනදී වැදගත්ම දේ තමයි මාධ්‍ය. මොකද මාධ්‍ය හරහා තමයි මිනිස්සු විශාල පිරිසක් දැනුම්වත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම ගොඩක් කැමැතියි මාධ්‍ය එක්ක වැඩ කරන්න." තෙරේසා තමන්ගේ අරමුණට යන්න මාධ්‍ය ආයතනවල තිබෙන වටිනාකම හරි අපූරුවට පැහැදිලි කරද්දී ලංකාව දැක්කම මොකද හිතෙන්නෙ කියලා අහන තරමට අපිත් ළෙංගතු වුණා.


"ලංකාවට එන්න සූදානම් වෙද්දී මම හිතුවේ ලංකාව කියන්නේ තවත් එක් ආසියානු රටක් විතරයි කියලා. ඒත් ලංකාවේ ගුවන් තොටුපළෙන් මේ රටට ඇතුළු වෙද්දීම මට හිතුණා ලංකාව කියන්නේ පාරාදීසයක් කියලා. ලංකාව වටේටම තියෙන නිල් පාට මහ මුහුදට මම හුඟක්ම කැමැතියි. මොකද මගේ රටේ මුහුදක් නෑ..."
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රකාශක සහ තානාපතිනියද වූ තෙරේසාට ලංකාවේ පාරිසරික වටපිටාව දැක්කම මොනවා හිතෙන්න ඇතිද...?


"ලංකාවේ මිනිස්සු පිරිසුදුවට ඉන්න ගොඩක් කැමැතියි කියලා පේනවා. මම ඔයාලා සංවිධානය කරපු හරිත වැඩසටහන්වලට සහභාගි වුණේ ගොඩක් කැමැත්තෙන්. මම දැකපු විදියට කොළඹ නගරය ලස්සනට තියාගන්න හොඳ සැලැස්මක් තියෙනවා. මම හිතන්නේ ගමත් ඒ වගේම පිරිසුදුවට ඇති. ලංකාවෙ දේශගුණයටත් මම හරිම කැමැතියි.


තෙරේසා ලංකාවට ආවේ දෙරණ රූපවාහිනියේ විශේෂ ආරාධනයෙන්. ලංකාවේ රූප රාජනී තරගාවලියක් විනිශ්චය කරන්න ජාත්‍යන්තර තලයේ ජයග්‍රාහිකාවක් සම්බන්ධ වන පළමු අවස්ථාව මෙවර "මිස් වීට්" තරගාවලිය කියලත් අපට දැනගන්න ලැබුණා. එන වසරේ සිට මිස් වීට් තරගාවලිය "මිස් අර්ත්" නමින් පවත්වන බවත් දෙරණ සංවිධායක මණ්ඩලය අපට කිව්වා.
ලංකාවට සමුදෙන්න කලින් තෙරේසාගේ අන්තිම ඉල්ලීමත් සමඟම මේ සොඳුරු සටහනේ නිමාව තියන්නයි අපේ සූදානම.


"ලෝකේ කොහේ හරි තැනක පොලිතින් කවරයක් වැටිලා තියෙනවා දැක්කොත් ඇහිඳලා දාන්න මට පුළුවන්. සිගරට් බොන කෙනෙක් දැක්කොත් ඔය වැඩේ වැරැදියි කියලා පෙන්වලා දෙන්න මට පුළුවන්. ඉතින් ආගන්තුක සත්කාරයට හුඟක්ම ළැදි ලංකාවේ මිනිස්සු මගේ ඉල්ලීම අහක දාන්නේ නැතිවේවි. අපි මේ පරිසරයට හුඟක් ආදරය කරමු. ඔයාලා වගේම ඔයාලගේ රටට මමත් ආදරෙයි.


වාසනා සුරංගිකා විතානගේ
ඡායා - අරන්ත සිරිමාන්න

No comments:

Post a Comment