Monday 5 August 2013

උතුරේ ‍පොරොන්දු සහ මනාප අතර තරගය

උතුරු පළාත් සභාවට තරග කරන දේශපාලන පක්ෂ අතර පළාත් සභා ඡන්ද සටන ආරම්භ වී තිබෙන මොහොතේ දෙමළ ජාතික සන්ධානය තුළ මනාප ‍පොරය උග්‍ර අතට හැරී තිබෙන බව පෙනෙන්නට ඇත.
මනාප ‍පොරය අතරතුරම දෙමළ ජාතික සන්ධානයේ නායකයින් පක්ෂ වශයෙන් බෙදී තම අපේක්ෂකයින් දිනා ගැනීමේ සටනක් ආරම්භ කර ඇත. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ පහ එනම් ඉලංගයි තමිලරසු කච්චි, ප්ලොට්, ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ යන පක්ෂ මේ වනවිට ජනතාව වෙන් කර ගෙන තම අපේක්ෂකයින් දිනවීමේ උපරිම වෑයමක නිරතව සිටියි.
මේ පක්ෂ අතරින් සාමය, සමගිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය මුල්කර ගෙන ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ වගේම සන්නද්ධ ව්‍යාපාරය ගැන විශ්වාසය තබා කටයුතු කරන දේශපාලන පක්ෂද තිබේ.
මෙහිදී විශේෂයෙන් සන්නද්ධ අංශයේ කලින් සිටි පක්ෂ වනුයේ ඊ.පී.ආර්.එල්.එෆ්. ප්ලොට්, ටෙලෝ යන පක්ෂයන් වේ. එම පක්ෂ තුනෙන් කොටි සංවිධානය සහ එක්ව සිටි පක්ෂ දෙකක් තිබේ. එනම් ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එෆ්. ය. ප්ලොට් සංවිධානයද සන්නද්ධ අරගලයේ සිටි දේශපාලන පක්ෂයක් වුවද ඔවුන් මුල සිට අවසානය දක්වාම කොටි විරෝධී පක්ෂයක් ලෙසම ක්‍රියාත්මක විය.
මේ නිසා කොටි සංවිධානය විනාශ කරන තෙක්ම කොටින්ගේ තර්ජන හමුවේ සැඟවී සිටි පක්ෂය ප්ලොට්ය. එහෙත් අවසානයේද දේශපාලනමය වශයෙන් ජනතාව අතරට පැමිණීම නිසාම දෙමළ ජාතික සංවිධානය සමග එක්ව සිටිති.
මෙහි විශේෂත්වය වනුයේ කොටි සංවිධානය හා සමගියෙන් කටයුතු කළ දේශපාලන පක්ෂ සිය අපේක්ෂකයින් ලෙස කොටි ක්‍රියාකාරීන් හෙවත් ප්‍රධාන පෙළේ කොටි සාමාජිකයින්ද උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කර තිබිමය.
එම කොටි සාමාජිකයන් අතර තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලන පක්ෂ හා එම නායකයින් සමගද දෙමළ ඩයස්‍පෝරාව සමගද සමීප සබඳතා පවත් වමින් ඔවුන්ගේ උදව් උපකාර මෙන්ම ආධාර ලබාගත හැකි ප්‍රබල රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයෙක්ද උතුරු පළාත් සභාවට තරග කරයි.
මේ අතර ආණ්ඩුවට මෙවර ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයින් පිළිබඳව ජනතා ප්‍රසාදය ඉහළ මට්ටමක පැවතීම නිසා එය කෙසේ හෝ බිඳ දැමීමට දෙමළ ජාතික සන්ධානය කුමන්ත්‍රණ කරමින් සිටින බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනතා විරෝධයට ජනතාවට හිංසා සිදුකළ සන්නද්ධ කණ්ඩායම්වලට සම්බන්ධ වූ කිසිවකුට අපේක්ෂකත්වය පිරිනැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කළේ නැත. ඊට මූලිකම හේතුව වූයේ තිස් වසරක් අවියට යටවී සිටි ජනතාව එවැනි අදහස් දරන අයෙකු යටතට යළිත් පත් නොකළ යුතුයි යන්නයි. එම අරමුණ ඒ ජනතාවට පැහැදිලි කර දීමට ආණ්ඩුව මතෛක් පියවර ගෙන නැත.
මෙවර පළාත් සභා මැතිවරණයට නාමයෝජනා ලබා ගැනීම සඳහා කොටි සංවිධානයේ හිටපු නායකයන්, සාමාජිකයන් පනස් දෙනකු අයැදුම් කර තිබුණු අතර එයින් කිසිවකුටත් නාමයෝජනා ලබා නොදුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් පරිසර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තර මහතා කියා සිටියේය.
අනෙක් අතට කොටි ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමෙන් පසු උතුරේ ඉතිරි වී තිබුණේ නටබුන් පමණි. නිවාස බිත්ති තිබුණද  වහලය දොර ජනෙල් තිබුණේ නැත. සමහර ගෙවල්වල විශාල ගස් පැළවී තිබුණි. ඒ ගෙවල් වැඩි ප්‍රමාණයක් කොටි අල්ලා ගෙන බංකර් බවට පත් කර ගෙන සිටියහ. එම ගෙවල් ඉඩම් අයිතිකරුවන් සිටියේ අවතැන් කඳවුරුවලය.
එදා කොටි ත්‍රස්තවාදීන් ජනතාවට එලෙස  හිරිහැර කිරීමේදී එය නිවැරදි යැයි අනුමත කරමින් කොටින්ගේ අතකොලුවන් ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධාන නායකයින් අද හමුදාවට විවිධ චෝදනා එල්ල කරති. යුද්ධය නිමාවට පත්වීමෙන් පසු උතුරේ ආරක්ෂක හමුදාව එම ජනතාවගේ නිවාස පිළිසකර කර දී ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මෙන්ම යටිතල පහසුකම් සැලසීමට විශාල වෙහෙසක් මෙන්ම දායකත්වයක් දැරීය. ලක්ෂ 5ක් 6ක් වැය කර ඉදිකළ යුතු නිවසක් රුපියල් ලක්ෂයක පමණ මුදලින් ඉදිකර දීමට ආරක්ෂක අංශ සමත් වූහ. මෙවැනි සේවාවන් නිසාම ආරක්ෂක හමුදාව කෙරේ ජනතාවගේ විශ්වාසයත් සුහදත්වයත්. ගොඩනැගී තිබිම අද දෙමළ ජාතික සන්ධානයට එල්ල වී තිබෙන ඉහළම අභියෝගය වී ඇත. මෙම අභියෝගය මේ පළාත් සභා මැතිවරණයට සෘජුවම බලපාන හෙයින් ආරක්ෂක හමුදාව හා සාමාන්‍ය වැසියන් අතර ගැටීම් ඇතිකර දීමට දෙමළ ජාතික සන්ධානය සැලසුම් කරමින් සිටියි.
මේ අතර උතුරේ ආරක්ෂක හමුදාව ඉවත් කළ යුතු බවට යළිත් හඬනගන්නට ආර්.සම්බන්ධන් පියවර ගෙන සිටියි. උතුරේ ආරක්ෂක හමුදාව ක්‍රමනුකූලව ඉවත් කිරීමට පසුගිය කාලය පුරාවට හමුදාපතිවරයා කටයුතු කළේය. මේ ගැන කතා කරමින් ආර්.සම්බන්ධන් පසුගියදා කියා සිටියේ හමුදාව අඩු කිරීමක් සිදු වී නැති බවය. ඔවුන්ට අද අවශ්‍ය කර ඇත්තේ උතුරේ හමුදාව හා ‍පොලිසිය ඉවත් කර දෙමළ ජාතික සන්ධානයේ කැලෑ නීතිය රජ කර වීමටය. එදා කොටි කළ දේ කරන්නට අද දෙමළ ජාතික සන්ධානය උත්සාහ කරමින් සිටී. ඒ බව ජනතාවට පැහැදිලි කර දීමට ආණ්ඩුව ප්‍රමාද නොවිය යුතුය.
අද දෙමළ ජාතික සන්ධානයට කිලිනොච්චියෙන් එල්ල වී තිබෙනා ඉහළම අභියෝගය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද එහි සංවිධායිකා ගීතාංජලී නගු‍ලේෂ්වරන්ගෙන්ය. ඒ ආකාරයෙන්ම යාපනයෙන්ද දෙමළ ජාතික සන්ධානයට ඉහළම අභියෝගයක් එල්ල කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඥානශක්ති ශ්‍රීදරන්ව අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් කර තිබේ. කොටි ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රබල සටනක් මෙහෙයවමින් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර දීම සඳහා වෙහෙසී කටයුතු කළ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ වර්ධරාජා පි‍ලේ නායක ටී.ශ්‍රීධරන්ගේ භාර්යාව වූ ඥානශක්ති ශ්‍රීධරන් යාපනයේ කාන්තාවන් අතර සුප්‍රසිද්ධ චරිතයකි. ඇය කාන්තා ජනතා මෙහෙවරට එක්වන්නේ 1975 දීය. එදින පටන් කොටි අභියෝග හමුවේ වුවද  කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කළ ඥානශක්ති මෙවර පළාත් සභාවට තරග කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිකාවක ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේය.
දෙමළ ජාතික සන්ධානය කාන්තාවන් කුස්සියට පමණක් සීමා කළ යුතුයි යන හණමිටි ච්ෙතනාවෙන් කටයුතු කරන මොහොතක ඔවුන්ගේ ප්‍රතිපත්තියට එරෙහිව කාන්තාවන්ගේ ජීවන තත්ත්වය මෙන්ම අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත්ව කටයුතු කළ ඇයට කොටින්ගේ තර්ජන එල්ල වූ අවස්ථාද නැතුව නොවේ. 1982 කොළඹ දී පැවැති ජාත්‍යන්තර කාන්තා දිනයට උතුරේ සිට කාන්තාවන්  පිරිසක් කොළඹට රැගෙන විත් සහභාගි කරවමින් ඇය කාන්තා අයිතිය පිළිබඳ කරන ලද කතාව කොටින්ගේ වෛරයටද හේතු විය. එදා කාන්තා අයිතිය ගැන කතා කරමින් කොටින්ගේ වෛරයට පාත්‍ර වූ ඥානශක්ති අද වැන්දඹු කාන්තාවන් ප්‍රමුඛ උතුරේ කාන්තා පරපුරේ අයිතීන් වෙනුවෙන් උතුරු පළාත් සභා මැතිවරණයට තරග කිරීම දෙමළ ජාතික සන්ධානයේ වෛරයට හේතු වී ඇත.
ආණ්ඩුව උතුරු පළාත් සභා මැතිවරණය සඳහා සුදුසුම අපේක්ෂක කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙන බව පෙනේ. ඒ අපේක්ෂකයන් හරහා ජනතා හද දිනා ගැනීමට අවශ්‍ය නිසි ප්‍රචාරාත්මක වැඩපිළිවෙළක් දියත් කළ යුතුය. මේ සඳහා හැකි තාක් දුරට දෙමළ ජාතික කතිකයන්, ජනතා පිළිගැනීමට පාත්‍ර වූ විද්වතුන් උපරිම වශයෙන් යොදා ගත යුතුය. මේ අපේක්ෂක, අපේක්ෂිකාවන් හරහා ජනතාවට අත් කර දීමට යන දේ පිළිබඳව උතුරේ ජනතාවට පැහැදැලි කර දිය යුත්තේ සිංහල බසින් නොවේය. ඒ ජනතාව පිළිගත් දෙමළ ජාතිකයන් නායකයන් හරහාම ඒ බව අවබෝධ කර දිය යුතුය.
දෙමළ ජාතික සන්ධානය කලින් මැතිවරණවලදී මෙන්ම මේ පළාත් සභා මැතිරවණයේදී ජාති වාදය පතුරවමින් බොරු ‍පොරොන්දු දේශපාලනය ක්‍රියාත්මක කිරීමට සැරසේ. 13 වැනි සංශෝධනය හා පළාත් සභා බලතල, ‍පොලිස් හා ඉඩම් බලතල ලබා ගැනීම යන ආදිය වශයෙන් ජනතාවට අවශ්‍ය නැති කරුණු රැසක් කියමින් ඡන්දය ලබා ගැනීමට උත්සාහ කරනු ඇත. එහෙත් ආණ්ඩුව සිදු කළ යුත්තේ මේ ගැන තේරුම් ගෙන අවශ්‍ය පරිදි කටයුතු කිරීමය. අද ජනතාවට ‍පොලිස් හෝ ඉඩම් බලතල අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍ය කරන්නේ නිදහස් නිවහල් ජනජීවිතයකි. දෙමළ ජාතික සන්ධානය ‍පොලිස් ඉඩම් බලතල ඉල්ලන්නේ එදා කොටි ත්‍රස්තවාදීන් කළා මෙන් උතුරේ ජනතාව වහලුන් ලෙස තබා ගැනීමට බව විද්වත් කතිකාවන් තුළින් ජනතාව දැනුවත් කළ යුතුය. එවන් වැඩපිළිවෙළක් තුළින් දෙමළ ජාතික සන්ධානය වැනි අවස්ථාවාදී දේශපාලනය ජනතාවගෙන් තුරන් කළ හැකිය.
එස්.එම්. ශ්‍රීදරන්

No comments:

Post a Comment